April 21, 2016

දෙයියන්ගේ ලෙඩ (දස වැනි දිග හැරුම)


අනුරාධ යනකොට සරසවි පිවිසුම් දොරටුව අබියස ඉමාලි මග බලාගෙන හිටියා. ඔහුගේ මෝටර් රථය දකින විට කඳුළින් බර වුණ ඇගේ දෑසේ දීප්තියක් මතු වුණේ අනුරාධගේ හදවත වරදකාරී සිතුවිල්ලකින් බර කරමින්. දුවගෙන ඇවිත් මෝටර් රියේ ඉදිරිපස අසුනට ගොඩ වුණ ඇගේ මුහුණේ මතු වුණේ සමාව අයදින බැල්මක්.

ඔයා එනකං මම කල්පනා කර කර හිටියේ. මම බොරුවට කලබල වුණා. අප්පච්චිට හුඟක් අමාරු නැතු ව ඇති. එහෙම නං අම්මා මට කියනවානේ. අපිට හවස් වෙලා යන්ට තිබුණේ. දැන් ගියා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ, ඇය කිව්වා.

ඒක කලබල වෙන්න හේතුවක් තමයි. අපිට මාස තුන හතරකින් නුවර යන්නත් බැරි වුණානේ. ඒ නිසා එච්චර හිතන්න එපා!

හ්ම්ම්, අම්මා කතා කරපු වෙලාවේ ම මම දවස් තුනක් නිවාඩු දැම්මා.

ඒක හොඳයි.

ඔයා මොකද කරන්නේ එතකොට?

මම ඔයා ව දාල හෙට උදේ ම ආයෙත් කොළඹ එනවා. ඔයා කොහොමත් දවස් තුනකින් එනවානේ. එහෙම එන්න බැරි වුණොත් මම නිවාඩු දාල නුවර එන්නං.

ඒක හොඳයි, ඉමාලි කිව්වේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරමින්.

පසුබිමෙන් ඇසෙන මියුරු ගීත නාදයේ අතරේ ඇය දිගින් දිගට ම කතා කළා. මාස තුනකින් එළැඹෙන ඇගේ හොඳ ම මිතුරියගේ මංගල උත්සවය ගැන, විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ගැන, අප්පච්චි ගැන! අනුරාධගේ දෑස් මිනිත්තු කිහිපයකට වරක් ඈ දෙසට යොමු වුණේ මුවෙන් ගලාගෙන එන වදන්වලට අනුරූප ව ඇගේ දෑත් සෙලවන අයුරු සහ ඇගේ දෙනෙත්වල දීප්තිය අඩු-වැඩි වෙන ආකාරය දිහා බලන්න.

          

පැය කිහිපයකට පස්සේ රෝහල් බිමෙන් පිට වුණ අනුරාධ, ඉමාලිත් එක්ක හන්තානේ පිහිටි ඇගේ මහ ගෙදරට ආවේ කොළඹ යන්න කලින් පැය කිහිපයක් විවේක ගන්න. නිරතුරු ව ම හමාගෙන ගිය සීතල සුළං රැලි, මිදුල වසා පැතිරුණු උඳුපියලි පලස සහ කහ-තැඹිලි-සුදු මල් පිපුණු අටපෙති පඳුරු අනුරාධගේ විඩාබර මනසට අරගෙන ආවේ අස්වැසිල්ලක්.

මුහුණ කට දොවාගෙන මිදුලට බැස්ස අනුරාධ, ඇසළ ගහ යට තිබිච්ච ලී බංකුවේ වාඩි වෙලා ඉමාලි ව මුලින් ම මුණ ගැහුණ ඒ සොඳුරු දිනය ගැන මතකයන් අවදි කළේ මුවේ සිහින් සිනාවක් මතු වෙද්දී.

මනමාල හිනාවක් දාගෙන මොනව ද බරට ම කල්පනා කරන්නෙ?

ඉමාලිගේ කටහඬින් අනුරාධ තිගැස්සුණා. සැහැල්ලු ගවොමකින් සැරසිලා හිටිය ඇය, අනුරාධ ළඟින් වාඩි වුණේ අතේ තිබුණ තේ කෝප්පය ඔහු දිහාට දිගු කරමින්.

ඔයා ව බලන්න ආපු දවස මතක් වුණා.

එදා හොඳ දවසක්.

ඔව්, එදා තමයි හොඳ ම දවස! අපේ ජීවිතවල කොච්චර දේවල් වෙනස් වුණා ද?

ඒ වෙනසට මම කැමති යි, අනුරාධ.

මමත්. ඉස්සරහට තවත් වෙනස් වෙයි.

පිස්සු කොල්ලෙක් ඔයා! ඒක නෙමෙයි, අද රෑ ඉඳලා හෙට පාන්දරින් යන්ට. දැන් හවස් වෙලා, ඉමාලි කිව්වේ දඟකාර හිනාවක් එක්ක.

ඒක තමයි මාත් කල්පනා කරේ. හෙට උදෙන් ම පිටත් වෙනවා. හ්ම්ම්ම්, මෙහේ ආව ම යන්න හිතෙන්නේ නැහැනේ. ඔයාගේ මාරුව හරි යන එකක් නැද්ද, ඉමාලි?

අනේ මන්දා, අනූ. මටත් එහේ ඉඳලා එපා වෙලා. මෙහේ ආව ම ඇඟට වුණත් කොච්චර සනීප ද?

හ්ම්ම්ම්, ඉක්මනට නුවරට එන්න ඕනේ. මට නං ඕනේ වෙලාවක පුළුවන්. දැන් අපි කොළඹ හිටියා ඇති.

බලමුකෝ මොකක් හරි කර ගන්ට. නංගි රෑට උයනවා. මම ගිහින් උදව් කරලා එන්නං. ඔයාට කම්මැලි නං ඇඳට වෙලා ඉන්ට. මගේ කාමරේ අස් කරලා ඇත්තේ.

කෙළිලොල් ගමන් නිවස දෙසට පියමන් කරන ඉමාලි දිහා බලලා අනුරාධ සුසුමක් හෙළුවා. හදිසියේ ම තමන්ගේ ජීවිතයේ සිදු වුණ විපර්යාසය ගැන ඔහු සිහි කළේ සන්තාපයෙන්.

නයෝමි එවපු කෙටි පණිවිඩය විටින් විට ඔහුගේ සිහියට නැගුණා. බුද්ධික! ඉමාලිගේ මුවෙන් කිසිදා නොගිලිහුණු නමක්. වසර ගණනාවකට කලින් මේ සෙංකඩගල අහස යට දී ඔහුගේ සිත නයෝමි ළඟ නතර වුණා වගේ ම ඉමාලිත් බුද්ධික සමග ආදරයෙන් වෙළෙන්න ඇති. බිඳ වැටුණු ආදරය නිසා නයෝමිගේ නම ඔහු කිසිදා නොකිව්වා වගේ ඉමාලිත් ඒ අතීතය අමතක කරන්න ඇති.

ඒත් බුද්ධික ගැන කිසිවක් නොදැන සිටීම අනුරාධගේ හිතට අපහසුවක් අරගෙන ආවා. විශේෂයෙන් ම නයෝමි ඒ ගැන තොරතුරු දැන සිටීම ඔහු ව කුතුහලයෙන් කැලඹුවා.

හිස් තේ කෝප්පයක් අරගෙන අනුරාධ මුළුතැන්ගෙය දෙසට පිය නැගුවේ කම්මැලිකමක් හිතට දැනුණ නිසා. එළවළු කපමින් හිටිය ඉමාලිගේ නැගණිය හිස ඔසවලා උපහාසය මුසු වුණ දඟකාර හිනාවක් පෑවා.

අක්කණ්ඩි, මෙන්න ඔයාගේ බලු පැටියා ඇවිල්ලා!

“උඹ එහෙම නං මට බල්ලා කිව්වා නේද, නෑනෝ?ˮ

අක්ක ව නොදැක විනාඩි පහක්වත් ඉන්ට බැරි ද? මොකද දන්නේ නෑ.

උඹ මගේ මිනිහට ඇනුම් පද නොකියා එළවළු ටික කපපන්. නැත්තං අම්මා එනකොටත් උයා ගන්ට බැරි වෙයි.

අප්පච්චිට අසාධ්‍ය නොමැති බව දැන ගත්තට පස්සේ ඉමාලිගේ කෙළිලොල් බව නැවතත් ඇය සොයාගෙන ඇවිල්ලා තිබුණා. ඒත් ඇගේ මුහුණ විඩාබර යි.

අනුරාධ, ගිහිල්ලා ටිකක් හාන්සි වෙලා ඉන්ට. ඔයාගේ මූණ මැලවිලා ගිහිල්ලා.

ඉමාලිගේ කීමට අනුරාධ කාමරේට ගියත් ඔහුට නිදිමතක් දැනුණේ නැහැ. ඉමාලිගේ කාමරේ හරි මැද්දට වෙන්න පරණ තාලේ වියන් ඇඳක් තිබුණා. ඇඳට වම් පැත්තෙන් දැවැන්ත පොත් රාක්කයක්. ජනෙල් පියන් අතරින් වැටිච්ච මලානික හිරු එළිය, කාමරේ පුරා නේක විධ සෙවණැලි රටා මවලා තිබුණා.

කම්මැලිකම හිතේ පුරවාගෙන කාමරේ එහාට මෙහාට සක්මන් කරපු අනුරාධ අවසානයේ නතර වුණේ පොත් රාක්කය අබියස. අඩි හතක් පමණ උස නැදුන් රාක්කය සම්පූර්ණයෙන් පුරවලා තිබුණේ විවිධ විෂයයන් ඔස්සේ ලියැවුණු පොත්වලින්. පහළ තට්ටුවල තිබුණ පොත් නිරතුරු ව භාවිතා කළ බව පෙනුනත් ඉහළ තට්ටුවේ තැන්පත් කරලා තිබුණ පොත් සියුම් දූවිලි තට්ටුවකින් වැසී ගිහින්.

එහි වූ ලෝ ප්‍රකට ලේඛකයින්ගේ විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ මැද සැඟ වී තිබුණ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි සිංහලයට නැගූ විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායගේ අරණකට පෙම් බැඳපොත දුටු අනුරාධගේ සිතේ ඇති වුණේ පුදුමය සමග දැවටුණු කුතුහලයක්. ගෙවී ගිය වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ඔහු, ඉමාලි වෙනුවෙන් මේ පොත මිල දී ගත්තේ ඇගේ ඉල්ලීමට. ඇය ළඟ එහි පිටපත් ඇති බව ඔහු දැනගෙන සිටියේ නැහැ. නිවසේ තිබුණ බොහෝ පොත්පත් ඇය කොළඹට රැගෙන ආවත් අරණකට පෙම් බැඳ නොගෙනාවේ ඇයි?

අනුරාධ පොත අතට ගත්තේ සිතේ දැල්වුණු කුතුහලය සංසිඳුවා ගන්න. කහ පැහැ ගැන් වී තිබුණු එහි මුල් පිටුවේ පැන්සලකින් සිත්තම් කොට තිබුණු ඉමාලිගේ සොඳුරු මුහුණ කාලයක් සමග මදක් වියැකී ගිහින්. නමුත් එයට යටින් පෑනෙන් ලියා තිබුණු කවි දෙපේළිය මකා දමන්නට කාලය අසමත් වෙලා.

නුඹට මතක ද නුඹේ සිනහව මගේ දිවි මග එකලු කළ යුරු
ඒ ලෙසින් සැමදා රැඳෙනව ද මතු දිනෙක අමයුරු ලබන තුරු
- බුද්ධික -

ඒ වදන් හි ගැබ් ව තිබුණු නිකැලැල් ප්‍රේමය සහ අව්‍යාජ බව අනුරාධගේ සිත ඊර්ශ්‍යාවෙන් බර කළා. බුද්ධික තත්පර කිහිපයකින් ඔහුගේ සිත සටන්කාමී හැඟීම් ගොන්නකින් පුරවමින් ඔහුට අභියෝග කර තිබුණා. 

෴  මතු සම්බන්ධ යි ෴

21 comments:

  1. ඇති යන්තම් ආයෙම ඇවිදින් ^_^

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑවිත් ඉන්න බැහැනේ. ඒ නිසා ඔන්න ඔහේ ඒවා ^_^ ඒ වුණාට ඉස්සර වගේ පෝස්ට් දාන්න බැරි වෙයි!

      Delete
    2. welcooooooooooooooooooooooooooooooooome

      Delete
  2. වෙල්කම් බැක්වේවා!! :D

    ReplyDelete
  3. තුන් කොන් ප්‍රේමයක්ද ?
    ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බැහැ :(

      Delete
  4. අම්මෝ දැකපු කල්... මුල ඉඳන් කියවල එන්න ඕනෙ!

    ReplyDelete
    Replies
    1. දිලිනි අක්කවත් කාලෙකින් දැක්කේ :) සෑහෙන්න කාලෙකින්නේ ආවේ.

      Delete
  5. කාලේකින් මේ ඇවිත් ඉන්නේ...(Y) ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට බැරි වුණත් හෙමින් හෙමින් හරි ලියනවෝ :)

      Delete
  6. ගොඩක් කාලෙකින්!
    ඒ වගේම කාලෙකින් නවකතාවක වටිනාකම නැත්නම් රස මතක් වුන්නා මේ කතාවෙන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ^_^ කාලෙකින් දැක්කෙ!

      Delete
  7. අඩේ අප්පා මම බැලුවා මේක කොහොමද මට මග හැරුණේ කියලා.මෙයා මේක පබ්ලිස් කොරලා තියෙන්නේ ඉරිදා නේ.එකයි මේක මේ මග ඇරිලා තියෙන්නේ.:D

    බුද්ධික දිය යට ඔබපු රබර් බොලේ වගේ ආයෙත් මතු වුණා එහෙනම්.ආ මගේ ‘අරණකට පෙම් බැඳ’පොතත් යාළුවෙක් ගාව.අදම ඉල්ලා ගන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. වැඩ නිසා ඉරිදා විතර යි විවේකයක් තියෙන්නෙ ජීවත් වෙන්න :( මොනා කරන්න ද, අෆ්ෆා!

      Delete
  8. කතාව නම් දැන් හරියට මතකත් නැහැ. මොනවද උනේ කියලා ඔලුවට ගන්න ආයෙමත් මුල ඉදන් බලලා කියවන්න වෙයි මම හිතන්නේ.. කෝ ඉතින් කවද්ද මේක ට හරියට අවසානයක් දෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. කතාවට අවසානයක් දෙන්න මට විවේකයක් නැහැනෙ, නාඳුන්නනෝ :( පුළුවන් වෙලාවට හෙමින් සැරේ ලියනවා!

      Delete
    2. මාස 3ක් වෙනවා කෝ ඉතුරු කොටස්

      Delete
    3. පුළුවන් ඉක්මනට ලියනවා :)

      Delete
  9. බොල, මේ මේක ලියන හැටිද??

    ReplyDelete
  10. අගෙයි ලිවීම............ කොහොමත් ආදරය අස්සේ හැමවෙලාවෙම කවිපද ගොණු වෙලා තියෙනවා නේද????? කතාව ලස්සනයි... දිගට ම ලියමු........

    සින්ඩියටත් දා ගත්තා.....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...