"විලියම්, ඔයා ආයෙමත් අර භයානක සෙල්ලම පටන් ගත්ත ද?" බ්‍රවුන් මහත්මිය ඇහුවේ බලාපොරොත්තු සුන් වුණ කටහඬකින්.
විලියම්, ඇය දිහා බැලුවේ අහිංසක බැල්මකින් මුහුණ හැඩ කරගෙන. ඔහුගේ මුහුණ සහ ඇඳුම් කට්ටලය පුරා ම කුණු තැවරිලා. ටයි පටිය බෙල්ල වටේ එතිලා. තුවාල වුණ දණිහිසෙන් ලේ ගලනවා.
"නෑ, අම්මේ. ඔයා එපා කියපු කිසිම දෙයක් මම නං කරේ නෑ. ඔයා මට කරන්න එපා කිව්වේ 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලමනේ. ඉතින්, ඔයා එපා කියපු වෙලාවේ ඉඳලා මම 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම කරේ නෑ. කවුරු ඒක කරන්න කිව්වත් ඔයා එපා කිව්වොත් නං මම කරන්නේ නෑ. මම . . ."
බ්‍රවුන් මහත්මිය ඔහුට බාධා කළා.
"හොඳයි, එහෙම නං ඔයා කරපු සෙල්ලම මොකද්ද?" වෙහෙසට පත් වුණ හඬකින් ඇය ඇහුවා.
"මම කරේ 'කොටි සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම," විලියම් කිව්වා. "ඒක වෙනස් සෙල්ලමක්. 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී කට්ටියක් සිංහයෝ. ඉතුරු කට්ටිය හීලෑ කරන්නෝ. හීලෑ කරන්නෝ සිංහයන් ව හීලෑ කර ගන්න යි හදන්නේ. සිංහයෝ හදන්නේ හීලෑ වෙන්නේ නැතු ව ඉන්න. ඒක තමයි 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ'. ඒක මේ පොඩි සෙල්ලමක්නේ, අම්මේ."
"එතකොට 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී මොකද කරන්නෙ?" බ්‍රවුන් මහත්මිය ඇහුවේ කුතුහලයෙන්.
"මෙහෙම යි . . ." විලියම් කල්පනා කරන ගමන් කිව්වා.
"මෙහෙම යි," විලියම් ආයෙමත් කිව්වේ අහිංසක විදියට. "මේ 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී කට්ටියක් කොටි. අනිත් කට්ටිය ඉතින් මේ . . ."
"ඒ දෙක ම එක වගේනේ, විලියම්," බ්‍රවුන් මහත්මිය අලුත් උනන්දුවකින් කිව්වා.
"මට නං තේරෙන්නේ නෑ ඒ දෙක එක වගේ වෙන්නේ කොහොම ද කියලා," විලියම් කිව්වේ උත්සාහය අත් හරින්නේ නැති ස්වරයකින්. "ඔයාට සිංහයෙක්ට කොටියෙක් කියලා කියන්න බැහැනේ, පුළුවන් ද? උන් දෙන්නා එක් කෙනෙක් නෙමෙයිනේ, අම්මා. සත්තු වත්තේ වුණත් කූඩු දෙකකනේ ඉන්නේ. ඒ නිසා 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලම 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලමට වඩා හුඟක් වෙනස්."
"හොඳයි, එහෙම නං," බ්‍රවුන් මහත්මිය දැඩි කටහඬකින් කිව්වා. "ඔයා 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලම කරන්නත් එපා. දැන් ගිහිල්ලා මූණ සෝද ගන්න."
විලියම්ගේ මුහුණේ තිබුණ අහිංසක බැල්ම තවත් වැඩි වුණා.
"මගේ මූණ?" විලියම් ඇහුවේ පුදුමයට පත් වුණ හඬකින්. "මම අද දෙපාරක් ම මූණ හේදුවනේ. ඔයා කිව්වා වගේ ම උදේ නැගිට්ට ගමන් මම මූණ හේදුවා. ඒ වගේ ම දවල් කෑමට කලිනුත් හේදුවා."
"හ්ම්ම්, එහෙම නං කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නකෝ."
විලියම් හෙමින් කණ්ණාඩිය ළඟට ඇවිද ගෙන ගිහින් ඒ තුළින් පෙනෙන තමන්ගේ ඡායාව දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ සැහැල්ලුවෙන් වගේ අව පැහැ වෙච්ච මුහුණ අත් දෙකෙන් අතුල්ලන ගමන් ටයි පටිය කෙලින් කර ගත්තා. කොණ්ඩෙත් අතින් හදා ගත්තට පස්සේ තමයි ඔහු බලාපොරොත්තු සහගත බැල්මක් අම්මා දිහාට යොමු කළේ.
"ඕක හරියන වැඩක් නෙමෙයි," ඇය කිව්වා. "ඔයා ගිහිල්ලා මූණ හොඳට හෝදලා කොණ්ඩේ හරියට පීරගෙන එන්න. ආ! ඒ වගේ ම අලුත් ඇඳුමක් ඇඳ ගත්තොත් හොඳයි. ඒ වගේ ම මේස් දෙකත් මාරු කරන්න ඕනේ. බලන්න, ඒවා දුවිලිවලින් වැහිලා!"
"මට හිතා ගන්න බෑ," විලියම් කිව්වේ මුහුණ ඇඹුල් කර ගන්න ගමන්. "මට හිතා ගන්න බෑ අනිත් ගෙවල්වල ඉන්න මිනිස්සුත් මේ වගේ දවස තිස්සේ මූණ හෝදන එක යි, කොණ්ඩේ පීරන එක යි කරනවා ද කියලා. එයාලට මෙහෙම කරදරයක් නැති එක ගැන මට සතුටු යි."
මිනිත්තු දහයකට පස්සේ බ්‍රවුන් මහත්මියට ඇහුනා විලියම් පහළට එන සද්දේ.
"විලියම්!" ඇය කතා කළා.
ඔහු කාමරේට ඇතුළු වුණේ සම්පුර්ණයෙන් ම වෙනස් කෙනෙක් විදියට. ඔහුගේ මුහුණ වගේ ම කෙස් කළඹත් ලස්සණට දිලිසෙනවා. ඒ වගේ ම ඇඳුම් කට්ටලයත් මාරු කරලා. මේ නිසා ඔහුගේ මුහුණ හැඩ වෙලා තිබුණ අහිංසක බැල්ම තවත් වැඩි වෙලා පෙනුනා.
“මෙහෙම හොඳයි,” ඔහුගේ අම්මා කිව්වේ ප්‍රශංසා කරන ස්වරයකින්. “දැන් . . . විලියම්, තේ වෙලාව එනකං මෙතනින් වාඩි වෙලා ඉන්න. තව විනාඩි දහයක් වගේ තියෙන්නේ. ඒ නිසා එළියට යන්න එපා. එළියට ගියොත් ඔයා ආයෙමත් ඇඳුම් අවුල් කර ගන්නවා. ඒ නිසා එක තැනකට වෙලා ඉන්න එක හොඳයි.”
විලියම් බලාපොරොත්තු කඩ වුණ බැල්මකින් විසිත්ත කාමරේ දිහා බැලුවා.
"මෙතනට වෙලා ඉන්න?"
"හ්ම්ම්, තේ වෙලාව එනකං විතර යි, විලියම්."
"මෙතනට වෙලා මොනව ද මම කරන්නෙ? නිකං බලාගෙන ඉන්න කියල ද කියන්නෙ? මට නං බැහැ මුකුත් නොකර කාලේ නාස්ති කරන්න!"
"එහෙම නං පොතක් කියවන්න. මේ බලන්න, මෙතන ඔයා කියවපු නැති පොත් කොච්චර නං තියෙනවා ද? මට විශ්වාස යි, ඔයා මේවට කැමති වෙනවා කියලා. ඇයි ඔයා ස්කොට්ගේ පොතක් කියවලා බලන්නේ නැත්තෙ?" ඇය ඇහුවේ හිතේ සැකයක් තියාගෙන.
වේදනාබර බැල්මක් මුහුණේ රඳවා ගත්ත විලියම් කාමරේ හරහා ඇවිදගෙන ගිහින් අහඹු විදියට පොතක් අරගෙන පුටුවේ වාඩි වුණා. ඔහුගේ නොසැලකිලිමත්කම කොච්චර ද කියනවා නං පොත අල්ලගෙන හිටියෙත් උඩ යට මාරු කරලා!
මේ වෙලාවේ තමයි ගෙදරට ගොඩ වුණ දි වේරා කාටර් මහත්මිය, විලියම් ව දැක්කේ.
දි වේරා කාටර් මහත්මිය අලුතෙන් විලියම්ලගේ අසල්වැසි නිවසක පදිංචි වෙන්න ආපු කෙනෙක්. විවාහ වෙන්න කලින් ඇය හාර්ට්ෆඩ්ෂයර් හි රැන්ඩල් පරපුරට තමයි අයිති වුණේ. ඒ නිසා අඩු තරමේ ඇගේ හිනාවක් හරි ලබන්න හුඟක් අය ආසාවෙන් හිටියා.
ඇය උස, ලස්සණ, හරිම සුහදශීලි, ඉතාම විශිෂ්ට විදියට අඳින පලඳින කෙනෙක්. ඒ නිසා ඇගේ පැමිණීම ගැන විලියම් ගෙදර උදවිය හිටියේ උද්‍යෝගයෙන්. ඒ වගේ ම හැමෝම පිළි ගත්තා ඇය ‘හරිම ප්‍රියමනාප’ කෙනෙක් බව!
෴ මතු සම්බන්ධ යි ෴
අනේ ධාරා කෙල්ල කාලෙකට පස්සේ විලියම් ගේ කතාවකුත් එක්ක ඇවිත් ඉන්නේ..ලස්සනයි මේකත් පලවෙනි එක වගේම :D
ReplyDeleteතැන්කූ වේවා, කොල්ලෝ :)
Deleteඉතිං විලියම් හරිනේ සිංහයෝ කොහොමද කොටින්ට සමාන වෙන්නේ ...? ධාරා ටිකක් කල් ගත්තා නේද මේ සැරේ ...?
ReplyDeleteනැතු ව! විලියම් දක්ෂ කොල්ලෙක්නේ. (ඒ කියන්නේ අපේ මේ ඉවාන් අයියා වගේ නෙමෙයි.) හ්ම්ම්, මේ දවස්වල ටිකක් වැඩ වැඩි යි. ඒ නිසා බ්ලොග් එක ගැන බලන්න බැරි වුණා, අෆ්ෆා :(
Deleteහොඳ කතාවක්...
ReplyDeleteස්තූතියි, සුපුන් අයියේ.
Deleteවටි ඊස් ගොයින් ඔන් !!!
ReplyDeleteඅනේ මන්දා බං! දිගට ම ඇවිල්ලා බලහං මොකද වෙන්නෙ කියලා.
Deleteහැ.........
Deleteඉතින් ඊට පස්සේ?
ReplyDeleteඉතින් ඊට පස්සේ . . . වුණ දේ ඊළඟ කතාවෙන් බලා ගන්න එක යි ඇත්තේ.
Deleteපලවෙනි කතාවට දාන කොට මම හිටියේ නෑනේ. මේ කතාව නම් මුල ඉදන් කියවනවා ඔන්න.
ReplyDeleteඑහෙම නං ඉක්මනින් ම ඊළඟ කොටසත් දාන්නංකෝ.
Deleteමේක හරිම අපුරු කතාවක් වාගේ ධාරා.
ReplyDeleteඊගාව කොටසත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ස්තූතියි, මනෝජ්. ඉක්මනින් ම ඊළඟ කොටසත් දෙන්නංකෝ.
Deleteලස්සණ යි. ලස්සණ යි. අපි තාම මේ වගේ කතාවලට ආස යි. දිගට ම ලියන්න කෝ.
ReplyDeleteඒක නං ඇත්ත, දිලිනියෝ. කොච්චර උපන් දින පහු වුණත් තාමත් මේ වගේ කතා කියවන්න අපි කොච්චර ආස ද?
Deleteලස්සන කථාවක් වගේ නංගි! තාම මේ කොටස විතරයි කියවන්න වෙලාවක් ආවේ. ඔක්කොම ටික කියවලම ගුණ දොස් බලමුකෝ. මේක පරිවර්තනයක්ද කියලත් හිතුනා.
ReplyDeleteපරිවර්තනයක් තමයි, සඳුන් අයියේ. සොඳරු මංපෙතට සාදරයෙන් පිළි ගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.
Delete