දෙයියන්ගේ ලෙඩ සවැනි (දිග හැරුම) කියවන්න ඕනේ අය මේ අතුරු මංපෙත් දිගේ ගිහින් කියවලා එන්න . . .
ඒ පිළිතුර බලාපොරොත්තුවෙන් හිටපු නිසා අනුරාධගේ පිළිතුර මාලින්ගේ හිතේ පුදුමයක් ඇති කළේ නැහැ. ඔහුගේ සිතේ ඇති වුණේ දෙගෙඩියාවක්. මේ මොහොතේ ගලක් සේ නොසැලෙන අනුරාධගේ හදවත වෙඬරු පිඩක් සේ උණු කරන්න නයෝමිට හැකි බව ඔහු දැනගෙන හිටියා. නමුත් 'සියල්ල සිදු වන්නේ යහපතට' යැයි කියා සිත සනසා ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහු සතු වුණේ නැහැ.
කිසිවක් නොකියා පිට ව යන මාලින් දිහා අනුරාධ බලාගෙන හිටියේ මද සිනාවක් සමග. 'අද උඹ හිතන දේ වැරදි යි, මාලින්. මම කවදාවත් ඉමාලිට වැරැද්දක් කරන්නේ නැහැ' ඔහු සිතුවේ දැඩි අධිෂ්ඨානයක් හිතේ රඳවාගෙන. ඉන් මිනිත්තු කිහිපයකට පසු වරුවක නිවාඩුවක් අනුමත කර ගත් අනුරාධ දහවල් දොළහ යි කාල වන විට සිටියේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට!
නයෝමි නතර වෙලා හිටපු වාට්ටුව හොයා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ. ළා කහ පැහැ සැහැල්ලු ගවොමකින් සැරසිලා අමන්දා එක්ක කතා කරමින් උන් නයෝමි ව දැක්ක ම අනුරාධගේ හිතේ කෝපයක් මතු වුණේ නිරායාසයෙන්. කොරිඩෝව දිගේ ඉක්මන් ගමන් ඇවිද එන ඔහු ව දුටු නයෝමිගේ වත සොඳුරු මදහසකින් ඔපවත් වුණා. ඇගෙන් දිස් වුණේ වෙනදාටත් වඩා නීරෝගී, රූමත් පෙනුමක්.
"ඉඳගන්න, අනුරාධ!"
"ඕනේ නෑ. මම ඉක්මනට යනවා," අමන්දාගේ ආරාධනය ඉවත දැමූ අනුරාධ මොහොතක් නයෝමි දිහා ඍජු බැල්මෙන් බලාගෙන හිටියා. "මට නයෝමිට ටිකක් කතා කරන්න ඕනේ. අමන්දා මෙතන නොඉන්නවා නං තමයි හොඳ!"
"ආ! හරි." ඇගේ කටහඬේ ගැබ් වෙලා තිබුණේ විශ්මයක්. "මම එළියෙන් ඉන්නං, නයෝමි."
අමන්දා පිටවෙලා යන දිහා මද වෙලාවක් බලාගෙන උන් අනුරාධ තමන්ගේ සිතුවිලි එක්තැන් කර ගත්තේ දිගු කතාවකට සූදානම් වෙමින්.
"ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා, අනුරාධ." නයෝමිගේ සන්සුන් ස්වරයේ සතුටක සේයාවක් රැඳිලා තිබුණා.
"මම ආවේ මාලින් මට කියපු දේවල් නිසා!"
"මාලින් මොනව ද කිව්වේ?" නයෝමි ඇහුවේ සිතේ ඇති වුණ පුදුමය සඟවන්න උත්සාහ කරමින්. මාලින් කියූ දේවල් දැන ගන්න ඇගේ සිත නොඉවසිල්ලෙන්.
"පැනඩෝල් කාඩ් දෙකක් බීලා මැරෙන්න හැදුව ම හැම දෙයක් ම විසඳෙයි කියලා හිතුව ද?"
"මට ඕනේ වුණේ . . ."
"එහෙම මැරෙන්න තරම් තනිකමක් ඔයාට නැහැනේ, නයෝමි. ඒ නිසා බොරු වැඩ . . ."
"ආදරේ කරන අය ළඟ නැති වුණා ම මැරෙන්න නැතු ව වෙන මොනවා කරන්න ද?"
"ඔයාගේ දරුවට මොනවා වෙයි කියල ද හිතන්නෙ? අම්මා නැති අසරණයෙක් ව පිට මිනිස්සු ආදරෙන් බලා ගනීවි කියලා හිතනව ද?"
"මම ඒ ගැන ඩිසිෂන් . . ."
"මැරෙන එක හැම දේකට ම විසඳුමක් නෙමෙයි කියන එක අමතක කරන්න එපා, නයෝමි. එහෙම නං මුලින් ම මැරෙන්න ඕනේ කෙනා මම. ඒත් අමාරුවෙන් හරි ජීවත් වෙච්ච නිසා මම දැන් ඉමාලි එක්ක සතුටින් ඉන්නවා. අරෝෂ්ගෙන් දික්කසාද වුණා නං වෙන මිනිහෙක් ව කසාද බඳින්න. හැබැයි ඒ මිනිහා මම නෙමෙයි කියන එකත් හොඳට මතක තියාගෙන වැඩ කරන්න."
"ආදරේ නැති කෙනෙක් ව බැඳලා මම ඉන්නේ කොහොම ද?"
"ඔයා අරෝෂ් ව බැන්දේ ආදරේ නිසා ද?"
අනුරාධගේ උපහාසාත්මක වදන් ඉදිරියේ නයෝමි නිරුත්තර වුණා. ඇගේ දෙනෙත් බොඳ කරමින් මතු වූ කඳුළු බිඳු දෙකොපුල් දිගේ සෙමින් ගලාගෙන ගියා.
"මම වැරැද්දක් කළා, අනුරාධ. මට ඕනේ වුණේ ඒක හදා ගන්න," ඇය කිව්වේ කොට්ටය යට සඟවගෙන උන් පත්තර පිටුවක් අනුරාධට දිගු කරමින්.
ඒ සතියකට පමණ පෙර පළ කරන ලද කාන්තා පුවත්පතක පිටපතක්. එහි මුල් පිටුව හැඩ වෙලා තිබුණේ ජනප්‍රිය නිළියකගේ බඳ වටා සුරත දමාගෙන උන් අරෝෂ්ගේ කඩවසම් සේයාරුවකින්. ඇතුළු පිටුවල සඳහන් වුණේ ඔවුන් දෙදෙනා ඉදිරි මාස තුන ඇතුළත යුග දිවියට පිවිසෙන පුවත!
"මට අරෝෂ් ව නැත්තට ම නැති වුණා, අනුරාධ."
"එහෙම යි කියලා මට ආයෙත් ළං වෙන්න හදන්න එපා, නයෝමි. මම බැඳපු මනුස්සයෙක්. ඒක ඔයා නොදන්න දෙයක් නෙමෙයි."
"ඔයා බැන්දේ ප්‍රපෝසල් එකකින් කියලා මම දන්නවා."
"ප්‍රපෝසල් එකකින් හරි මම බැන්දේ මට ආදරේ කරන ගෑනියෙක් ව. සල්ලි නිසා මාව දාල යන්නේ නැති ගෑනියෙක් ව. ඒ හොඳට ම ඇති මට සතුටින් ඉන්න. නොබැඳ හිටියත් ආයෙත් ඔයාට ආදරේ කරන්න මට බෑ. මම ඔයා ව අමතක කරලා දැන් හුඟක් කල්."
"මට ආදරේ කරන්න ඕනේ නෑ. යාළුවෙක් වගේ මගේ ළඟින් ඉන්න. ලෙට්ස් බී ෆ්‍රෙන්ඩ්ස්, අනූ."
"නයෝමි, මට ඔයා එකක් කිසිම සම්බන්ධයක් ඕනේ නෑ. ඒ නිසා කරුණාකරලා අපි අද මේක ඉවරයක් කරමු. තවත් ඔයා මාව හොයාගෙන එනවට, මට කතා කරනවට මම කැමති නෑ. ඒ නිසා මට මගේ පාඩුවේ ඉමාලි එක්ක ඉන්න දෙන්න. මගේ පිනකට මට ඉමාලි ව ලැබුණා. ඒක නැති කරන්න එපා. ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්න මට බෑ. මොකද මම දුක් විඳපු කාලේ ඉවර කරලා මගේ ජීවිතේට සතුටක් ගෙනාවේ එයා."
"දැට් ඩසන්ට් මැටර්. එයා හිටියා කියලා අපිට යාළුවෝ නොවී ඉන්න බැරි නැහැ."
"කවදාවත් ඔයාට එයාගේ යාළුවෙක් වෙන්න බැහැ, නයෝමි."
"ඔහොම නපුරු වෙන්න එපා, අනුරාධ."
"නපුරු? හ්ම්! ඔයා කොහොම ද නයෝමි මෙහෙම කරන්නෙ? ඇයි ආයෙමත් මගේ ජීවිතේට ඇවිත් මට මෙහෙම වද දෙන්නෙ? මට තවත් දුක් විඳින්න ඕනේ නෑ. මොකද මම ඔයා නිසා අවුරුදු හතරක් තිස්සේ ඇති තරම් දුක් වින්දා. ඒ ඇති මට හොඳට ම."
"අනුරාධ, මම . . ."
"මට තවත් ඔයා එක්ක කතාවක් නෑ. මම යනවා, නයෝමි. ඔයා කැමති විදියකට ජීවත් වෙන්න," අනුරාධ කිව්වේ ඇයට පිටුපාමින්.
"හරි, අනුරාධ. ඔයා ගිහින් ඔයාගේ ඉමාලි එක්ක හැමදාම සතුටින් ඉන්නකෝ. ඒත් ඔයා කියන තරම් එයා හොඳයි ද කියන එක ගැන මට නං සැක යි!"
"මොකද්ද කිව්වේ?" ඔහු ඇසුවේ ආපසු හැරෙමින්. නයෝමි තමන් ඉදිරියේ ඉමාලි ව විවේඡනය කිරීම ඔහු ව කෝපයෙන් දවාලුවා.
"ඉමාලි ඔයා ඔය කියන තරම් හොඳ කෙනෙක් නං ඔයා ව ප්‍රපෝස් කරනකං නොබැඳ හිටපු එක ගැන මට හරි පුදුම යි! ඒ වගේ කෙල්ලෙක් . . ."
"ඒක ඔයාට අදාළ කාරණාවක් නෙමෙයි, නයෝමි."
"මට අදාළ නැති වෙන්න පුළුවන්. මම කිව්වේ වෙන්න පුළුවන් දේ. ඒ වගේ හොඳ කෙල්ලෙක්ට කැම්පස් එකේ දී හරි සම්බන්ධයක් ඇති නොවුණොත් . . ."
"නයෝමි!"
"ඇත්ත තිත්ත යි කියන්නේ බොරුවට නෙමෙයි, අනුරාධ. කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඔයාට වගේ වැළලිච්ච අතීතයක් එයාට තියෙන්න බැරි ද? ඒ අතීතේ ගොඩ ගන්න හදන වර්තමානයක් තියෙන්න බැරි ද? ලෝකෙට පෙන්න අහිංසක වුණාට . . ."
"කට වහපන්," අනුරාධ කෝපයෙන් ගිගුරුවා. හිතේ තිබුණ කෝපය පළ කරන්න වගේ ඔහුගේ දෙතොල සහ ඇහි බැම සරල රේඛාවක් බවට පත් වෙලා තිබුණේ. "මගේ ගෑනිගේ වැරදි කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද?"
෴ මතු සම්බන්ධ යි ෴