November 28, 2013

දෙයියන්ගේ ලෙඩ (පළමු දිග හැරුම)


"උඹට දීපු ගින්නට අන්න අරකි දැන් විඳවනවා," රස්සාව කරන්න කොල්ලුපිටියට ආපු මුල් කාලේ ඉඳල ම පුරුදු විදියට දවල් කෑමට 'සාරදා' හෝටලයට එකතු වුණ වෙලාවේ කොනේ ම තිබුණ සුපුරුදු මේසේ ඉඳ ගත්ත චරිත් කිව්වේ අනුරාධ දිහා බලන ගමන්.

ඒත් ඔහුට දිගට ම කතා කරන්න මාලින්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. "චරිත්, දැන් ඕවා කතා කරලා වැඩක් නෑනේ, මචං. ඒ වෙච්ච හැම දෙයක් ම දැන් වෙලා ඉවර යි. අනික දැන් ඕවා කතා කරා කියලා . . ."

"මොකද්ද උඹ කියන්න ගියේ?" අනුරාධ ඇහුවේ චරිත් කියන්න ගියේ නයෝමි බව ගැන හිතට දැනුණ නිසා. ඔහුගේ සිත විමසිලිමත්. කාලය ගත වෙලා ගියත් ඇය ගැන දැන ගන්න තිබුණ ආසාව තාමත් හිතෙන් අයින් වෙලා නැහැ. 

"අනේ මේ, මගුලක් කතා කරන්නේ නැතු ව උඹේ කෑම එක මෙහාට ගනිං. මම උදේ ඉඳලා බලාගෙන ඉන්නේ ඉමාලිගේ බත් කටක් කන්න. අපිට කවුද ඉතින් කෙසෙල් කොළේ බත් ඔතලා දෙන්න ඉන්නෙ? චරිත්, උඹ ගිහින් තව කෑම දෙකක් අරගෙන වරෙන්."

මාලින්ගේ කටහඬේ තිබුණ අනතුරු ඇඟවීම වටහා ගත්ත චරිත් ඉක්මන් ගමනින් කවුන්ටරේ ළඟට ඇවිදගෙන ගියා. අනුරාධට නයෝමි ගැන කියනව ද නැද්ද කියන එක ගැන ඔහුගේ හිතේ තිබුණේ දෙගිඩියාවක්. 'එක අතකට මොකට ද ආයෙත් අතීතය හාරා අවුස්සන්නෙ?'

කවුන්ටරේ හිටපු කොල්ලා බෙදලා දීපු බත් පිඟන් දෙකත් අරගෙන ඔහු ආපහු ඇවිත් මාලින් ළඟින් වාඩි වුණේ අනුරාධගේ විමසිලිමත් බැල්ම මග අරින්න ඕනේ වුණ නිසා. කලින් හිතට ආපු කේන්තිය නිසා තමන් කියපු දේවල් ගැන ඔහුගේ හිතට පසුතැවීමක් දැනුණා.

"චරිත්, උඹ කලින් මොකක් ගැන ද කියන්න ගියේ?" අනුරාධ මතු කරපු ප්‍රශ්නේ නිසා යාළුවෝ තුන් දෙනා අතර තිබුණ නිහඬතාවය බිඳිලා ගියා.

"ඒක මහ ලොකු දෙයක් නෙමෙයි බං," චරිත් දිග කතාවකට මුල පුරන්න ලෑස්ති වුණත් මාලින් මහු ව නතර කළා. "අරෝෂ් නයෝමි ව දික්කසාද කරලා කියලා ආරංචි යි," බොහොම සාමාන්‍ය පුවතක් කියනවා වගේ සැහැල්ලුවකින් ඔහු කිව්වා.

"ආ! ඔව්, මටත් එහෙම ආරංචියක් නං ආවා," මාලින් කියපු ආරංචියෙන් හිතට දැනිච්ච පුදුමය සඟවා ගන්න උත්සාහ කරන ගමන් අනුරාධ අමාරුවෙන් උත්තර බැන්දා. "ඇයි දන්නේ නෑ එක පාර ම?"

"එක පාර ම නෙමෙයි, යකෝ. නයෝමි ව බඳින්න කලින් ඉඳල ම ඌට කවුද මන්දා නිළියෙක් එක්ක හුටපටයක් තිබුණා. අනික ඒ කාලේ නයෝමිත් ඕක දැනගෙන හිටියනේ. සල්ලිවලට වහ වැටිලා ඌ ව බැඳ ගත්තා. ඒකි හිතන්න ඇති ඌ ආදරේට බැන්දා කියලා. මොන පිස්සු ද? ඌ බැන්දේ ඒකිගේ ඇඟ නිසා. දැන් ඉතින්, කරපු පව්වලට විඳවන්නේ නැතෑ. අපිට මොකද බං ඒකි . . ."

"කට තිබුණ පළියට මෙතන කෑ ගහන්න එපා බං. දැන් ඇති. අනික ඕවා කිව්වා කියලා දැන් මොනවා කරන්න ද? උඹ කට පියාගෙන කෑම කාපන්. අනුරාධ, උඹත් කෑම එක කාල හිටපන්. නැත්තං අපරාදේ ඉමාලිගේ මහන්සිය," මාලින් කිව්වේ වෙන කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණ නිසා.

ඒත් අනුරාධට බඩගින්නක් දැනුණේ නැහැ. යාළුවන්ගේ බල කිරීමට කෑම කාල ආයෙත් සයිට් එකට ගියාට පස්සෙත් දිගට ම හිතේ හොල්මන් කරේ මාලින් කියපු වචන පෙළ! 'අරෝෂ් නයෝමි ව දික්කසාද කරලා කියලා ආරංචි යි.' ඒ වචන මතක් වෙන වාරයක් වාරයක් පාසා අනුරාධගේ හිතේ නයෝමි වෙනුවෙන් උපන් අනුකම්පාව ටිකෙන් ටික වැඩි වුණා. ඒත් එක්ක ම සොඳුරු අතීත සැමරුම් පෙළක් ඔහුගේ හිතට කඩා වැදුණේ අනවසරයෙන්.

"මොනවා වුණත් ඔයා මාව දාල යන්නේ නෑ නේද, අනුරාධ?" පස් වසරකට කලින් ඇය ඇහුවේ වැව රවුම දිගේ ඇවිද යන ගමන්. එදා ඇගේ සුන්දර මුහුණ සෙංකඩගල අහස වගේ ම අඳුරු වලාවකින් කළු වෙලා තිබිච්ච හැටි ඔහුගේ දෙනෙත් ඉදිරියේ මැවිලා පෙනුණා.

"මගේ පුංචි කෙල්ල නැතු ව මම කොහොම ද ජීවත් වෙලා ඉන්නෙ?" ඔහුගේ කඩවසම් මුහුණේ මතු වුණේ  සිනාවක්.

ඇයත් ඔහුගේ හිනාවට එකතු වුණා. "ඒ වුණාට ඉංජිනේරු මහත්තයෙක් වුණා ම මාව අමතක වෙයි ද දන්නේ නැහැ," දඟකාර විදියට ඔහුගේ අතේ එල්ලෙන ගමන් ඇය ඇනුම්පදයක් කිව්වා.

"ඔන්න ඉතින් මගේ මොට්ට කෙල්ල පටන් ගත්තා මොට්ට කතාවක් කියන්න," ඔහු කිව්වේ බොරු තරහකින්. ඒ වෙලාවට ඇගේ මුහුණ කේන්තියෙන් රතු වෙන්නේ ජම්බු ගෙඩියක් වගේ.

"ඇයි දන්නේ නෑ මහ ලොකු මොළකාරයා මොට්ට කෙල්ලෙක්ට ආදරේ කරන්නෙ?"

"ඒක තමයි මාත් මේ කල්පනා කරේ." ඔහුගේ කතාවට ඇගේ මුහුණ තවත් රතු වුණා. ඒ රතු වෙච්ච කම්මුලට හාදුවක් දෙන්න කියලා හිත කිව්වත් පාරේ ගිය මිනිස්සු නිසා ඒ අවස්ථාව ගිලිහිලා ගිය එක ගැන අදටත් අනුරාධගේ හිතට දැනුණේ දුකක්.

නොනැවතීම නාද වුණ ජංගම දුරකථනයේ හඬින් අනුරාධගේ සොඳුරු සිහින ලෝකය සුනුවිසුණු වෙලා ගියා. ඒ ගැන හිතේ ඇති වුණ කේන්තියෙන් ඔහු දුරකථන තිරය දිහා බැලුවා. ඉමාලි! ඇයි මේ වෙලාවේ කතා කරන්නෙ?

"අනූ, ඔයා වැඩක ද හිටියෙ?" දුරකථනය ඔස්සේ ගලාගෙන ආව ඉමාලිගේ මියුරු කටහඬ අනුරාධගේ කෝපය දිය කර හැරියා.

"නැහැ, ඉමාලි. මොකක් හරි ප්‍රශ්නයක් ද මේ වෙලාවේ කතා කරේ?"

"ප්‍රශ්නයක් නං නෙමෙයි. හ්ම්ම්, අද මම ගෙදර එනකොට ටිකක් රෑ වෙයි. හත විතර වෙනකං කැම්පස් එකෙන් එළියට පැන ගන්න බැරි වෙන පාටක් තියෙන්නේ."

"රෑට කඩෙන් කෑම එකක් අරගෙන එන්න ද?"

"එපා. මම ඇවිල්ලා මොනවා හරි හදන්නං. ඔයා එනකොට මට සුදු පාට හරි ළා පාටක හරි බ්‍රිස්ටල් බෝඩ් දහයක් විතර අරගෙන එනව ද? මම එනකොට කඩවල් වහලා තියෙයි."

"හ්ම්ම්, හරි. වෙන මොනව ද?"

"වෙන මුකුත් නැහැ. අලුතෙන් කතා පොත් ඇවිල්ල ද කියලා බලාගෙන එන්න."

"බලාගෙන එනවා විතර යි එහෙම නං. ගේන්නේ නෑ, හරි ද?" අනුරාධ සැහැල්ලුවෙන් වගේ ඇහුවා.

"කවුද ගේන්න කිව්වෙ?" ඉමාලි ඇහුවේ හිනා වෙන ගමන්. අද හවසට අනුරාධ අලුත් ම පොතක් අරගෙන එන විත්තිය ඇය දැනගෙන හිටියා. "අනූ, කෙල්ලෝ ටික මම එනකං බලාගෙන ඇති. මම තියන්නම්. පරිස්සමින් ඉන්න. මම ඔයාට හුඟක් ආදරෙයි." 

ඒ වචන අනුරාධගේ හිතට අරගෙන ආවේ බරක්. ඔහු අමාරුවෙන් වචන ගැට ගහගෙන ඉමාලිට උත්තර දුන්නේ දෑස් ඉදිරියේ බොඳ වෙලා ගිය නයෝමිගේ රුව අතරින්. "මමත් ඔයාට ආදරෙයි."

"බුදු සරණයි."

"බුදු සරණයි, ඉමාලි."

සුසුමක් හෙළමින් ඇමතුම විසන්ධි කරපු අනුරාධගේ සිතුවිලි ඊළඟ පැය කිහිපය පුරාවට ම නයෝමි සහ ඉමාලි අතර දෝලනය වුණා. ඔහුගේ හිත නොසන්සුන්. ඒ නොසන්සුන් හිතත් අරගෙන යි ඉමාලිගේ ඉල්ලීම ඉටු කරන්න ඔහු නුගේගොඩ සරසවියට ගොඩ වුණේ. බැස ගෙන යන හිරු වසාගෙන වැහිබර වලාකුළු නුගේගොඩ අහස පුරා විසිරිලා.

වෙළඳ සේවකයෙකුගේ උදව් ඇතු ව සුදු පාට බ්‍රිස්ටල් බෝඩ් මිලට ගත්ත අනුරාධ කතා පොත් තෝරන්න සමුද්‍රදේවී මාවතේ සුවිසල් පොත් මැදුරට පිය මැන්නේ ඉමාලි මතක් වෙලා හිතේ දළුලන ආදරය මුසු සතුටුදායක හැඟීමක් එක්ක. මේ පොත් සාප්පුව ඇතුළේ ඇය සමග කොතරම් නම් වෙලාවක් ගත කරන්න ඇත් ද? ඇතුළු වෙන දොරටුව ඉස්සරහ ම තිබුණ රාක්කවල අහුරපු අලුතෙන් නිකුත් වෙච්ච ඉංග්‍රීසි කතා පොත් බලන්න අනුරාධ එතනට ළං වුණේ ආසාවෙන්.

උස් හඬින් මොර දෙන කිරිකැටියෙකුත් වඩාගෙන ඒ අසල ම පොත් තෝරමින් හිටියේ තරමක් තරබාරු යුවතියක්. අසීරුවෙන් දරුවා ව නළවන්න උත්සාහ කරපු ඇගේ බැල්ම නිරායාසයෙන් ම අනුරාධ වෙත යොමු වුණා. මව් පදවියත් එක්ක ඒ සිහින් සිරුර වියැකිලා ගිහින් තිබුණත් ඒ සුන්දර මුහුණ හඳුනා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ.

"නයෝමි?" ඔහුට කියවුණා.

෴  මතු සම්බන්ධ යි 

68 comments:

  1. මෙයා මේ තියෙන්නේ වැඩේ පටන් අරන්.හේ හේ අන්තිමේදී කොහොම හරි එකත් පටන් ගත්තා දාන්න.හොදට ලියලා තියෙනවා ධාරා...ඉතුරු ටිකත් දාමුකෝ එහෙනම් පිළිවෙලට

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි :) වැඩිහිටියන්ගේ උපදෙස් අනුව දැන් කලට වෙලාවට වැඩ කරනවා.

      Delete
  2. නියමයි.....අනිත් ටිකත් ඉක්මනට දාන්න... :)

    ReplyDelete
    Replies
    1. කාලෙට පස්සේ සසිඳු අයිය ව දැක්කේ :) තැන්කූ වේවා! පුළුවන් ඉක්මනින් දාන්නංකෝ.

      Delete
  3. ඇත්තටම කතාව පටන් ගත්ත කෝණය හොදයි.. පලවෙනි නවල් එකද ?

    //ඒ වචන අනුරාධගේ හිතට අරගෙන ආවේ බරක්. ඔහු අමාරුවෙන් වචන ගැට ගහගෙන ඉමාලිට උත්තර දුන්නේ දෑස් ඉදිරියේ බොඳ වෙලා ගිය නයෝමිගේ රුව අතරින්. "මමත් ඔයාට ආදරෙයි //

    :)

    ReplyDelete
    Replies
    1. මේක නවකතාවක් නෙමෙයි, සමියෝ. නව කතාවකට මේක පොඩි වැඩි යි. මේක කෙටි නොවන කෙටි කතාවක් වගේ එකක්. මොකෑ මේ අනුරාධගේ දෙබස් ටික ආයෙත් දාල. ඔයා ආස ම කොටස ඒක ද?

      Delete
    2. නෑ .. ඒත් එතන ප්‍රායොගිකත්වයට නැඹුරු උන තැනක්.. ජීවමය ගතියක් තිබුනා

      Delete
    3. හ්ම්ම්, එහෙමත් එකක් ද? බලම්‍රකෝ :)

      Delete
  4. හ්ම්ම්.... අනේ මන්දා මේ වගේ වෙලාවක... හැබැයි ඉතින් නයෝමි ගැන හිතේ තිබුණ නම් ඇයි ඉමාලිට සමීප වුණේ කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නවලට උත්තර ඉස්සරහට ලැබෙයිනේ. කතාව නිසා හිත තැලුණා නං සමාවෙන්න ඕනේ :(

      Delete
  5. ආදරයත් දෙයියන්ගේ ලෙඩක් තමයි.හැබයි ඉතින් දෙයියන්ගේ ලෙද වගේ නෙමේ මේ ලෙඩේ නිතර,නිතර හැදෙන එක තමයි තියෙන එකම ගැටලුව.

    ReplyDelete
    Replies
    1. මනෝජ් අයියා ‍දන්න එව්වා :) බලමුකෝ මොකද වෙන්නේ කියලා!

      Delete
  6. දෙවැනි එක දානකන් කොමෙන්ට් කරන්නේ නෑ... ........,

    ReplyDelete
    Replies
    1. දෙවැනි කොටස ලබන ඉරිදා වගේ දානවා. එදාට කොමෙන්ට් කරේ නැත්තං බලා ගමු :D (කොමෙන්ට් කරන්නේ නැත්තං ඔය උඩින් දාල තියෙන්නේ මොකද්ද?)

      Delete
  7. :D
    කවදාහරි අනුරාධ සඳරු වෙයි. නැහැ නැහැ සඳරු අනුරාධ වෙයි... :D මොනා කරාද හිනා වෙනවා මිසක්.. නුවර වැව ? හරිම විහිළුවක්....

    නවල් එක පට්ට අක්කේ. පුංචි තැන් පවා ස්පර්ශ කළා හදවතේ. හැබැයි මම ඒ ගැන නොකියා ඉන්නවා. :)

    ReplyDelete
    Replies
    1. මොකෑ බං මේ? උඹ මගේ ඔළුව අවුල් කරන්නේ නැතු ව දුවපිය ගිහින් පොතක් බලා ගනිං. මේක නවල් එකක් නෙමෙයි, මල්ලි. කෙටි කතාවක් වගේ එකක්. කොටසක් 5 ක් 6 ක් වගේ තමයි තියෙන්නේ.

      Delete
  8. හරිම අපුරුයි.. මේ පලවෙනි කතාව ද??කොහෙන් ගියත් සෙන්කඩගල අහස උබටත් ඕනා නේද :p දිගටම ලියන්න :)

    // උබ නයෝමිව අනුරාධට සෙට් කරලා අර ඉමලිට අසාදාරනයක් කරොත් කුඩු කරනවා උබේ බ්ලෝග් එක :/ //

    ReplyDelete
    Replies
    1. ඔව් බං. පළවෙනි කතාව බ්ලොග් එකට දාන. මීට කලින් ලියපු ඒවා හිතට ඇල්ලුවේ නැති නිසා දැම්මේ නෑ. මේ කතාව ගැන අදහසක් ‍ආවේ අවුරුද්දකට විතර කලින්. ඒ වුණාට නිදහසේ ලියන්න බැරි වුණා.

      සෙංකඩගල අහසට මම ආදරෙයි. ඉතින්, මගේ ඔක්කොම කතා කන්ද උඩරට එක්ක බැඳිලා! අප්පේ, දැන් මොණරි මට චණ්ඩි පාට් දානව ද? බලමුකෝ බ්ලොග් එක කුඩු කරන හැටි :P

      Delete
  9. අහිමිවීම ජීවිතය ජීවත් කරවයි යන්න මැනවින් පසක් කරවන කතා කොටසක් ධාරා

    ReplyDelete
    Replies
    1. ඇගයුමට ස්තූතයි, නලීන් මාමේ.

      Delete
  10. හ්ම්ම්ම් ලස්සනයි :-(

    ReplyDelete
    Replies
    1. ස්තූතයි, සචිත් අයියේ. දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
  11. බලමු ඉස්සරහට...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, බලමුකෝ. රෙහානි අක්කා කතා කරන විදියට මට පේන්නේ නයෝමිට දෙකක් අනින්න ලෑස්ති වගේ.

      Delete
  12. කතාවනම් ලස්සනයි ධාරා. ඉමාලිට අසාධාරණයක් වෙන හැඩක් තමා මටත් පේන්නෙ. බලමුකො ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපි ඉන්නේ ආසාධාරණ ලෝකෙකනේ, ප්‍රියා අයියේ. අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා.

      Delete
  13. දෙවෙනි කොටස බලලම අදහස කියන්නම් ධාරා..චරිත පෙළගස්වන විදිහ නියමයි .......

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති :) සහන් අයිය ව දැක්කේ කාලෙකින්.

      Delete
    2. ඔයා නම් මාව එහෙම හරි දකිනවා.. ඒත් ඔයාව නම් දැකපු කාලයක් මතක නැහැ ... :P

      Delete
    3. මේ දවස්වල මම දේශපාලන කතා මග අරිනවා. ඕවා කියෙව්වා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් නෑනේ. හ්ම්ම්, ඉක්මනින් ම එන්නංකෝ ඒ පැත්තට.

      Delete
    4. ඔයත් ඉඳලා ඉඳලා අවේ තනිකර යුධ පිටියක් මැද්දට .. කෝ තුවාලද ඔයාට .... :)

      මෙන්න මේක බලන්න ධාරා ..... ": ගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය )".

      Delete
    5. තුවාලයක් නං නැතෝ. ලින්කුවට තුති! මම ගිහින් බැලුවා. හුඟක් සංවේදී කතාවක්. නංගිගේ වචන පෙළ දරන්න ටිකක් අමාරු යි. ඉක්මනින් ම ඉතිරි කොටස් 2 ත් බලන්නං :)

      Delete
  14. කුතුහලයකින් කතාව නතර කරලා තියෙන්නේ... ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න...
    මටත් සමහර වෙලාවට නයෝමිව හම්බ වේවි... මේ අල්ලපු වැටේනේ ඔය කියන පොත් සාප්පුව තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඉරිදට දෙන්නං :) ‍එහෙම නං මෙයා නුගේගොඩ ද? යන්නේ එහෙම නෑ මේ දවස් ටිකේ සරසවියට. අන්තිමට මට කතාව වෙනස් කරන්න වෙයි මධු අයියවත් දාල.

      Delete
    2. නුගේගොඩ තමා රස්සාව කොරන්නේ... අපෝ මං නං සරසවි යන්නේ නෑ.. ඒකේ පොත්වලට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ.. මං මරදානට තමා යන්නේ.. ගොඩගේ, දයාවංශ, සූරිය ! :)

      Delete
    3. එහෙම නං කමක් නෑ. මම බයේ හිටියේ ඔයාවත් කතාවට දාන්න වෙයි කියලා :P

      Delete
  15. හොඳ ආරම්භයක් නංගී. එක හුස්මට ආසාවෙන් කියෙව්වා. හොඳ කථාවක් අපට කියවන්න ලැබෙන බව ස්තීරයි!! ඔබට ජය!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, චන්දන අයියේ. ආසාවෙන් කියෙව්වා නං ‍එච්චර යි!

      Delete
  16. අවස්ථාවාදී ගෑණු :(
    හැමෝම හැමතිස්සෙම කියන දෙයක් තමයි "ඔක්කොම ගෑණු එක වගේ නෑ කියලා"
    ඒත් බලාගෙන ගියාම ඔක්කොම එකද කොහෙද....

    ReplyDelete
    Replies
    1. මෙයා ආවොත් චෝදනාවක් අරගෙන ම තමයි එන්නේ :(

      Delete
  17. ඇත්තටම ලස්සනයි ධාරා, ඉතුරි කොටස් ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇගයූමට ස්තූතියි, අනූ. මම හිතුවේ අනූගේ ලෝකයේ අනූ අක්කා කියලා. බලාගෙන යනකොට මේ වෙන කෙනෙක්නේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
  18. ඉතුරු ටිකත් ඉක්මනටම දාය් කියලා බලන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. කරත්ත රෝදය අද නේද මේ පැත්තට ගොඩ වුණේ. ඔයාවත් සාදරයෙන් පිළි ගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  19. පුදුමාකාර විදියට මේ කතාව සමීප උණා. ඉමාලි කියපු වචන ටික ඒ විදියටම
    //ඒ වුණාට ඉංජිනේරු මහත්තයෙක් වුණා ම මාව අමතක වෙයි ද දන්නේ නැහැ// මට ත් අහන්න ලැබුණා. එදා මගේ උත්තරේ උණෙත් ඒකමයි. තාම ඉමාලියෙක් ගැන හිතලා නෑ. මගේ නයෝමි ගැන අමතක කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක නයෝමි ව අමතක වුණා ම පූමා අයියටත් ඉමාලි කෙනෙක් ලැබෙයි :)

      Delete
    2. ඒත් තාමත් අර නයෝමි ගැන මයි හිතං ඉන්නේ

      Delete
    3. ඉක්මනින් ම ඉමාලි එයි ඔයාගේ හිතට.

      Delete
  20. මාතෘකාව දැක්කම මම හිතුවේ වෙනම සීන් එක්ක කියාලා.. බැලින්නම් මේක කතාවක්නේ.. ඊලග එකත් දාමුකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. දාන්නං දාන්නං :) මම දැක්කා ඊයේ මූණුපොතේ මට රික්වෙස්ට් එකක් දාල තියෙනවා.

      Delete
    2. ළමයා දැන් හොදයි කියලා හිතන් 2 බලන්න ගියාම ඒක නෑ.. අම්මපා ඉතින්..

      Delete
    3. සමාවෙන්න ඕනේ එකට නං. කතාව ලිය ලියා ඉන්නකොට save වෙනුවට publish වුණානේ. හෙට හවස අනිවාර්යයෙන් ම දෙවැනි කොටස දානවා.

      Delete
  21. ආරම්භය නං හිතට සෑහෙන්න දැනුන. හැබැයි ඔන්න ඉමාලිව රවට්ටන්නවත්, තනි කරන්නවත් ඔට්ටු නෑ හරිද...
    අර පරණ නයෝමිට ඕන කුදයක් ගහගන්න කියල ඉමාලිත් එක්ක අනුරාධට සතුටින් ඉන්න දෙන්න නගා... එහෙම නොකලොත් හොයා ගෙන ඇවිත් ගේම දෙන්නෙ.. හරි..?

    ReplyDelete
    Replies
    1. පව් නැද්ද අනේ පොඩ්ඩෙකුත් එක්ක තනි වෙච්ච නයෝමි? අම්මේ, බයේ බෑ. මෙය යි මොණරි යි එකතු වෙලා මාව සුදු වෑන් එකක දාගෙන යයි ද දන්නේ නෑ.

      Delete
    2. අනේ මේහ්... එක එක්කෙනාගෙ පොඩ්ඩො එක්ක තනි වෙච්ච ගෑණුන්ට වග කියන්න අනුරාධ මොකෝ අම්බලමක්යැ.. පොඩ්ඩට තාත්තෙක් නැත්තං තනිකඩ මනුස්සයෙක් හොයල දෙන්න අනේ. අර කසාදයක් කරගෙන පාඩුවෙ ඉන්න මනුස්සයගෙ ජීවිතේ අවුල් නොකර.
      හැබැයි ඔන්න නොකිව්වයි කියන්න එපා. සුදු වෑන්වලට හපන් වෙයි නපුරු විදියට කතාව ලිව්වොත් නං. ;)

      Delete
    3. අම්මේ, සිඟිති අක්කගේ සැර! කතාව ඉවර වෙනකොට මට යන එන මං නැති‍ වෙයි ද මන්දා! මොකද මන්දා කට්ටිය ඉමාලිගේ පැත්තට ම කතා කරන්නේ ;)

      Delete
  22. හොදයි...දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති! ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  23. නියමයි..ඉක්මනටම අනිත් කොටස ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, රජ වීදිය. අද හවසට අනිත් කොටස දාන්න කියලා හිතාගෙන ඉන්නේ :)

      Delete
  24. ඉංජිනේරු මහත්තයෙක්ගේ කතාවක්නේ මේ. :)

    ඉක්මනටම කතාව කියන්න හොඳේ. මේ කතාව අතීතයක් මතක් කරන්න හදනව වගේ.
    "ඒ වුණාට ඉංජිනේරු මහත්තයෙක් වුණා ම මාව අමතක වෙයි ද දන්නේ නැහැ,"
    මමත් මේ කතාව මෙහෙමම කියල තියනෝ. :) ඉස්සර.

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙක්ට අතීතය මතක් වෙනවා වගේ මේ කතාව නිසා. ඒක නෙමෙයි, ඔයා ඔය කතාව කිව්වේ පූමා අයියට එහෙම නෙමෙයි නේද? මොකද එයා කිව්වා ගෑනු ළමයෙක් එයාටත් ඔය කතාව කිව්වා කියලා!

      Delete
    2. අනේ නෑ මෙයා. වෙන අයියෙක්ට. :)

      Delete
    3. එහෙම නං කමක් නැතෝ :P නැත්තං අලුත් කතාවක් ලියන්න වෙනවනේ.

      Delete
  25. ඔන්න මමත් කියවන්න ගත්තා

    ReplyDelete
    Replies
    1. ගන්දරයා ව සොඳුරු මංපෙතට සාදරයෙන් පිළිගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  26. මං හිතුවෙ මෙඩිසින් මෙව්වා එකක් කියලා.. :3

    ReplyDelete
    Replies
    1. මෙඩිසින් මෙව්වා එකක් නෙමෙයි, අෆ්ෆා. මේක නිකං කෙටි කතාවක් වගේ එකක්.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...