December 1, 2013

දෙයියන්ගේ ලෙඩ (දෙවැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ (පළමු දිග හැරුම) බලන්න යන්න මග සලකුණු මෙන්න . . .


විසල් කර ගත් දෙනෙතින් මිනිත්තු කිහිපයක් ඔහු දෙස බලාගෙන හිටිය ඇය අන්තිමේ දී කතා කළේ නෑසෙන තරම් පහත් හඬින්. "මට සමාවෙන්න, අනුරාධ."

ඒ කටහඬ ඔහුගේ සිතුවිලි අතරමං කළා. සිව් වසරකට පෙර ඔහු ව හැර ගිය දවසේ ඇගේ දෙතොල් අතරින් නැගී ආ ස්වරය කොතරම් රළු ද? 

"අරෝෂ් මට ආදරෙයි. මම එයා ළඟට යනවා."

"එතකොට මම ඔයාට ආදරේ නැද්ද, නයෝමි?"

"ආදරේ විතරක් තිබිලා මදි ජීවත් වෙන්න. ඔයා නංගිගේ යුතුකම් ඉෂ්ට කරනකං මට ගෙදරට නාකි වෙන්න ද කියන්නෙ?"

"නංගි ගැන බැලුවා කියලා මම කවදාවත් ඔයාට අඩුවක් කරේ නැහැ. ඒක හිතේ තියාගෙන කතා කරන්න, නයෝමි." අනුරාධගේ කටහඬට කෝපය මුසු වුණා.

"ඒ කොහොම වුණත් ඔයාගේ අම්මා මට කැමති වෙන්නේ නැහැ. අනික ආගම්වලින් වුණත් අපි ගැළපෙන්නේ නැහැනේ. ඒ නිසා මට යන්න දෙන්න."

"කවදාවත් නැතු ව ඔයාට අද ඒකත් ප්‍රශ්නයක් වුණා ද?"

"ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මට බැහැ. අපේ අම්ම යි තාත්ත යි වුණත් අරෝෂ්ට කැමති යි ඔයාට වඩා. අපි හොඳින් වෙන්වෙමු. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ."

"නයෝමි, මගේ යකා අවුස්සන්න එපා."

"මම දන්නවා මට ඔයාගෙන් සමාව ඉල්ලන්න අයිතියක් නැති බව," නයෝමි සුසුමක් හෙළමින් කිව්වේ ඔහු ව පියවි ලොවට කැඳවමින්. "ඒත් ඔයා මට සමාව දෙනවා නං ඒක මගේ හිතට සැනසීමක්."

"මෙතන මේ දේවල් කතා කරන්න බැහැනේ, නයෝමි. අපි කොහෙට හරි ගිහින් නිදහසේ මේ ගැන කතා කරමු," අනුරාධ කිව්වා. තමන්ගෙන් වෙන් වෙලා ගිය නයෝමිගේ ජීවිතය ගත වුණ හැටි දැන ගන්න ඔහුගේ හිතේ කාලයක් තිස්සේ දැඩි ආසාවක් තිබුණා.

ඉමාලි වෙනුවෙන් මිලට ගත්ත බ්‍රිස්ටල් බෝඩ් රෝල වාහනේ ඉදිරිපස අසුනේ තැන්පත් කරපු අනුරාධ, නයෝමි එක්ක මැක්ඩොනල්ඩ්ස් අවන්හල වෙත ඇවිදගෙන ගියේ නිහඬ ව.

නයෝමිගෙන් අහන්න දහසක් ප්‍රශ්න ඔහුගේ හිතේ උපන්නත්  මුලින් ම අහන්න ඕනේ මොකද්ද කියන එක ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ. වරින් වර ඔහුගේ දෑස් නයෝමි වෙත යොමු වුණේ ඔහුටත් නොදැනී ම. ඇගේ රූමත් මුහුණේ කිසිදු හැඟීමක් මතු නොවුණත් අඩ අඳුරේ ඇගේ දෑස් දිලිසුණේ කඳුළු නිසා ද?

"මොනව ද බොන්නෙ?" අනුරාධ ඇහුවේ අතීතය අමතක කරපු විලසින්.

"මට අයිස් කොෆී එකක් හොඳයි." වදන් ගැළපිල්ල එදාට වඩා තරමක් වෙනස් වුණත් ඇගෙන් ලැබුණේ සුපුරුදු උත්තරය ම යි.

කෝපි කෝප්ප දෙකක් අරගෙන ආපු අනුරාධ ඉන් එකක් නයෝමි දෙසට තල්ලු කළේ ඇයට මුහුණලා අසුන් ගන්න ගමන්. ඇගේ ළමැදේ උණුසුමට තුරුලු වුණ කිරිකැටියා සුව නින්දක.

"පුතාට දැන් වයස කීය ද?"

"තාම මාස අට යි."

දරුවා ගැන කතා කරද්දී නයෝමිගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් මතු වුණේ ඇගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙන එක ම සතුට ඔහු බව කියන්න වගේ.

ආයෙමත් වතාවක් අනුරාධගේ හිත නොසන්සුන් කරවන දිගු නිහැඬියාවක්.

"ඔයා කොහෙද වැඩ කරන්නෙ?"

"මම ජොබ් එකක් කරන්නේ නෑ, අනුරාධ. මට ඩිග්‍රි එක ක’ම්ප්ලීට් කරන්න බැරි වුණා. සෙකන්ඩ් ඉයර් එකේ දී කැම්පස් නතර කරලා අරෝෂ් ව මැරි කරානේ.”

නයෝමිගේ පිළිතුරෙන් අනුරාධගේ මුහුණේ මතු වුණේ පුදුමයක්. 'මොන ප්‍රශ්න තිබුණත් මම කවද හරි ජ'නලිස්ට් කෙනෙක් වෙනවා' කියපු කෙල්ලට මෙහෙම වුණේ ඇයි?

"අපි හිතන විදියට හැම දෙයක් ම වෙන්නේ නැහැනේ," අනුරාධගේ හිත කියෙව්වා වගේ නයෝමි කිව්වා. "අරෝෂ් කැමති වුණේ නෑ මම ජොබ් එකක් කරනවට."

"හ්ම්ම්ම්. "

"ඔයා ෆයිනල් ඉයර් එකේ දී බැච් ටොප් වුණා කියලා ආරංචි යි."

"කවුද කිව්වේ?"

"අමන්දා!"

නයෝමි ව සහ අනුරාධ ව ආදරයෙන් එක් කරපු ඒ වගේ ම අරෝෂ්ගේ සල්ලි නිසා නයෝමි ව ඔහුගෙන් ඈත් කරපු ඇගේ හොඳම යෙහෙළිය, අමන්දා.

"අමන්දා දැන් මොකද කරන්නෙ?"

"එයා වත්තල ස්කූල් එකක ටීච් කරනවා."

"ආ! හරි."

අනුරාධගෙන් ලැබුණ නොසැලකිලිමත් ප්‍රතිචාර නිසා අධෛර්යයට පත් වුණ නයෝමි කතාව නතර කළා. ඔහුට කතා කරන්න අවැසි දේ ගැන ඇය දැනගෙන හිටියා. ඒ වගේ ම වෙච්ච හැම දෙයක් ම ඔහුට කියලා හිත නිදහස් කර ගන්න ඇය හිටියේ ආසාවෙන්. 'ඒත් අවුරුදු ගණනාවක අතීතයක් පැය කිහිපයකින් කියලා ඉවර කරන්නේ කොහොම ද?'

"දවසක් මට බෑන්ක් එකේ දී මාලින් ව මීට් වුණා. ඔයා මැරි කරා කියලා මට කිව්වේ එයා," අනුරාධගේ වෙදැඟිල්ලේ රැඳුණු හදවතක හැඩැති රතු කැටයක් ඔබ්බවපු මගුල් මුදුව දිහාට නෙත් යොමු කරමින් නයෝමි කිව්වා.

"ඔව්. දැන් අවුරුද්දකට ළඟ යි," අනුරාධ පිළිතුරු දුන්නේ හිතට වද දෙන වරදකාරී හැඟීමකුත් එක්ක.

"ලව් මැරේජ් එකක් ද? නැත්තං ප්‍රපෝසල් ද?"

හැඩරුවින් හුඟක් වෙනස් වෙලා හිටියත් ඉස්සර හිටපු දඟකාර නයෝමිගේ නිමක් නැති කුතුහලය නැති වෙලා ගිහින් නැති බව සිහි වෙනකොට ඔහුගේ මුහුණට නැගුණේ සිනාවක්.

ඒ අතරේ රන්වන් මල් මෝස්තරයක් ගෙත්තම් වූ කොළ පැහැ ඔසරියකින් සැරසිලා අනුරාධගේ අතට බුලත් හෙප්පුවක් දෙන ගමන් ඉමාලි ලැජ්ජාවෙන් ඔහුත් එක්ක හිනා වෙලා බිම බලා ගත්තා.

"ලව් මැරේජ් එකක්."

ඒ උත්තරේ නිසා නයෝමිගේ මුහුණ අඳුරු වෙනවා දැක්ක ම අනුරාධගේ හිතට සතුටක් දැනුණා.

"ඔයා දිගට ම කොළඹ ඉන්නව ද?"

"නැහැ. ටික කාලයක් මෙහේ ඉඳලා නුවර යනවා. ඉමාලි කැමති නෑ කොළඹ ඉන්න. එයා පේරාදෙණියට මාරුවක් හදා ගත්ත ම අපි යන්න කියලා හිතාගෙන ඉන්නේ."

"ආ! ඒක හොඳයි. අම්මලත් ඉන්නවනේ."

"ඔව්. ඉමාලිගේ අම්මලත් නුවර ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අනික අපේ අම්මා කැමති යි ඉමාලි ගෙදර එනවට. නංගිත් බැඳලා ගිය නිසා පාළුවටවත් ගෙදර කවුරුත් නැහැනේ."

අනුරාධගේ මුවින් ඉමාලිගේ නම කියවෙන හැම වාරයක ම නයෝමිගේ හිතට දැනුණේ ඊර්ෂ්‍යාව සමග මුසු වුණ පසුතැවීමක්. තමන්ට අහිමි වුණ ආදරය ගැන දැඩි ලෝබකමක්. ඒත් ගෙවිලා ගිය අතීතය වෙනස් කරන්න දැන් පරක්කු වැඩි යි.

ඉමාලි ගැන කියලා නයෝමි ව රිදවන කොට අනුරාධට දැනුණේ අමුතු සැනසීමක්. ඇගේ වේදනාවෙන් වසර ගණනක් ඔහුගේ හදවතේ නැගුණ ගින්න ටිකෙන් ටික නිවිලා ගියා.

"මම ඔයාට කරපු දේ නිසා මම අද හුඟක් විඳවනවා, අනුරාධ. ඒත් මම නිසා ඔයාගේ ජීවිතේ විනාස වුණේ නැති එක ගැන මට සතුටු යි." නයෝමිගේ කටහඬ බර වෙලා තිබුණේ අඬන්න ළං වෙලා වගේ.

මොහොතකින් ඒ මනරම් දෑසින් නිදහස් වුණ කඳුළු බිඳු දෙකක් ඇගේ කොපුල් දිගේ ගලාගෙන ගිහින් මේසෙට වැටුණා.

ඒ කඳුළු බිඳු ආයෙමත් වතාවක් ඔහුගේ හද තුළ ගිනි ඇවිලුවත් පුටුවෙන් නැගිටින ගමන් ඔහු කතා කළේ දැඩි හඬකින්. "මම දැන් යන්න ඕනේ. ඉමාලි  මග බලාගෙන ඇති මම එනකං."

'මට සමාවෙන්න, නයෝමි. අපේ හැම හීනයක් ම අමතක කරලා අරෝෂ් ළඟට ගිය ඔයා වෙනුවෙන් දැන් මට කරන්න පුළුවන් දෙයක් නෑ. මම බැඳපු මනුස්සයෙක්.' හිතට ආපු හැඟීම ඔහු වචනෙට නැගුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇය දෙස නොබලා ම පිටවීමේ දොරටුව දෙසට පිය නැගුවා.

"අනුරාධ," ඇයට පිටුපාලා යන්න තැත් කළ ඔහු ඒ බිඳුණු කටහඬ ඉදිරියේ නිරායාසයෙන් ම නතර වුණා. "මාව දාල යන්න එපා, අනුරාධ."

෴  මතු සම්බන්ධ යි 

50 comments:

  1. පරක්කු උනාට සමා වනු මැනවි..ඔට්ටුව පැරැදුනු නමුත් දුක් වීමට කාරණා නොමැත..ඔයාගේ බෙල්ල අල්ල ගන්න මේක කියවන අය දැන් ඉදි පෝලිමේ..පරිස්සම් වෙන්න දැන් ඉතින් :P

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් ඇති නේද? මගේ බෙල්ල බේරන්න ඔයා ඉන්නවනේ. ඒ නිසා අවුලක් නෑ. ඔට්ටුවේ හැටියට පොරොන්දු වුණ දේවල් ලබන සතියේ ඕනේ :) හති දාගෙන හරි ඇවිල්ලා මුලින් ම කොමෙන්ටුවක් දැම්මානේ.

      Delete
  2. ධාරා මොකක්ද මේ කරන්න යන්නෙ..ඇත්තටම මේ වගේ දේවල් කොච්චරනම් වෙනවද?අනුරාධට ඔය ඉන්න විදියට ඉන්න දුන්නොත් හොදයි මම හිතන්නෙ..ඇයිද කියන්න දන්නේ නැහැ වැඩිපුරම පෝස්ට් තියෙන්නෙ ආදර කතන්දර..දැන් අහන්න එපා ඔයා බබාද කියල?හි හි

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලෝ කිව්වට අනුරාධගේ හිත දැන් චංචල යි. මොනවා වෙයි ද කියන්න බැහැ :( බලමුකෝ ඉස්සරහට. "උඹ බබා ද?" කියලා අහන්නේ නෑ ඔයා එපා කිව්ව නිසා! හැබැයි, වෙන එකක් හිතා ගන්න බෑ අහන්න ඕනේ :P

      Delete
  3. "හිතුවෙවත් නැති දවසක - හිතන් නැතිවම ලංවුනා
    අතීතයේ දුර ඈතක - ආදරේ මඟ වැරදුනා"
    මම කැමතිම සින්දුවක් මේ කොටසට ගැලපෙනවා වගෙයි

    ReplyDelete
    Replies
    1. මමත් ආස ම සින්දුවක්, පූමා අයියේ. ඔයා කිව්වට පස්සේ මටත් එහෙම හිතෙනවා දැන් :)

      Delete
  4. කියවූයෙමි. රස වින්දෙමි. අනර්ඝය.
    ඊළඟ කොටස කියවනතුරු ඉවසිල්ලක් නැත. :)

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති, අසෙනි! ඊළඟ කොටස හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවට පොරොන්දු වෙමි.

      Delete
  5. අන්තිම දෙබස හුඟක් කතා වල ඇහෙන දෙබසක් නේද කියලා හිතුනා.. ඒක වෙනස් වුනානම් ශෝයි.. අවුලක් නෑ.. කතාවේ ඉතුරු ටික ඕන ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතයි, දිනේෂ් අයියට වැරද්දක් පෙන්නලා දුන්නට. ඊළඟ පාර ඒක නිවැරදි කරන්නං. මට හිතා ගන්න බැරි වුණා අන්තිමට මොකද්ද දාන්නේ කියලා.

      Delete
  6. වත්තල ඉස්කෝලෙක ??? හෑ... ඒ මොකේද ?

    ලයිසියම්
    OKI International
    ශා. අන්තෝනි
    ශා. ආනා
    රෝමානු කතෝලික දෙමල විද්‍යාලය
    අටාමි ඉන්ටර්නැශනල්

    ඔය කොයි ඉස්කෝලෙද එයා උගන්වන්නේ.. හිහ් :)

    ලස්සන කොටසක්.. තුන්වෙනි කොටසත් ලියලා නේද තියෙන්නේ.. ඒකත් අද හෙටම දාමු.. :)

    ReplyDelete
    Replies
    1. කලින් නුගේගොඩ ඇවිත් නයෝමි පස්සේ පැන්නුවා. දැන් වත්තල ගිහින් අමන්දා ව පන්නන්න ද යන්නෙ? මෙයාටත් අම්මේ :D ඉක්මනට දාන්නංකෝ. තුන්වෙනි කොටස හුඟක් දුරට ඉවර යි!

      Delete
    2. ලැබුණ ආරංචි මාර්ග අනුව එයා අටාමි ඉන්ටර්නැශනල් එකේ :P

      Delete
    3. කොහෙන් ලැබුණ ආරංචි ද දන්නේ නෑ :P මධූ අයියා ගියාට කමක් නෑ හැබැයි ඔයා එහෙම යනවා නෙමෙයි මහ දවාලේ අටාමි එකේ ගේට්ටුව මුර කරන්න!

      Delete
    4. වත්තල කියන්නේ අපේ ප්‍රධාන නගරේ නෙව...
      අපෝ අමන්දගේ රස්සාවට ප්‍රශ්නයක් වෙනවා නං අපි නම් ඒ පැත්ත බලාගෙන බත් කන්නෙත් නෑ :)

      Delete
    5. කියනකොට මෙහෙම යි කරනකොට එහෙම යි! නැද්ද මධූ අයියෙ?

      Delete
  7. //"මාව දාල යන්න එපා, අනුරාධ."//එයා මේක කියන්නේ බැඳපු මනුස්සයෙකුට නේද?නිකන් කෙල්ලයි කොල්ලයි වගේ හිතාන ඉන්නේ...නයෝමි ගැන කේන්ති ආවා.. :D

    ඉදිරියටම යමු..... :)

    ReplyDelete
    Replies
    1. ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් එල්ලෙනව ලු :) රෙහානි අක්කා කේන්ති අරගෙන ලේ පුච්චා ගන්න කාරි නෑ. කතාවක්නේ, අ‍ෆ්ෆා!

      Delete
  8. ඇත්තටම ආදරේ කරපු දෙන්නෙක් ආයෙ මේ විදියට හම්බ වෙන එක මොන තරම් දුකක්ද?
    ධාරා කට්ටිය කරන්න එපා කියපු දේම කරයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත, ප්‍රියා අයියේ. වේදනාව දන්න කෙනෙක්ට විතරක් ඒක විඳින්න පුළුවන්. හ්ම්ම්, බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා!

      Delete
  9. "නයෝමි, මගේ යකා අවුස්සන්න එපා."

    "මම දන්නවා මට ඔයාගෙන් සමාව ඉල්ලන්න අයිතියක් නැති බව," නයෝමි කිව්වේ සුසුමක් හෙළමින්. "ඒත් ඔයා මට සමාව දෙනවා නං ඒක මගේ හිතට සැනසීමක්."

    අතීතයයි වර්තමානයයි අතර පරතරයක් මෙතන පෙන්නල නෑ.. සිතිවිල්ලෙන් හැබෑ ලොකයට එන්න පාරක් හදන්න ඕනි..

    ලස්සනයි ධාරා.. :) ඊලඟ කොටසත් දාන්න ඉක්මනට :)

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩි ගැළපිල්ල කරා! හොඳ ද බලහන්. දාන්නං දාන්නං. ඒකෙත් වැරදි තිබුණොත් පෙන්නලා දෙන්න ඕනි හැබැයි. නැත්තං දාන්නේ නෑ :)

      Delete
  10. හොඳ ලස්සන කතාවක ආරම්භය තියනවා ධාරා. ඔයා ලියන විදියටත් මම කැමතියි. බලමු ඉතුරු ටිකත්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, ගන්දරයෝ :) ඇවිත් යන්නකෝ ඉතුරු ටිකත් ඉක්මනට දාන්නං

      Delete
  11. //ඒ උත්තරේ නිසා නයෝමිගේ මුහුණ අඳුරු වෙනවා දැක්ක ම අනුරාධගේ හිතට සතුටක් දැනුණා.// ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. මේ මොකෑ දිලි‍නියෝ?

      Delete
    2. එහෙම වෙන්නේ නෑ කියලා අපි හිතුවට අපිටත් නොදැනීම එහෙම වෙනවා, දිලිනි අක්කේ. තමන්ට රිදවපු කෙනෙක්ට රිදෙනකොට අපේ හිතේ සතුටක් මතු වෙනවා. එහෙම නොවෙනවා නං ඒ කලාතුරකින්.

      Delete
    3. එහෙම වෙච්ච එක ගැන මට නං හරී....ම සතුටුයි. මොකද ඒකෙන් තේරෙනව අනුරාධගෙ හිත නයෝමිගෙ රූපෙට ඒ වෙලාවෙ ඇලුනත් හිත ගැලවිලා ගිහින් ඉමාලිට ඇලිලයි කියල.
      ඒ ටික දැක්කම හිතට සැනසීමක් ආව ඉමාලිට අසාධාරණයක් නොකරාවි කියල.. :)

      Delete
    4. සිඟිති අක්කට හිතෙන දේවල් :D අසරණ ගෑනියෙක්ගේ දුක දැකලා ඔහොම සතුටු වෙන්න හොඳ ද මම අහන්නෙ?

      Delete
  12. "මාව දාල යන්න එපා, අනුරාධ."අනුරාධව දෙලාවක් අතර තනි කරන්නද යන්නේ..?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේද, මනෝජ් අයියේ?

      Delete
  13. මටනම් නයෝමිත් එක්ක මල පැනලා තියෙන්නේ .....ඇත්තටම මමනම් අර අනුරාධ නොකියපු ටිකත් කියනවා..(හේ හේ මමත් අනුරාධනේ)

    ReplyDelete
    Replies
    1. ම"ළ" පැනපු පාර සිංහලත් අමතක වෙලා වගේ. ඉවාන් අයියා කියනවා මිසක් ඇත්ත ම නමින් කතාව කරන්නේ නැති නිසා ඕක මට මීටර් වුණේ ම නෑනේ. කට්ටිය හිතයි ද දන්නේ නෑ දෙන්න ම එක් කෙනයි කියලා. පරිස්සමින් හිටියා නං!

      Delete
  14. කොටස් දෙක කියව්වා ...ඔයාට හරි ලස්සනට ලියන්න පුළුවන්නේ .. හි හී ...

    කොහොම උනත් මේ නයෝමි වගේ කෙල්ලන්ට මම නම් කැමතිම නෑ ...

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති! අපි කැමති වුණත් අකැමති වුණත් නයෝමි වගේ කෙල්ලෝ තමයි දැන් වැඩිපුර ඉන්නේ :(

      Delete
  15. මන් ආස විදියේ ලියවිල්ලක් ....නයෝමිට මාත් ආස නෑ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, අපූර්වී අක්කේ. ඇයි අනේ හැමෝම නයෝමිට කැමති නැත්තෙ? පව් නැද්ද?

      Delete
  16. කියවා රසවින්දා. ඒත් මට හිතෙන්නේ නංගිව බන්දලා දෙනකන්වත් ඉන්න බෑ කියපු නයෝමි කිසි දවසක අනුරාධට ආදරය කලේ නෑ. අනුරාධගේ යහපත් පවුලි ජීවිතය මැඳට පැනලා එයා දෙවැනි වරටත් අනුරාධව ඝාතනය කරන්න සැරසෙන්නේ. නයෝමි ගැන දුකයි වෙච්ච දේට. ඒත් එයා විඳින්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම. බලමුකෝ ඉතිරි කොටස. නංගිට ජය හා සතුට!!!

    ReplyDelete
    Replies
    1. කියවා රස වින්දා නං ඒ ඇති මට හොඳටම! බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා ;)

      Delete
  17. මම නම් කැමති නයෝමි ට අප්‍පා :D

    ReplyDelete
    Replies
    1. එහෙම නං මොන එකට ද මට බනින්නේ නයෝමි ව අනුරාධගේ ඇ‍ඟේ එල්ලන්න හදනවා කියලා :P

      Delete
  18. නියමයි නන්ග දිගටම ලියන් යන්ඩ :)

    ReplyDelete
    Replies
    1. ලියන්නේ නැතු ව බැරියෝ.

      Delete
  19. සුපිරි කතාව......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, පරාග :)

      Delete
  20. ගිය දවස් ටිකේ බ්ලොග් වටේ කැරකෙන්න වෙලාවක් නොතිබීමෙන් කියවා රස විදීම ද පරක්කු වූ බව සංවේගයෙන් දන්වා සිටිමි. ලස්සනට ලියල තියනව ධාරා. :) ඔන්න මගේ කලිං කමෙන්ට් අමතක කරල දානව නෙවේ... හරී...? :P
    අන්තිම වාක්‍ය කියෙව්වම නයෝමිගෙ හොක්ක තලන්න හිතුනා... කලිං දාලා ගිහිං අන්තිමට වැරදුනාම ඔය වගේ බබා කතා කියන ගෑනුන්ව මට නං පේන්න බෑ.. (මං මේ රවාගෙන ඉන්නෙ ඈ...)

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි මේ දිහාට ගොඩ වුණාට තැන්කූ වේවා! අම්මේ, මෙයාගේ තර්ජන ;) දැන් මම බය වෙන්න ඕනේ ද? ඔහොම රවාගෙන හිටියොත් කැත වෙයි. මම දන්නේ නෑ ඔන්න!

      Delete
  21. ඔයාගේ කතාව ලියන්නේ නැතිද.... මම දවස් ගානක් ඇවිල්ල බැළුවා මේ අවුරුද්දටම නැහැනේ ආසාවෙන් කියවපු කතාවක් ඉක්මනට ලියන්න

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති, ගන්දරයෝ :) ආයෙමත් ඉක්මනට ලියනවා. හ්ම්ම්, මේ අවුරුද්දට ම තාම ලියලා නෑ තමයි!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...