පහුගිය දවස් ටිකේ මට බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණානේ. ඒ නිසා බ්ලොග් කියවන්නත්, කොමෙන්ටු දාන්නත් බැරි වුණා. මුලින් ම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. (මේ අහිංසකීට සමාව දෙන්න. පව්නේ!) මේ විදියට බ්ලොග් එක අමතක කරන්න හේතු ගොඩක් සිද්ධ වුණා ගෙවිල ගිය දෙසතියේ. එයින් ප්‍රධාන ම හේතුවක් තමයි සිංහරාජයට ගිය විනෝද චාරිකාව! තවත් හේතුවක් තමයි කොළඹ පොත් ප්‍රදර්ශනේට ගිහින් අරගෙන ආපු පොත් කන්ද කියවමින් කාලය ගත කරපු එක. ඒ ගැන නම් ලියන්න හුඟක් විස්තර තිබුණත් අද ලියන්නේ නම් ඒ ගැන නෙමෙයි. මට මුහුණ දෙන්න වුණ වෙනත් අත්දැකීමක් ගැන.
මගේ හොඳ ම මිතුරියකගේ අක්කා (නමින් එරන්දි කියලා කියමු) අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටිය නිසා මට මීට දවස් පහ හයකට කලින් ඉස්පිරිතාලේ යන්න වුණා. ගියාට පස්සේ තමයි දැන ගන්නේ ලැබුණේ එරන්දි අක්කගේ තත්ත්වය බරපතළ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරපු විත්තිය! ඒ නිසා කාටවත් ඇය ව බලන්න යන්න අවසර ලැබුණේ නැහැ.
කොහොම හරි අහලා බලනකොට දැන ගන්න ලැබුණා ඒ අක්කා මෙහෙම ලෙඩ වෙන්න හේතුව. දින කිහිපයකට කලින් දවල් කෑම වේල මග ඇරුන නිසා එරන්දි අක්කා ඔෆිස් එක ළඟ තිබුණ කඩේකින් රෝල්ස් දෙකක් අරගෙන කාල තියෙනවා. එදා රෑ සුළුවෙන් හැදිච්ච බඩේ අමාරුව පහු වෙනිදා දවල් වෙන තුරු හොඳ අතට හැරුනේ නැති නිසා එරන්දි අක්කගේ මහත්තයා එයා ව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගිහින්. ඒ දුන්න බෙහෙත්වලින් සුව අතට හැරුනේ නැති නිසා තමයි අක්ක ව රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ. පරීක්ෂණ කිහිපයක් කරලා බලනකොට තමයි මේ බඩේ අමාරුවට හේතුව හොයා ගන්න හැකි වුණේ. පරීක්ෂණ වාර්තාවට අනුව හේතුව : තෙල් විෂවීමක්
කොහොම වුණත් එදා කලබලේට කඩෙන් කාපු රෝල්ස් දෙක නිසා අද ඇගේ ජීවිතේ අනතුරේ. අද උදේ මට දුරකථන ඇමතුමක් දීපු මගේ මිතුරිය ඇඬූ කඳුළෙන් කිව්වේ එරන්දි අක්කගේ ජීවිතේ බේරා ගන්න බැරි බවට වෛද්‍යවරුන් කියපු දුක්බර ආරංචිය . . . මේ නිසා අක්කගේ මහත්තයා වගේ ම ගෙදර අයත් හුඟක් දුකෙන් ඉන්නේ. තව දින කිහිපයකින් තමන්ට අම්මගේ උණුසුම සදහට ම නැති වෙන බව නොදන්න පුංචි පුතු පැටියා විතරක් තාත්තගේ උණුසුමට තුරුල් වෙලා සතුටින් හිනා වෙනවා.
මේ මාස ගණන් පරණ වුණ තෙලේ බදින කෑම නිසා සිදු වුණ එක දුක්බර කතාවක් විතර යි. කලබලේට කඩවලින් කෑම කාල අපේ ජීවිතේ අනතුරේ හෙලන්නේ නැතු ව තෙල් කෑම කන්න කලින් දෙපාරක් නෙමෙයි තවත් පාරක් හොඳින් හිතුවොත් නරක ද?