December 5, 2013

දෙයියන්ගේ ලෙඩ (තෙවැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ පළමු සහ දෙවැනි කොටස් කියවන්න ‍ඕනේ අය මේ අතුරු මංපෙත් දිගේ ගිහින් කියවලා එන්න . . .


දෙසවන් අදහන්න බැරි ව අනුරාධ නයෝමි දිහා බැලුවා. ඇගේ දෑසෙන් ගලාගෙන යන කඳුළු නිසා රිදුම් දෙන හදවතක් එක්ක ඔහු ආපසු ඈ දිහාට හැරුණා. 'උඹ කරන්නේ වැරැද්දක්, අනුරාධ. උඹට වචනෙකින්වත් වැරැද්දක් නොකරන ඉමාලිට ඇයි උඹ ද්‍රෝහි වෙන්නෙ?' නයෝමිගේ ඉකිබිඳුම පරයමින් ඔහුගේ හිත කෑ ගැහුවා.

"නයෝමි," ඔහුගේ ස්වරය මෘදු යි. ශාන්ත යි. "මම කවදාවත් ඔයා ව දාල ගියේ නැහැ. ඔය යි මාව තනි කරලා දාල අරෝෂ් ළඟට ගියේ. ඒක අමතක ද ඔයාට?"

ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවුණ ඔහු කඩා හැලෙන මහ වැසි නොතකා ම එළියට බැස්සා. නුගේගොඩ නගරය අඳුරු යි. නමුත් තැනින් තැන දැල්වුණ විදුලි පහන් නිසා ඒ අඳුර මැකී ගියා. නමුත් ඔහුගේ හිත වසා ගත්ත අඳුර මකන්න ඒ විදුලි පහන්වලට හැකියාවක් තිබුණේ නැහැ.

නොකඩවා ම ඇද වැටෙන වැහි බිඳු ඔහුගේ කඳුළින් වැසුණ දෙනෙත් පැහැදිලි කළා. ඒත් හදවතක නැගෙන ගින්නක් නිවන්න මහ වැස්සකට පුළුවන් ද?

වැස්සේ තෙමි තෙමී ඇවිත් අනුරාධ සරසවි පොත් මැදුර ඉදිරිපිට නතර කරලා තිබුණ වාහනයට නැග්ගා. ඔහුගේ නිල් පැහැ කමිසය ඇඟට ම ඇලිලා. කෙස් කළඹෙන් බේරුණු දිය වාහනය තුළ එක්රැස් වුණා. නමුත් ඒ කිසිවක් ගැන තැකීමක් නොකළ අනුරාධ තදින් ම රිදුම් දෙන හිස සුක්කානම මත තියා ගත්තේ සහනයක් බලාපොරොත්තුවෙන් වුණත් නයෝමි ඔහුගේ දෑස් ඉදිරියේ සිත්තම් වුණේ ඔහුගේ වේදනාව වැඩි කරමින්.    

සිව් වසරකට කලින් ඔහු ව හැර ගිය ඇය නිසා විරහවෙන් කැකෑරෙන හදවතක් එක්ක ඔහු තනි ව දුක් වින්දා. දින ගණනාවක් හඬා වැටුණා. අන්තිමේ දී හැම දෙයක් ම අමතක කරලා අලුතින් ජීවිතයක් පටන් ගත්තේ අම්මගේ, නංගිගේ සහ යහළු යෙහෙළියන්ගේ සිත්වලට සැනසීමක් ගෙන දෙමින්. නමුත් ආයෙමත් ඒ කුරිරු අතීත මතකයන් අරගෙන ඔහුගේ හදවත වේදනාවෙන් දවාලන්න නයෝමි ඇවිත් හිටියා. කළ යුතු දේ පිළිබඳ ව ඔහු තීරණයක් ගත යුතු ව තිබුණා. නිවැරදි තීරණයක්.    

යාබද අසුන මත තිබුණ බ්‍රිස්ටල් බෝඩ් රෝල දිහා බලන ගමන් ජංගම දුරකථනය සුරතට ගත්ත අනුරාධ ඉමාලිට ඇමතුමක් ගත්තා. ඔහුට ඕනේ වුණේ ඉමාලිට මේ හැම දෙයක් ම කියලා හිත නිදහස් කර ගන්න. යෝජිත විවාහයක් වුණත් දැන් ඔහුගේ බිරිඳ ඇය යි. මේ දේවල් දැන ගන්න ඇයට අයිතියක් තියෙනවා.

"අනූ, ඔයා පරිස්සමින් ගෙදර ගියා නේද? මම ඉක්මනට එන්නං." ඉමාලිගේ ආදරණීය කටහඬ ඔහුගේ හිතේ තිබුණ සැලසුමට තිතක් තිබ්බා. 'එක අතකට මේ වගේ පොඩි දෙයක් නිසා ඉමාලිගේ හිතට දුකක් දෙන්නේ ඇයි?'

"ඔයා තාම කැම්පස් එකේ ද?"

"ඔව්. තව ටිකකින් මට එන්න පුළුවන්. මම ඉක්මනට එන්නං. ඔයාට බඩගිනි ද?"

"නැහැ. ඔයා බස් එකේ එන්න එපා. දැන් රෑ වෙලානේ. මම එන්නං ඔයා ව ගන්න."

"ඔයා කොහෙද ඉන්නෙ?"

"නුගේගොඩ."

"ඔයා ගෙදර යන්න, අනූ. ආයෙමත් මෙහේ එන එක අපරාදේ. මම බස් එකේ එන්නං. ඔයා ගෙදර ගිහින් ‍මහන්සි යන්න වොෂ් එකක් දා ගන්න."

"මට බෑ තනියම ගෙදර යන්න. මම එන්නං ඔයා ව ගන්න."

"මේ මොකද මේ?" ඉමාලි ඇහුවේ සිනහව අතරින්. ඇගේ ඒ සොඳුරු සිනා හඬ ඔහුගේ හිතට සතුට සමග මුසු වෙච්ච සැනසීමක් අරගෙන ආවා.

"මම එනකං ඉන්න, ඉමාලි."

ඇයට පිළිතුරක් දෙන්න ඉඩ නොතියා ඇමතුම විසන්ධි කරපු අනුරාධ කොළඹ සරසවි බිම කරා රිය පදවා ගෙන ගියේ මනසින් ඇගේ සිනා හඬට සවන් දෙමින්.

සරසවි පිවිසුම් දොරටුව අබියස ආවරණයක් යටට වෙලා සිසු සිසුවියන් පිරිසක් එක්ක කතා කරමින් හිටපු ඉමාලි ව දැක්ක අනුරාධගේ මුහුණේ මතු වුණේ මදහසක්. 'මට සමාවෙන්න, ඉමාලි. මම කවදාවත් ඔයාට දුකක් දෙන්නේ නෑ. ඔයා නිසා යි අද මම ජීවත් වෙලා ඉන්නේ.'

අනුරාධගේ මෝටර් රථය දැක්ක ම ඇය සිසු සිසුවියන්ට සමු දීලා පොද වැස්සෙ ම දුවගෙන ඇවිත් ඉදිරිපස අසුනට ගොඩ වුණේ ඔවුන්ගේ විහිළු තහළු මැද.

"මොකද්ද අනේ ඔයාට වුණේ?" ඇඟට ඇලුණු කමිසයකුත් ඇඳගෙන සීතලේ වෙව්ලමින් හිටපු අනුරාධ දිහා බලන ගමන් ඇය පුදුමයෙන් ඇහුවා.

"පොඩි වැස්සකට අහු වුණා."

"මට ඒත් හිතුනා පොඩි වැස්සක් වෙන්න ඇති කියලා," ඉමාලි ඇනුම්පදයක් කිව්වේ ඔසරි පොටින් ඔහුගේ හිස පිහදමමින්. ඒ ආදරණීය බව ආයෙමත් ඔහුගේ හිත වරදකරුවෙක් කළා.

"මොකටද වැස්සේ තෙමෙන්න ගියේ?"

"කවුද හිතලා තෙමුණේ? මම සරසවියට ගිහින් එනකොට වැස්සක් කඩා වැටුණා."

"වැස්ස පායනකං ඉන්න තිබුණානේ. කෝ මට අරගෙන ආපු පොත?"

"ඔයා පොතක් ගේන්න කිව්වේ නැහැනේ."

"ඒ වුණාට වෙනදට . . ."

"අද හොඳ‍ පොත් තිබුණේ නැහැ, ඉමාලි."

අනුරාධගේ පිළිතුර ඔවුන් දෙදෙනා අතර ඇති කළේ දැඩි නිහඬතාවයක්. කල්පයක් වගේ දැනුණ මිනිත්තු කිහිපයකට පස්සේ ජංගම දුරකථනයේ හඬ ඒ නිහඬ බව බිඳ දැම්මේ අනුරාධගේ සිත නොසන්සුන් කරමින්. නාඳුනන දුරකථන අංකයක්. අඩවන් ව තිබුණ ඉමාලිගේ දෙනෙත් විවර වුණා.

"හෙලෝ," දුරකථනය තුළින් මාලින්ගේ කටහඬ ගලාගෙන ආවා. ඔහුගේ කටහඬ ‍රළු යි. අකාරුණික යි. ඒත් ඒ හඬ අනුරාධගේ සසල සිත නිසල කළා.

"මාලින්, උඹ මොකද මේ වෙලාවේ? කාගෙද මේ නම්බර් එක?"

"එකෙන් උඹට වැඩක් නැහැ. උඹ අද හවස මැක්ඩොනල්ඩ්ස් ආපු වෙලාවේ මට මේක කියන්න තිබුණේ. ඒත් උඹලගේ කතාවට බාධා කරන්න ඕනේ වුණේ නැහැ." මාලින්ගේ වදනින් අනුරාධගේ සිත තිගැස්සුණා. "උඹ ආයෙමත් මෝඩයෙක් වගේ හැසිරෙන්නේ උඹට ලැජ්ජා නැද්ද? එක දවසින් අවුරුදු ගාණක් තිස්සේ විඳපු දුක උඹට අමතක වුණා ද? මම දන්නේ නෑ අරකි උඹට මොනවා කිව්ව ද කියලා. හැබැයි, උඹ ඉමාලිට වැරැද්දක් කරොත් . . ." ඇමතුම විසන්ධි වුණා.

"මාලින්ට මොකක් හරි කරදරයක් ද?" ඉමාලි බියපත් ව ඇහුවේ අනුරාධගේ සුදුමැලි වෙච්ච මුහුණ දිහා බලන ගමන්.

"නැහැ."

"එහෙම නං ඇයි? ඔයාගේ මූණත් සුදුමැලි වෙලා."

"මගේ ඔළුව රිදෙනවා. වැස්සට තෙමිච්ච නිසා වෙන්න ඇති, ඉමාලි."

ආදරය අතරට එන නිහඬ බව දරුණු වේදනාවක්. කටුක යි. පෙර ඇති නොවූ වෙනසක්. ඒ නිසා ඉමාලිගේ සිත නොසන්සුන්. තැති ගත් මුවැත්තියකගේ වගේ.

ගෙදර ඇවිත් තෙත ඇඳුම් මාරු කර ගත්ත අනුරාධ ඇ‍ඳේ හාන්සි වෙලා දෙනෙත් පියා ගත්තා. සිදු වුණ දේ ඔහුට සිහිනයක්. 'මාලින් කොහොම ද මේ හැම දෙ‍යක් ම දැක්කෙ?'

මුළුතැන්ගෙට වෙලා රෑ කෑම වේල ප්‍රතික්ෂේප කරපු අනුරාධට උණුසුම් කිරි වීදුරුවක් හදන ගමන් හවස සිදු වෙච්ච දේවල් ගැන ඉමාලි කල්පනා කළා. පහුගිය දෑ අවුරුද්ද පුරා ඇය දැනගෙන නොහිටි අලුත් අනුරාධ කෙනෙක්. කවදාවත් නැතු ව අද ඔහු නිහඬ යි. ගුප්ත යි. 'මාලින් ව මුණ ගැහිලා මේ ගැන අහනවා ද?'

ඉමාලි අරගෙන ආපු කීරි වීදුරුවත් එක්ක පැන්ඩෝල් දෙකක් බීපු අනුරාධ පොරෝනය ඇතුළේ ගුලි වුණේ හිස පුපුරා යන තරමේ වේදනාවක් සමග. ඉමාලිගේ ඇඟිලි තුඩු කෙස් කළඹ අතරින් දිව යනකොට ඔහුට දැනුණේ කියාගන්න බැරි තරම් සුවයක්.

එකවර ම ඉමාලි නිදන කාමරයෙන් පිටතට දුවගෙන ගියේ සැනසිලිදායක හැඟීම් සමුදායක් එක්ක ඔහු අඩ නින්දේ පසු වෙද්දී. මද වෙලාවකින් ඇය ආපසු ඇවිත් ඔහුගේ පසෙකින් අසුන් ගත්තේ ඇඳ ළඟ තිබුණ පුංචි මේසේ මත ඔහුගේ ජංගම දුරකථනය තබන ගමන්.

"මාව දාල කොහෙද ගියේ?" අනුරාධගේ කටහඬ නිදිබර යි.

"ඔයාගේ ෆෝන් එක රින්ග් වුණා. ඒක සාලේ මේසේ උඩ දාල ඇවිත් ඔයා."

"වෙන්න ඇති. මට ඇහුණේ නෑ රින්ග් වෙනවා."

"ඔයාගේ යාළුවෙක් කතා කරේ. මම කිව්වා ඔයාට ඔළුවේ කැක්කුමක් හැදිලා නිදි කියලා. හෙට උදේට කතා කරන්නං කිව්වා."

"මාලින් ද?"

"නැහැ. මම හිතන්නේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ. නම කිව්වේ නයෝමි කියලා," ඉමාලි කිව්වේ සැහැල්ලුවෙන්.

෴  මතු සම්බන්ධ යි 

50 comments:

  1. ඔය තියෙන්නේ කතාව ලියලා තියෙන්නේ හොදට...යමුකෝ තව ඉස්සහරට මොකෝ වෙන්නේ බලන්න...ආච්චි අම්මේ <3

    ReplyDelete
    Replies
    1. එහෙම නං යමුකෝ, ආතේ :P

      Delete
  2. ධාරා කතාවේ හොද කම්පැක්ට් ගතියක් පේනවා ඒ කිව්වේ පිරුණු ගතියක්. මට 1,2 මිස් වෙලා කියවල එන්නං...

    ReplyDelete
    Replies
    1. අම්මේ, දේශකය ව දැක්ක කල් :) කොහෙද අප්පේ ගිහින් හිටියෙ?

      Delete
    2. මොකෑ කහින්නෙ?

      Delete
  3. නියමයි නංගා ...ඔහොමම යන් ,හැබැයි කලබලෙන් ඉවර කරන්න ඔට්ටු නෑ හරිද? මගෙත් ඔලුව රිදෙනවා වගේ දැන්. ඔයාට වෙන නමක් තිබ්බෙම නැද්ද දාන්න ...:D

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා! බය වෙන්න එපා, අනේ. කතාව කියවන්න ඔයාට තියෙන කලබලේ මට නෑ. ඒ නිසා දැන් ම ඉවර වෙන්නේ නැතෝ. මම කාලෙක ඉඳලා ආසාවෙන් හිටියේ "අනුරාධ" කියන නම තියෙන කතා නායකයෙක් ඉන්න කතාවක් ලියන්න. ඔන්න ඔහොම යි නම දැම්මේ. අනික ඉවාන් අයියට කොච්චර ආඩම්බරයක් ද බලන්න. කොහොම ද කවදා හරි ඔය වගේ ම ගෑනු ළමයි දෙන්නෙක් ආදරේ කරොත් එහෙම?

      Delete
  4. ෂා නියමෙට ලියල තියෙනව..ධාරා ඉක්මනට අනිත් කොටසත් දාන්න..මොකද ආදර කතා ලොකු පොඩි හැමෝම වගේ කියවන නිසා කව්රුත් බලාගෙන ඉන්නෙ අනිත් කොටස එනකම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, රජ වීදිය :) පුළුවන් ඉක්මනට දාන්නංකෝ.

      Delete
  5. අනුරාද ඉමාලිට නයෝමි ගැන කියයිද දන්නෑ....ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩ නංගා...

    ReplyDelete
    Replies
    1. බලමු‍කෝ සසිඳු අයියේ ඊළඟ කොටසත් කියවල ම!

      Delete
  6. අනේ අර නයෝමිව මරල දාපං

    ReplyDelete
    Replies
    1. ඔච්චර කුරිරු වෙන්න එපා, අරුණියෝ :)

      Delete
  7. අනුරාධ ට තිබුනේ නයෝමි ගැන කියන්න....

    හ්ම්ම්...බලමුකෝ

    ReplyDelete
    Replies
    1. අනුරාධට හිතෙන්න ඇති දැන් ම කියන එක හොඳ නෑ කියලා!

      Delete
  8. හපොයි ධාරා නංගො නයෝමි මොකටද එන්න හදන්නෙ?
    අනුරාධ ඉමාලිට දැන්ම ඇත්ත කිවුවනම් හොදයි. බලමුකො ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. මොකද වෙන්නේ කියලා බලමුකෝ, ප්‍රියා අයියේ.

      Delete
  9. මල ජූලියක් වෙන්න වගේ. හැබැයි මට තාමත් තරහයි නයෝමි එක්ක. බලමුකෝ ඊළඟ කොටසින්....

    ReplyDelete
    Replies
    1. චන්දන අයියා තරහ ගන්න ඕනේ නෑ. අනුරාධ මොකක් හරි කරයිනේ :)

      Delete
  10. යනවා නම් යන්න ඕන සඳහටම. එහෙම බැරි නම් වරද හරිගස්සාගන්න පුළුවන් වෙලාවේ ඒ දෙය කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත! ඒත් ඉතින් සදහට ම දාල ගිය අයත් ආයෙත් එනවනේ :( මොනවා කරන්න ද?

      Delete
  11. කෝ ඉතිං මොනවද ගත්ටු පොත් කියලා කිව්වේ නෑ නේ.... :(
    ඉතුරු කොටසත් ලියමු එහෙනං.. මේ ඒක නෙමේ මොකෑ මේ පෝස්ට් එකට උනේ ???

    ReplyDelete
    Replies
    1. "වැස්ස පායනකං ඉන්න තිබුණානේ. කෝ මට අරගෙන ආපු පොත?"

      "ඔයා පොතක් ගේන්න කිව්වේ නැහැනේ."

      "ඒ වුණාට වෙනදට . . ."

      "අද හොඳ‍ පොත් තිබුණේ නැහැ, ඉමාලි."

      වෙනදට මොකක් හරි පොතක් උස්සගෙන එන අනුරාධ අද පොතක් ගෙනල්ලා නෑ, මධූ අයියේ. ඒක යි ඉමාලිට මොකක් හරි වෙනසක් සිද්ධ වුණ බව දැනෙන්නේ. හ්ම්ම්, බලමුකෝ ඉස්සරහට. මොකද්ද මන්දා එකක් වුණා, අෆ්ෆා. මම දන්නේ නෑ. මේක පබ්ලිෂ් කරා ම රීඩිං ලිස්ට් එකේ අප්ඩේට් වුණේ නෑ පැයක් යනකං ම :( ඒ නිසා වෙනමින් පෝස්ට් එකක් ‍දැම්මා මේකට පාර පෙන්නලා!

      Delete
  12. ඇත්තටම අනුරාධ මොනව කරයිද ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. කියවල ම බලමු, අසෙනි අක්කේ.

      Delete
  13. අතිවිශිෂ්ටයි.. වෙන කියන්න දෙයක් නෑ.. අනික් කොටස් දෙකටම වඩා බොහොම සංයමයෙන් දෙබස් සම්බන්ද කරල තියනවා..

    ReplyDelete
    Replies
    1. ඇගයුමට බොහෝම ස්තූතියි, සමියෝ. ඊළඟ කොටස මී‍ට වඩා හොඳට ලියන්න බලන්නංකෝ :)

      Delete
  14. "කවුද හිතලා තෙමුණේ? මම සරසවියට ගිහින් එනකොට වැස්සක් කඩා වැටුණා." මේක දෙබසක් නෙ. 'සරසවියට' කියන වචනෙ වෙනස් කරන්න. මට ගීතයක් මතක් වුණා. හදේ කොතැනක් හෝ හිඳී ඔබ නිදා නො නිදා මෙන්....

    ReplyDelete
    Replies
    1. එහෙම නං "සරසවියට" වෙනුවට "බුක්ෂොප්" කියලා වෙනස් කරන්න ද? අනේ මන්දා, මට නං "සරසවියට ගියා" කියලා පුරුදු වෙලා දැන්. ඒකත් කතාවටත් එහෙම දැම්මේ.

      Delete
    2. එහෙම නම් අවුලක් නෑ. මම මට හිතුණ හින්ද කිව්වෙ :)

      Delete
    3. හරි :) අදහසට තුති!

      Delete
  15. ලස්සනයි ධාරා. ඔන්න අහිංසක ඉමාලිගෙ හිත අවුල් කරන්න නම් එපා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අනූ. හ්ම්ම්, අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා!

      Delete
  16. ලස්සනයි ධාරා.කතාව යන විදිය හරිම ලස්සනයි.ඊගාව කොටසත් ඉක්මනින් ඕනේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, මනෝජ් අයියේ. පුළුවන් ඉක්මනට දාන්නංකෝ.

      Delete
  17. තුන තමයි ඉස්සෙල්ලම බැලුවේ කොහොමත් කතාව යන විදිය ලස්සනයි.බලපු නැති කොටස් දෙකත් බලල එන්නං,සුබ ගමන්

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති! හැලප මාමා ව සොඳුරු මංපෙතට සාදරයෙන් පිළි ගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  18. ඔන්න අද නිවි සැනසිල්ලේ ධාරා නංගගේ කතාව සම්පුර්ණයෙන් කියෙව්වා.දුක හිතෙන අවසානයක් නම් දෙන්න එපා ඕං.....

    ReplyDelete
    Replies
    1. ශානු අක්කට ස්තූතියි! ඇයි අනේ හැමෝම දුක හිතෙන අවසානෙකට කැමති ‍නැත්තෙ?

      Delete
  19. අනුරාධගේ හිතේ තවම නයෝමිව ඉන්නේ අහිංසක ආදරවන්තියක් විදියට වගේ නැතිනම් උණ හැදෙන්න තරම් හිතේ අමාරුවක් හැදෙන්න විදියක් නෑ පුංචි සංතෝෂයක් ඇතිවෙනවා මිස

    ReplyDelete
    Replies
    1. ගන්දරයා දැන් නොකියා කියන්නේ නයෝමි අහිංසක නෑ කියල ද?

      Delete
    2. දැනට නම් මට හිතෙන්නේ නයෝමි අහිංසක නැහැ කියලා තමයි :D

      Delete
    3. බලමුකෝ ඉස්සරහට නයෝමි කවුද කියලා!

      Delete
  20. අර දෙන්නගේ ලස්සන ජීවිතේට නයෝමි හොම්බ දාන්නේ ඇයි ??
    මම දැන් කුපිත වේගෙන එන්නේ ..ග්ර්ර් .. :)))

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අනේ නයෝමිගේ හැටි! අම්මේ, ඔන්න මම කුපිත වෙච්ච කසුන් අයියට බය වුණා ලු :P

      Delete
  21. අහම්බෙන් මේ කතාව කියවන්න ආවේ සතියක විතර ඉඳන්.
    ටිකක් විතර සුජීවගේ ස්ටයිල් එකට බරයි වගේ නේද?
    ඒ වුනාට මම මේ කතාවට ආසයි. ඔබේ ලිවීමේ හැකියාවත් ඉහලයි.

    ReplyDelete
    Replies
    1. සුජීවගේ කතාවලින් මම කියවලා තියෙන්නේ "නිලම්බරේ" කතා පොත විතර යි. කොහොම වුණත් මම මගේ ම ශෛලියකට තමයි ලියන්න උත්සාහ කරන්නේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට :) ඇගයුමට තුති!

      Delete
  22. ඔයා නං මාරම විදියකටනෙ මේ කතාව ලියන්නෙ ධාරො.. ඇත්තටම ලස්සනයි.. :) එහෙම වුනයි කියල මගේ අදහස වෙනස් නෑ හරී...?
    නයෝමිගෙ ඝාතකයො ලැයිස්තුවක් මේ කමෙන්ට් ගොඩේ ඉන්න එක ගැන හරිම සතුටුයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සිඟිතියෝ :) කතාව ලියලා ඉවර වෙනකොට නයෝමි කෙසේ වෙතත් මම ජීවත් වෙලා ඉඳී ද මන්දා!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...