April 21, 2016

දෙයියන්ගේ ලෙඩ (දස වැනි දිග හැරුම)


අනුරාධ යනකොට සරසවි පිවිසුම් දොරටුව අබියස ඉමාලි මග බලාගෙන හිටියා. ඔහුගේ මෝටර් රථය දකින විට කඳුළින් බර වුණ ඇගේ දෑසේ දීප්තියක් මතු වුණේ අනුරාධගේ හදවත වරදකාරී සිතුවිල්ලකින් බර කරමින්. දුවගෙන ඇවිත් මෝටර් රියේ ඉදිරිපස අසුනට ගොඩ වුණ ඇගේ මුහුණේ මතු වුණේ සමාව අයදින බැල්මක්.

ඔයා එනකං මම කල්පනා කර කර හිටියේ. මම බොරුවට කලබල වුණා. අප්පච්චිට හුඟක් අමාරු නැතු ව ඇති. එහෙම නං අම්මා මට කියනවානේ. අපිට හවස් වෙලා යන්ට තිබුණේ. දැන් ගියා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ, ඇය කිව්වා.

ඒක කලබල වෙන්න හේතුවක් තමයි. අපිට මාස තුන හතරකින් නුවර යන්නත් බැරි වුණානේ. ඒ නිසා එච්චර හිතන්න එපා!

හ්ම්ම්, අම්මා කතා කරපු වෙලාවේ ම මම දවස් තුනක් නිවාඩු දැම්මා.

ඒක හොඳයි.

ඔයා මොකද කරන්නේ එතකොට?

මම ඔයා ව දාල හෙට උදේ ම ආයෙත් කොළඹ එනවා. ඔයා කොහොමත් දවස් තුනකින් එනවානේ. එහෙම එන්න බැරි වුණොත් මම නිවාඩු දාල නුවර එන්නං.

ඒක හොඳයි, ඉමාලි කිව්වේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරමින්.

පසුබිමෙන් ඇසෙන මියුරු ගීත නාදයේ අතරේ ඇය දිගින් දිගට ම කතා කළා. මාස තුනකින් එළැඹෙන ඇගේ හොඳ ම මිතුරියගේ මංගල උත්සවය ගැන, විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ගැන, අප්පච්චි ගැන! අනුරාධගේ දෑස් මිනිත්තු කිහිපයකට වරක් ඈ දෙසට යොමු වුණේ මුවෙන් ගලාගෙන එන වදන්වලට අනුරූප ව ඇගේ දෑත් සෙලවන අයුරු සහ ඇගේ දෙනෙත්වල දීප්තිය අඩු-වැඩි වෙන ආකාරය දිහා බලන්න.

          

පැය කිහිපයකට පස්සේ රෝහල් බිමෙන් පිට වුණ අනුරාධ, ඉමාලිත් එක්ක හන්තානේ පිහිටි ඇගේ මහ ගෙදරට ආවේ කොළඹ යන්න කලින් පැය කිහිපයක් විවේක ගන්න. නිරතුරු ව ම හමාගෙන ගිය සීතල සුළං රැලි, මිදුල වසා පැතිරුණු උඳුපියලි පලස සහ කහ-තැඹිලි-සුදු මල් පිපුණු අටපෙති පඳුරු අනුරාධගේ විඩාබර මනසට අරගෙන ආවේ අස්වැසිල්ලක්.

මුහුණ කට දොවාගෙන මිදුලට බැස්ස අනුරාධ, ඇසළ ගහ යට තිබිච්ච ලී බංකුවේ වාඩි වෙලා ඉමාලි ව මුලින් ම මුණ ගැහුණ ඒ සොඳුරු දිනය ගැන මතකයන් අවදි කළේ මුවේ සිහින් සිනාවක් මතු වෙද්දී.

මනමාල හිනාවක් දාගෙන මොනව ද බරට ම කල්පනා කරන්නෙ?

ඉමාලිගේ කටහඬින් අනුරාධ තිගැස්සුණා. සැහැල්ලු ගවොමකින් සැරසිලා හිටිය ඇය, අනුරාධ ළඟින් වාඩි වුණේ අතේ තිබුණ තේ කෝප්පය ඔහු දිහාට දිගු කරමින්.

ඔයා ව බලන්න ආපු දවස මතක් වුණා.

එදා හොඳ දවසක්.

ඔව්, එදා තමයි හොඳ ම දවස! අපේ ජීවිතවල කොච්චර දේවල් වෙනස් වුණා ද?

ඒ වෙනසට මම කැමති යි, අනුරාධ.

මමත්. ඉස්සරහට තවත් වෙනස් වෙයි.

පිස්සු කොල්ලෙක් ඔයා! ඒක නෙමෙයි, අද රෑ ඉඳලා හෙට පාන්දරින් යන්ට. දැන් හවස් වෙලා, ඉමාලි කිව්වේ දඟකාර හිනාවක් එක්ක.

ඒක තමයි මාත් කල්පනා කරේ. හෙට උදෙන් ම පිටත් වෙනවා. හ්ම්ම්ම්, මෙහේ ආව ම යන්න හිතෙන්නේ නැහැනේ. ඔයාගේ මාරුව හරි යන එකක් නැද්ද, ඉමාලි?

අනේ මන්දා, අනූ. මටත් එහේ ඉඳලා එපා වෙලා. මෙහේ ආව ම ඇඟට වුණත් කොච්චර සනීප ද?

හ්ම්ම්ම්, ඉක්මනට නුවරට එන්න ඕනේ. මට නං ඕනේ වෙලාවක පුළුවන්. දැන් අපි කොළඹ හිටියා ඇති.

බලමුකෝ මොකක් හරි කර ගන්ට. නංගි රෑට උයනවා. මම ගිහින් උදව් කරලා එන්නං. ඔයාට කම්මැලි නං ඇඳට වෙලා ඉන්ට. මගේ කාමරේ අස් කරලා ඇත්තේ.

කෙළිලොල් ගමන් නිවස දෙසට පියමන් කරන ඉමාලි දිහා බලලා අනුරාධ සුසුමක් හෙළුවා. හදිසියේ ම තමන්ගේ ජීවිතයේ සිදු වුණ විපර්යාසය ගැන ඔහු සිහි කළේ සන්තාපයෙන්.

නයෝමි එවපු කෙටි පණිවිඩය විටින් විට ඔහුගේ සිහියට නැගුණා. බුද්ධික! ඉමාලිගේ මුවෙන් කිසිදා නොගිලිහුණු නමක්. වසර ගණනාවකට කලින් මේ සෙංකඩගල අහස යට දී ඔහුගේ සිත නයෝමි ළඟ නතර වුණා වගේ ම ඉමාලිත් බුද්ධික සමග ආදරයෙන් වෙළෙන්න ඇති. බිඳ වැටුණු ආදරය නිසා නයෝමිගේ නම ඔහු කිසිදා නොකිව්වා වගේ ඉමාලිත් ඒ අතීතය අමතක කරන්න ඇති.

ඒත් බුද්ධික ගැන කිසිවක් නොදැන සිටීම අනුරාධගේ හිතට අපහසුවක් අරගෙන ආවා. විශේෂයෙන් ම නයෝමි ඒ ගැන තොරතුරු දැන සිටීම ඔහු ව කුතුහලයෙන් කැලඹුවා.

හිස් තේ කෝප්පයක් අරගෙන අනුරාධ මුළුතැන්ගෙය දෙසට පිය නැගුවේ කම්මැලිකමක් හිතට දැනුණ නිසා. එළවළු කපමින් හිටිය ඉමාලිගේ නැගණිය හිස ඔසවලා උපහාසය මුසු වුණ දඟකාර හිනාවක් පෑවා.

අක්කණ්ඩි, මෙන්න ඔයාගේ බලු පැටියා ඇවිල්ලා!

“උඹ එහෙම නං මට බල්ලා කිව්වා නේද, නෑනෝ?ˮ

අක්ක ව නොදැක විනාඩි පහක්වත් ඉන්ට බැරි ද? මොකද දන්නේ නෑ.

උඹ මගේ මිනිහට ඇනුම් පද නොකියා එළවළු ටික කපපන්. නැත්තං අම්මා එනකොටත් උයා ගන්ට බැරි වෙයි.

අප්පච්චිට අසාධ්‍ය නොමැති බව දැන ගත්තට පස්සේ ඉමාලිගේ කෙළිලොල් බව නැවතත් ඇය සොයාගෙන ඇවිල්ලා තිබුණා. ඒත් ඇගේ මුහුණ විඩාබර යි.

අනුරාධ, ගිහිල්ලා ටිකක් හාන්සි වෙලා ඉන්ට. ඔයාගේ මූණ මැලවිලා ගිහිල්ලා.

ඉමාලිගේ කීමට අනුරාධ කාමරේට ගියත් ඔහුට නිදිමතක් දැනුණේ නැහැ. ඉමාලිගේ කාමරේ හරි මැද්දට වෙන්න පරණ තාලේ වියන් ඇඳක් තිබුණා. ඇඳට වම් පැත්තෙන් දැවැන්ත පොත් රාක්කයක්. ජනෙල් පියන් අතරින් වැටිච්ච මලානික හිරු එළිය, කාමරේ පුරා නේක විධ සෙවණැලි රටා මවලා තිබුණා.

කම්මැලිකම හිතේ පුරවාගෙන කාමරේ එහාට මෙහාට සක්මන් කරපු අනුරාධ අවසානයේ නතර වුණේ පොත් රාක්කය අබියස. අඩි හතක් පමණ උස නැදුන් රාක්කය සම්පූර්ණයෙන් පුරවලා තිබුණේ විවිධ විෂයයන් ඔස්සේ ලියැවුණු පොත්වලින්. පහළ තට්ටුවල තිබුණ පොත් නිරතුරු ව භාවිතා කළ බව පෙනුනත් ඉහළ තට්ටුවේ තැන්පත් කරලා තිබුණ පොත් සියුම් දූවිලි තට්ටුවකින් වැසී ගිහින්.

එහි වූ ලෝ ප්‍රකට ලේඛකයින්ගේ විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ මැද සැඟ වී තිබුණ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි සිංහලයට නැගූ විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායගේ අරණකට පෙම් බැඳපොත දුටු අනුරාධගේ සිතේ ඇති වුණේ පුදුමය සමග දැවටුණු කුතුහලයක්. ගෙවී ගිය වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ඔහු, ඉමාලි වෙනුවෙන් මේ පොත මිල දී ගත්තේ ඇගේ ඉල්ලීමට. ඇය ළඟ එහි පිටපත් ඇති බව ඔහු දැනගෙන සිටියේ නැහැ. නිවසේ තිබුණ බොහෝ පොත්පත් ඇය කොළඹට රැගෙන ආවත් අරණකට පෙම් බැඳ නොගෙනාවේ ඇයි?

අනුරාධ පොත අතට ගත්තේ සිතේ දැල්වුණු කුතුහලය සංසිඳුවා ගන්න. කහ පැහැ ගැන් වී තිබුණු එහි මුල් පිටුවේ පැන්සලකින් සිත්තම් කොට තිබුණු ඉමාලිගේ සොඳුරු මුහුණ කාලයක් සමග මදක් වියැකී ගිහින්. නමුත් එයට යටින් පෑනෙන් ලියා තිබුණු කවි දෙපේළිය මකා දමන්නට කාලය අසමත් වෙලා.

නුඹට මතක ද නුඹේ සිනහව මගේ දිවි මග එකලු කළ යුරු
ඒ ලෙසින් සැමදා රැඳෙනව ද මතු දිනෙක අමයුරු ලබන තුරු
- බුද්ධික -

ඒ වදන් හි ගැබ් ව තිබුණු නිකැලැල් ප්‍රේමය සහ අව්‍යාජ බව අනුරාධගේ සිත ඊර්ශ්‍යාවෙන් බර කළා. බුද්ධික තත්පර කිහිපයකින් ඔහුගේ සිත සටන්කාමී හැඟීම් ගොන්නකින් පුරවමින් ඔහුට අභියෝග කර තිබුණා. 

෴  මතු සම්බන්ධ යි ෴

April 4, 2014

වසරක් ගත වූ දා . . .


සඳරු අයියගේ 'හිස් අහස' ගැන මට මුලින් ම කිව්වේ මගේ යාළුවෙක්. ඒ සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ගෙදරට වෙලා ඉන්න කාලේ. පොඩි කාලේ ඉඳලා ම කියවීමට ඇබ්බැහි වෙලා හිටපු මම ගෙදරට වෙලා උන්න දවස් ටිකේ කියවන්න පුළුවන් හැම දෙයක් ම කියෙව්වා. පුස්තකාලෙන් සති දෙකකට ගෙදර ගේන්න දෙන පොත් හතරත් (මගේ කාඩ් එකට දෙක යි! නංගිගේ එකට දෙක යි!) දවස් තුනක් යන්න කලින් කියවලා ඉවර යි!  අන්තිමේ දී කියවන්න දෙයක් නැතු ව බාගෙට මැරිලා වගේ ඉන්න අතරේ දී තමයි දවසක් මගේ යාළුවෙක් මට ඊයක් එවලා තිබුණේ 'හිස් අහස' බලන්න යන්න පාර කියලා.

'හිස් අහස' මම කියවපු පළවෙනි බ්ලොග් පිටුව! පොතක් කියවනවා වගේ ම දැනුණේ නැති වුණත් මම 'හිස් අහස' කියෙව්වේ උනන්දුවෙන්. ඒ වගේ ම ආසාවෙන්. මුල දී 'හිස් අහස'ට කොටු වෙලා හිටපු මට බ්ලොග් රස දැනෙන්න දැනෙන්න මම තව තවත් බ්ලොග් හොයාගෙන කියව්වේ අලුත් පුරුද්දක් ජීවිතේට එකතු කර ගන්න ගමන්. මගේ ම කියලා බ්ලොග් එකක් පටන් ගන්න ආසාවෙන් උන්නත් බ්ලොග් කටුවක් අටවා ගන්න හැටි හරියට දැනගෙන හිටියේ නැති නිසා ඒ වැඩේ ටිකෙන් ටික කල් ගියේ අවුරුදු දෙක තුනකුත් පහු කරගෙන.

කොයි කාටත් වගේ අන්තිමේ දී මගේ පිහිටට ආවෙත් ගූගල් දෙයියෝ තමයි! ටිකක් අමාරුවෙන් වුණත් ඒ විදියට 'සොඳුරු මංපෙත' පටන් අරගෙන අදට අවුරුද්දක්. ගත වෙලා ගිය අවුරුද්ද මගේ ජීවිතේට අලුත් අත්දැකීම් රැසක් එකතු කළා. ඒ වගේ ම කිසිදාක නොදුටු ඒත් සුන්දර හදවත් උරුම කර ගත් අපූරු යහළු යෙහෙළියන් පිරිසක් මගේ ජීවිතේට පිය මැන්නා. මම දකින බ්ලොග් අවකාශය මිතුදමේ උණුසුම රැඳුණු සොඳුරු තැනක්.

දොළොස් මසක් කියන්නේ දිගු කාලයක්. ඒත් වෙහෙසක් නැතු ව ඒ දිගු කාලය තරණය කරන්න මට උදව් වුණ අය බොහෝම යි! ඉවාන් අයියා, හැලප කඩේ හැලප මාමා, සමකය වටේ යන නලින් මාමා, කුරුටු ගෑ ගී පොතේ දිලිනි අක්කා, ළා දම් අහස ලියන රෙහානි අක්කා (කාලෙකින් දැක්කෙත් නෑ), වර්ණයට පාට තවරන දිනේෂ් අයියා, දේශකතුමා, මනෝජ් අයියා, මේ දවස්වල රටේ වටේ සවාරි යන මධූ අයියා, ගන්දරයා, සිඟිති අක්කා, ශානු අක්කා, සඳුන් සෙවණේ චන්දන අයියා, තාක්ෂණික උපදෙස් බෙදා හරින සසිඳු අයියා, අපූර්වී අක්කා මුල ඉඳලා ම 'සොඳුරු මංපෙත' එක්ක හිටපු උදවිය! නිතර ම අ‍ාවේ ගියේ නැති වුණත් අමාරුවෙන් හරි මගේ කතා කියවන්න එන හැමෝට ම (නම කියන්න බැරි වුණා නං සමාවෙන්න ඕනේ) බොහෝම ස්තූතියි!

ඒ වගේ ම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මුදියා නොහොත් සමියා (ඔව්! ඔව්! සමීගේ පුංචි ලෝකය ලියන උස මහත අන්කල් තමයි), අල්තයීර්ගේ අඩවියේ කරූ හෙවත් බුද්ධි කොලුවා, අරුණි (මොණරු ලියන පණ්ඩිත ආච්චි) සහ ළහිරු ගැන! මේ හතර දෙනා බැන බැන හරි හැමදාම මගේ ළඟින් ඉඳන් මා ව ධෛර්යමත් කරේ නැත්තං මේ වෙනකොට 'සොඳුරු මංපෙත' වහලා බෝඩ් ලෑල්ලකුත් එල්ලා 'පාර වසා ඇත' කියලා! 
 
පුරා වසරක් සොඳුරු මංපෙත සමග රැඳි නුඹ හටමගේ
හද පුරා නැගි තුති කුසුම් පුද කර සිටින්නෙමි මේවගේ
නුඹ යි සැමදා ළඟින් හිඳ මට දිරිය දුන් අත්වැලඅගේ
තවත් බෝ දුර එක් ව යමු අපි ළබැඳි සොයුරන් සේසගේ
  
ඒ මගේ කතාව! පුළුවන් තරම් කාලයක් මේ සොඳුරු ලෝකයේ සැරිසරන්න යි මගේ ආසාව :) බ්ලොග් අවකාශයේ උණුසුම හැමදාමත් මගේ හිතට අරගෙන එන‍්නේ සතුටක්. මෙච්චර කාලෙකට ඒ සතුට නැති වුණේ එක ම එක දෙයක් නිසා විතර යි! ඒ ෆලෝ කරන්න පුළුවන් උපරිම බ්ලොග් ගණන 300 කට සීමා වුණාට පස්සේ (මේක ඉක්මවලා යන්න පුළුවන් හොර ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවා නං කියන්න) එහෙම නං අදට සමු ගන්නං. මේ තරම් කාලයක් මාත් එක්ක රැඳිලා හිටපු හැම දෙනාට ම ආයෙමත් වතාවක් බොහෝම ස්තූතියි!


෴  පසු ව ලියන ලදී 

පන්ති ඇරිලා දුවගෙන ආවේ මේක ලියන්න. උදේ පාන්දර පෝස්ට් කරන්න හිතුවත් පහු ගිය දවස් ටිකේ ම වැඩ අස්සේ හිර වෙලා හිටපු නිසා ‍මුකුත් ම ලියා ගන්න බැරි වුණා. සතියක් ගත වෙන්න කලින් දෙයියන්ගේ ලෙඩ (දස වැනි දිග හැරුම) දාන්න යි බලාපොරොත්තුව!

March 25, 2014

දෙයියන්ගේ ලෙඩ (නම වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම) මග අැරුණු අය යන්න ඕනේ අතුරු මංපෙත මෙන්න මේක යි . . .


ඒ රුව කෙමෙන් ළං වන විට ඉමාලිගේ සොඳුරු මුහුණ වියැකිලා ගිහින් ඒ වෙනුවට වෙනත් මුහුණක් මතු වුණේ අනුරාධගේ සිත මොහොතකට සිහිල් සුළං රැල්ලකින් පුරවමින්. නමුත් න‍යෝමි වැපිරූ සැකයේ මූල ධාතු තම සිත තුළ දළුලමින් තිබෙන බව ඔහු දැනගෙන උන්නා. ඒ හැඟීමෙන් මිදෙන්නේ කොහොම ද කියලා මග පෙන්වන පහන් සිළුවක් ඔහුගේ සිත් කොනක දැල්වෙමින් තිබුණා.

"කියපන්, අනුරාධ . . ." ඔහුගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් මාලින්ගේ හඬ නිසල යි.

"අපි ටිකක් කතා කරමු ද?"

මොනවා ගැන ද කියලා මාලින් ඇහුවේ නැහැ.

"උඹ කොහෙද ඉන්නෙ?"

"ගෝල්ෆේස් එකේ."

"හරි. මම පැය භාගයක් යන්න කලින් එන්නං."

ඇමතුම විසන්ධි කළාට පස්සේ අනුරාධගේ හිතට දැනුණේ සැනසීමක්. සිව් වසරක් පුරා ඔහුගේ ආදරයේ උරුමක්කාරිය වූ නයෝමි සහ සදාකාලික ව ඔහුගේ ජීවිතයේ හිමිකාරිය වූ ඉමාලි අතර ඔහුගේ සිත දෝලනය වුණා. දෙයාකාර වූ ඒ ආදර තුලාවේ වැඩි බරක් හිමි වුණේ ඉමාලිට. නමුත් ආදරය උතුරා ගලන තනි හදක් වෙනුවට එතැන තුලාවක් තිබුණේ හදවත දෙකට බෙදිලා තිබුණ නිසා!

අඩ හෝරවක් ගත වෙන්න කලින් මාලින් ගාලු මුවදොර පිටියට ආවේ චරිත් එක්ක. චරිත්ගේ මුහුණේ නිරතුරු ව ම රැඳි කෙළිබර සිනාව වියැකිලා බැරෑරුම් පෙනුමක් මතු වෙලා තිබුණා. ඔවුන් නිහඬ ව අනුරාධ ව මැදි කරගෙන අසුන් ගත්තා.

"කතා කරන්න කලින් කාල ඉඳපන්," නොයෙක් වර්ගයේ කෙටි කෑම පිරුණු කඩදාසි කවරයක් අනුරාධ දෙසට දිගු කරන ගමන් මාලින් නිහඬතාවය බින්දා.

"මට කන්න බැහැ, මාලින්."

"එහෙම නං කියපන් නයෝමි ව බලන්න ගියාට පස්සේ මොකද වුණේ?"

ඒ පැනයට පිළිතුරු බඳින්න අනුරාධට ඉඩක් නොලැබුණේ ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආ බව හඟවමින් ඉන් නිකුත් වූ සිහින් ශබ්දය නිසා. නයෝමිගේ දුරකථන අංකය ඔහු‍ගේ මතකයේ රුඳී තිබුණේ නැතත් ඒ නාඳුනන අංකය නයෝමිගේ බව ඔහු දැනගෙන හිටියා.

"His name is Buddhika." තනි වාක්‍යකින් සැඳි කෙටි පණිවිඩය කිව්වා.

"එයා ඉමාලි ගැන මං නොදන්න හුඟක් දේවල් දන්නවා වගේ," ජංගම දුරකථනය මාලින්ගේ අතට පත් කරමින් අනුරාධ පැවසුවේ දුක්බර ව!

"හ්ම්ම්, ඉමාලිගේ කලින් සම්බන්ධයක් ගැන?" දුරකථන තිරයට බැල්මක් හෙළමින් චරිත් ඇහුවේ නළල රැලි කර ගන්න ගමන්.

"ඔව්!"

"උඹ දැනගෙන හිටියේ නැද්ද?"

"මම කවදාවත් ඇහුවේ නැහැ, චරිත්. මට ඕනේ වුණේ හැම දෙයක් ම අමතක කරන්න."

"ඒ වුණාට . . ."

"මම දන්නවා උඹ කියන්න යන දේ. ඒත් පහුගිය දේවල් ගැන අපි කතා කරේ නැහැ. ඉමාලිට මුලින් ඒ ගැන කතා කරන්න ඕනේ වුණා. ඒත් මට එයා එක්ක නයෝමි ගැන කතා කරන්න හිතක් තිබුණේ නැහැ. මම කිව්වා පරණ දේවල් කතා කරන්න ඕනේ නැහැ කියලා."

"හ්ම්ම් . . ."

"අපි සතුටින් හිටියා, චරිත්."

"අපි දන්නවා බං. ඉමාලි හොඳ කෙල්ලෙක්."

"මම දන්නේ නෑ මට මොනවා වෙලා ද කියලා. මම ඉමාලිට ආදරෙයි. හුඟක් ආදරෙයි. ඒත් දැන් මගේ හිතේ එයා ගැන සැකයක් තියෙනවා," අනුරාධ කිව්වේ ඔහුගේ දෑස් කඳුළින් බොඳ‍ වෙද්දී.

"උඹේ හිතේ නයෝමි ගැනත් ආදරයක් තියෙනවා?"

"ඔව්. ඒත් ඉමාලිට වගේ නෙමෙයි. අනුකම්පාවක්. මොනවා වුණත් ඒ මම අවුරුදු හතරක් තිස්සේ මැරි මැරී ආදරේ කරපු ගෑනි කියලා මට අමතක කරන්න බැහැ, මාලින්."

"ඒ ගෑනි උඹ ව දාල ගියා, අනුරාධ."

"මම දන්නවා. ඒත් අද දරුවෙක් එක්ක අසරණ වෙලා. මම ඉමාලි ව බැන්දේ එයා ව දැක්ක දවසේ එයා ගැන ඇත්තට ම ආදරයක් හිතේ ඇති වුණ නිසා. ඉමාලි මාව සතුටෙන් තිබ්බා. ඒත් නයෝමි ගැන තියෙන ආදරේ, මතකයන් සැරෙන් සැරේ මතු වෙනවා."

"ඒ උඹ තාමත් එයා ඉස්සර හිටපු කෙනා කියලා හිතන නිසා."

"මම දන්නවා, චරිත්. ඒ හැඟීමෙන් මිදෙන්න තාමත් මට බැරි වුණා."

"හ්ම්ම් . . ."

"නයෝමි ව දැක්ක ම මට අපේ හීන මතක් වෙනවා, මාලින්. එදා සරසවියේ දී නයෝමි ව දැක්ක ම මට හිතුන දේවල්. කවදා හරි මං වගේ පුතෙක් මට දෙනවා කියපු කෙල්ල වෙන මිනිහෙක්ගේ දරුවෙක් වඩාගෙන ඉන්නකොට මට මොනව ද හිතෙන්නෙ? නයෝමි නිසා මට ඉමාලි එක්ක හීන මවන්න බැරි වුණා. හැම හීනෙක ම නයෝමි ඉන්නවා."

"මේ ගැන ඉමාලි එක්ක කතා කරපන්."

"මට බැහැ, චරිත්. මට ඉමාලි දුකෙන් ඉන්නවා බලන්න බැහැ. මට ඕනේ නයෝමි ව හිතෙන් ඈත් කරන්න. එයා මාව පිළිකුල් කරනවා බලන්න. මම මුල් කාලෙ දී එයාගෙන් අයින් වුණේ එහෙම යි. ඒත් දැන් එයා මට ළං වෙන්න හදනකොට එයාගේ ඈත් වෙනවා වෙනුවට මමත් එයාට ළං වෙනවා. මම දන්නවා මම කරන දේ වැරදි කියලා. ඒත් . . ."

"උඹ ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, අනුරාධ. මෙතන වැරදිකාරයා නයෝමි මිසක් උඹ නෙමෙයි. ඒකි දැන ගන්න ඕනේ උඹ බැඳපු මිනිහෙක් කියලා."

"හ්ම්ම් . . ."

"මේකට විසඳුමක් තියෙනවා, අනුරාධ. ඒත් නොහිතන දෙයක් වෙන්න පුළුවන් නිසා ඒ විසඳුමට යන්න මම කැමති නැහැ."

"මොකද්ද?" චරිත් සහ අනුරාධ ඇහුවේ එකවිට.

මාලින්ගේ සැලසුම සදහට ම වැළලිලා ගියේ ඉමාලිගේ දුරකථන ඇමතුමෙන්. ගැඹුරු හුස්මක් ගත් අනුරාධ එයට පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙන්.

"කියන්න, ඉමාලි."

"අනුරාධ," ඉමාලි වෙවුලන හඬින් කතා කරේ දෑස්වලින් කඳුළු බිඳු කඩා හැලෙද්දී.

"ඉමාලි, ඇයි මැණික ඔයා අඬන්නෙ? මොකද්ද වුණේ?"

"අනුරාධ," ඇය ආයෙමත් කිව්වා.

"අඬන්නේ නැතු ව මට කියන්න මොකද්ද වුණේ කියලා!"

"අම්මා කතා කරා. අප්පච්චිට හාට් ඇටෑක්  එක්ක හැදිලා ඉස්පිරිතාලේ අරගෙන ගිහින්."

"මම එන්නං කැම්පස් එක ළඟට. අපි නුවර යමු. මම එනකං කොහෙවත් යන්න එපා. කලබල නැතු ව ඉන්න. මම ඉක්මනට එන්නං. බුදු සරණයි, ඉමාලි."

"මොකද්ද වෙලා තියෙන්නෙ?" දුරකථන ඇමතුම අවසන් වෙනවත් එක්ක ම චරිත් ඇහුවා.

"ඉමාලිගේ අප්පච්චිට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඉමාලි හොඳට ම අඬනවා. මම එයා එක්ක නුවර යනවා," අනුරාධ කිව්වේ මෝටර් රථය දෙසට දිව යන ගමන්.

"අනුරාධ ඉමාලිට ආදරෙයි," චරිත් කිව්වේ සුසුමක් හෙළමින්.

"අනුරාධ ආදරේ ඉමාලිට විතර යි, චරිත්. ඌ හිතාගෙන ඉන්නේ ඌ නයෝමිටත් ආදරෙයි කියලා," මාලින් කිව්වේ මදහසක් පාමින්. "උඹට මතක ද නිලූ ඇක්සිඩන්ට් වුණ දවසේ නයෝමි අඬ අඬා ඉන්නකොට ඌ  බැන්නා 'ලෙඩා මැරෙන්න කලින් අඬන ගෑනු මට පේන්න බැහැ' කියලා?"

"හ්ම්ම්, හැම දෙයක් ම විස‍ඳෙන්න පුළුවන් හොඳ ම විදියට විස‍ඳෙයි."

෴  මතු සම්බන්ධ යි ෴

March 20, 2014

දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම)

කතාව මතක නැති උදවියට දෙයියන්ගේ ලෙඩ (සත් වැනි දිග හැරුම) කියවලා එන්න මග සලකුණු මෙන්න . . .


නයෝමිට උත්තර බඳින්න ඉඩ නොතබා ම අනුරාධ රෝහල් බිමෙන් පිටවෙලා ආවේ හිස ගිනි ගත්තෙකු විලසින්. ඔහුගේ උස් කටහඬ ඉදිරියේ අනෙකුත් රෝගීන් මෙන් ම වෛද්‍යවරුන් සහ හෙදියන් ද විශ්මයට පත් ව බලාගෙන උන් අයුරු ඔහු දුටුවත් ඒ පිළිබඳ ව අනුරාධ තැකීමක් කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ හැකි තරම් ඉක්මනින් නයෝමිගෙන් සදහට ම සමු ගන්න යි.

හෝරාවක පමණ කාලයක් කොළඹ මං මාවත් ඔස්සේ අරමුණක් නොමැති ව වාහනය පදවමින් උන් අනුරාධ අවසානයේ දී ගාලු මුවදොර පිටිය වෙත ළඟා වුණා. මදක් කලබලකාරී වුවත් එය ඉමාලි පිළිබඳ සොඳුරු මතකයන් ගොන්නක් සිහියට කැඳවාගෙන එන තැනක්.

ඒ හොඳින් හිරු පායා තිබුණ දීප්තිමත් දවසක්. දහවල් කාලය නිසා ගාලු මුවදොර පිටියේ එතරම් පිරිසක් දක්නට ලැබුණේ නැහැ. දැඩි සූර්ය රශ්මිය නිසා අනුරාධගේ ගතින් නැගුන දහඩියෙන් ඔහුගේ කමිසය පෙඟුණත් ඒ ගැන තැකීමක් නොකර කොන්ක්‍රීට් බැම්මක් මත වාඩි වුණ ඔහු කල්පනා කළේ නයෝමි පැවසූ දේවල් ගැන!

විවාහයට පෙර ඉමාලිට ප්‍රේම සම්බන්ධයක් තිබුණ බව අනුරාධ දැනගෙන හිටියේ ඔහු ඇය ව බලන්න ගිය පළමු දවසේ ම ඇය ඒ ගැන පැවසූ නිසා යි. නයෝමි සමග පැවතුන ප්‍රේම සම්බන්ධය බිඳී යාම නිසා හිත් තැවුලෙන් උන් අනුරාධ, ඉමාලි ව බලන්න ගියේ අම්මගේ බල කිරීමට. තවත් බැඳීමකට යටත් වී දුක් විඳින්න ඔහු අකැමැති වූ නිසා ඊට පෙර කිහිප වතාවක් ම ගෙන ආ යෝජනා කිසිම හේතුවක් ඉදිරිපත් නොකර ම ඔහු ප්‍රතික්ෂේප කළා.

නමුත් ඉමාලි වෙනස්. බොහොම හෙමින් ලෑස්ති වෙලා පණ අදින මිනිහෙක් වගේ අමාරුවෙන් මුලින් ම ඇගේ ගෙදරට ගිය දවස සිහිවෙලා අනුරාධගේ මුවට නැගුනේ මද සිනාවක්. මනා ව නඩත්තු කළ ගෙවත්තක් මැද පිහිටි එය සිංහල උළු සෙවිලි කළ පැරණි තාලයේ විශාල ගෙයක්.

මංගල නඩය සාදරයෙන් පිළි ගත්තේ විදුහල්පතිවරයෙක් වෙච්ච ඉමාලිගේ අප්පච්චි! ආගිය තොරතුරු කතාබහ කරාට පස්සේ අම්මාගේ ඇරයුමින් බුලත් හෙප්පුවකුත් අරගෙන අනුරාධ ව මුණ ගැහෙන්න ඉමාලි ආවේ රන්වන් මල් මෝස්තරයක් ගෙත්තම් වූ කොළ පැහැ ඔසරියකින් සැරසිලා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා තිබුණේ ලැජ්ජාවෙන් වගේ.

සෙමින් පිය නගමින් අනුරාධ ළඟට ආ ඇය බුලත් හෙප්පුව ‍ඔහු දෙසට දිගු කළේ ඔහුගේ දෙනෙතට එබෙමින්. ඇගේ දිදුලන දෑසේ රැඳිලා තිබිච්ච බැල්ම එක මොහොතකට ඔහු ව සලිත කළා. ඒ බැල්ම අවංක යි. සෘජු යි. අනුරාධ බුලත් හෙප්පුව තමන්ගේ අතට ගත්තා ම ඉමාලිගේ දෙතොල් මත සිත්තම් වුණේ සොඳුරු මදහසක්.

නයෝමි තරමට ම නොවුණත් ඇය රූමත්. ඉඟටිය දක්වා කඩා හැලුණු තද කළු පැහැ කෙස් කළඹ, මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්ත වුණ ඇගේ සිහින් සිරුර මෙන් ම සමෙ හි වූ ඇත් දළ පැහැයත් මනා ව ඉස්මතු කළා. 

තේ පැන් සංග්‍රහයෙන් අනතුරු ව ගෙමිදුලේ පුරා කහ පැහැ මල් පෙති විසිර වූ ඇසළ ගහ යට තිබිච්ච ලී බංකුවේ වාඩි වෙලා ඉමාලි එක්ක කතාබහ කරද්දී අනුරාධගේ හිතට දැනුණේ සතුටක්. ඇය සැහැල්ලුවෙන් සිනාසෙමින් කතාබහට එක් වුණේ ඔහුගේ ඇසුර ප්‍රිය කරමින්.

"මම කැමති යි ඔයා ව බඳින්න," අනුරාධ කිව්වේ සැහැල්ලුවෙන්.

තමන් කියන දේ ගැන ඔහුගේ හිතේ තිබුණේ දැඩි විශ්වාසයක්. මේ මොහොතේ දී ගත යුතු නිවැරදි ව තීරණය එය බව කියමින් අනුරාධගේ හිත කෑ ගැහුවා.

ඔහුට පිළිතුරක් දෙනවා වෙනුවට ඇය විසල් කර ගත් දෙනෙතින් මොහොතක් ඔහු දෙස බලාගෙන සිටියා. ක්‍රමයෙන් ඇගේ මුහුණේ දඟකාර සිනාවක් මතු වුණා.

"මම කැමති වුණේ නැත්තං?"

"එතකොට නං ඉතින් කරන්න දෙයක් නෑ. ඒ වුණාට අකැමැති වෙන එක්ක නෑ කියලා මට හිතෙනවා."

"එහෙම කියන්නේ කොහොම ද?"

"කොහොම හරි. ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ."

"ඔයාගේ තීරණේ හරි කියලා ස්ථිර කර ගන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා," ඉමාලි කිව්වේ තීරණාත්මක කටහඬකින්. 

"මට කලින් සම්බන්ධයක් තිබුණා. සෑහෙන්න කාලයක් තිස්සේ. හ්ම්ම්, අවුරුදු පහක් විතර! මම හිතුවේවත් නැති විදියට . . ."

"ඉමාලි," අනුරාධ කිව්වේ ඇයට බාධා කරමින්. "මට ඔයා කියන දේ තේරෙනවා. මටත් කලින් සම්බන්ධයක් තිබුණා. ඒ ගෑනු ළමයා මාව දාල ගියා. හිත හදා ගත්තේ හුඟක් උත්සාහ කරලා. ඒ අතරේ අම්මලා යෝජනා ගෙනවා. මට ‍ඔයා ව තේරුම් ගන්න පුළුවන්. අපි දෙන්නා කවදා හරි කසාඳ බඳිනවා නං අතීතේ වෙච්ච ‍ඒ දේවල් අමතක කරලා අපි අලුතෙන් පටන් ගමු. මට දැන් ඕනේ ඒ දේ. තවත් දුක් විඳින්න ඕනේ නැහැ."

"හොඳයි! ඒත් මට දැන් ම . . ."

"ඔයා දැන් ම උත්තරයක් දෙන්න ඕනේ නෑ. හොඳට කල්පනා කරලා බලලා කියන්න."

සති කිහිපයකට පස්සේ දුන්න ඉමාලිගේ පිළිතුරෙන් පස්සේ ඔවුන් පෙම්වතුන් වුණේ දෙපාර්ශවයේ ම මව්-පිය ආශිර්වාදය මැද! ඉමාලි ඔහුගේ ජීවිතය වෙනස් කළේ අලුත් බලාපොරොත්තු ඇති කරමින්. ඇගේ උපාධි ප්‍රදානෝත්සවයෙන් මාස කිහිපයකට පසු ව ඔවුන් විවාහ වුණා. වසරකට ආසන්න ඔවුන්ගේ යුග දිවිය ගෙවී ගියේ සතුටින්. ඒ වගේ ම සැහැල්ලුවෙන්.

නමුත් දැන් ඔහු හිතේ නිදහසක් නොමැති ව යළිත් වරක් දුක් විඳිනවා. නයෝමිගේ අවසන් වදන් පෙළ ඔහුට වද දුන්නා. ඉමාලිට කලින් ප්‍රේම සම්බන්ධතාවක් තිබුණ බව ඇය අනුමාන කළා පමණ ද? නැත්තං ඉන් එහාට ගිය යමක් ඇය දන්නවා ද?

ඉමාලිගේ පැරණි පෙම්වතා ගැන කිසිදු තොරතුරක් අනුරාධ දැනගෙන හිටියේ නැහැ. කවදාවත් ඔහු ඇගෙන් ඒ පිළිබඳ විමසුවේ නැත්තේ නයෝමි ගැන මතකයන් හරා අවුස්සන එක කොතරම් ද වේදනාකාරී අත්දැකීමක් ද කියලා ඔහු දැනගෙන උන් නිසා යි. ඒ ගැන අද ඔහු‍ට දැනුණේ කනගාටුවක්.

අනෙක් අතට ඒ කිසිවක් දැන් වැදගත් නැති බව ඔහු‍ට හැඟුණා. යළිත් කිසිදු දිනෙක නයෝමි ව හමු නොවීමට ඔහු තීරණය කළ අවසන්. ඉමාලිගේ ප්‍රේම සම්බන්ධතා ගැන ඇය විමසන තුරු ම අනුරාධ එය ප්‍රශ්නයක් ව තිබුණේ නැහැ. ඉතින්, ඉදිරියට එය ප්‍රශ්නයක් කර ගන්නේ කුමකට ද?

යළිත් වරක් කාර්යාලයට යන්න හිතාගෙන අනුරාධ කොන්ක්‍රීට් බැම්ම මතින් නැගී සිටියා. ඔහුගේ සිත සැහැල්ලු යි. නමුත් ඈතින් ඇවිදගෙන එන පෙම්වතුන් යුවළක් දකින විට සිතේ රැඳිච්ච ඒ සැහැල්ලුව ක්ෂණයෙන් නැති වෙලා ගියා. අඳුරු රතු පැහැ ඔසරියකින් සැරසුණු යුවතියක්. ඒ ඇගේ උපන් දිනයට ඔහු රැගෙන දුන් සාරිය!

ඉමාලි! අනුරාධගේ සිත යළිත් වරක් කෝපයේ ගිනි දැල්ලට මැදි වුණා.

෴  මතු සම්බන්ධ යි ෴

December 30, 2013

දෙයියන්ගේ ලෙඩ (සත් වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ සවැනි (දිග හැරුම) කියවන්න ‍ඕනේ අය මේ අතුරු මංපෙත් දිගේ ගිහින් කියවලා එන්න . . .


ඒ පිළිතුර බලාපොරොත්තුවෙන් හිටපු නිසා අනුරාධගේ පිළිතුර මාලින්ගේ හිතේ පුදුමයක් ඇති කළේ නැහැ. ඔහුගේ සිතේ ඇති වුණේ දෙගෙඩියාවක්. මේ මොහොතේ ගලක් සේ නොසැලෙන අනුරාධගේ හදවත වෙඬරු පිඩක් සේ උණු කරන්න නයෝමිට හැකි බව ඔහු දැනගෙන හිටියා. නමුත් 'සියල්ල සිදු වන්නේ යහපතට' යැයි කියා සිත සනසා ගන්නවා හැරෙන්නට‍ වෙනත් විකල්පයක් ඔහු සතු වුණේ නැහැ.

කිසි‍වක් නොකියා පිට ව යන මාලින් දිහා අනුරාධ බලාගෙන හිටියේ මද සිනාවක් සමග. 'අද උඹ හිතන දේ වැරදි යි, මාලින්. මම කවදාවත් ඉමාලිට වැරැද්දක් කරන්නේ නැහැ' ඔහු සිතුවේ දැඩි අධිෂ්ඨානයක් හිතේ රඳවාගෙන. ඉන් මිනිත්තු කිහිපයකට පසු වරුවක නිවාඩුවක් අනුමත කර ගත් අනුරාධ දහවල් දොළහ යි කාල වන විට සිටියේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට!

නයෝමි නතර වෙලා හිටපු වාට්ටුව හොයා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ. ළා කහ පැහැ සැහැල්ලු ගවොමකින් සැරසිලා අමන්දා එක්ක කතා කරමින් උන් නයෝමි ව දැක්ක ම අනුරාධගේ හිතේ කෝපයක් මතු වුණේ නිරායාසයෙන්. කොරිඩෝව දිගේ ඉක්මන් ගමන් ඇවිද එන ඔහු ව දුටු නයෝමිගේ වත සොඳුරු මදහසකින් ඔපවත් වුණා. ඇගෙන් දිස් වුණේ වෙනදාටත් වඩා නීරෝගී, රූමත් පෙනුමක්.

"ඉඳගන්න, අනුරාධ!"

"ඕනේ නෑ. මම ඉක්මනට යනවා," අමන්දාගේ ආරාධනය ඉවත දැමූ අනුරාධ මොහොතක් නයෝමි දිහා ඍජු බැල්මෙන් බලාගෙන හිටියා. "මට නයෝමිට ටිකක් කතා කරන්න ඕනේ. අමන්දා මෙතන නොඉන්නවා නං තමයි හොඳ!"

"ආ! හරි." ඇගේ කටහ‍ඬේ ගැබ් වෙලා තිබුණේ විශ්මයක්. "මම එළියෙන් ඉන්නං, නයෝමි."

අමන්දා පිටවෙලා යන දිහා මද වෙලාවක් බලාගෙන උන් අනුරාධ තමන්ගේ සිතුවිලි එක්තැන් කර ගත්තේ දිගු කතාවකට සූදානම් වෙමින්.

"ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා, අනුරාධ." නයෝමිගේ සන්සුන් ස්වරයේ සතුටක සේයාවක් රැඳිලා තිබුණා.

"මම ආවේ මාලින් මට කියපු දේවල් නිසා!"

"මාලින් මොනව ද කිව්වේ?" නයෝමි ඇහුවේ සිතේ ඇති වුණ පුදුමය සඟවන්න උත්සාහ කරමින්. මාලින් කියූ දේවල් දැන ගන්න ඇගේ සිත නොඉවසිල්ලෙන්.

"පැනඩෝල් කාඩ් දෙකක් බීලා මැරෙන්න හැදුව ම හැම දෙයක් ම විස‍ඳෙයි කියලා හිතුව ද?"

"මට ඕනේ වුණේ . . ."

"එහෙම මැරෙන්න තරම් තනිකමක් ඔයාට නැහැනේ, නයෝමි. ඒ නිසා බොරු වැඩ . . ."

"ආදරේ කරන අය ළඟ නැති වුණා ම මැරෙන්න නැතු ව වෙන මොනවා කරන්න ද?"

"ඔයාගේ දරුවට මොනවා වෙයි කියල ද හිතන්නෙ? අම්මා නැති අසරණයෙක් ව පිට මිනිස්සු ආදරෙන් බලා ගනීවි කියලා හිතනව ද?"

"මම ඒ ගැන ඩිසිෂන් . . ."

"මැරෙන එක හැම දේකට ම විසඳුමක් නෙමෙයි කියන එක අමතක කරන්න එපා, නයෝමි. එහෙම නං මුලින් ම මැරෙන්න ඕනේ කෙනා මම. ඒත් අමාරුවෙන් හරි ජීවත් වෙච්ච නිසා මම දැන් ඉමාලි එක්ක සතුටින් ඉන්නවා. අරෝෂ්ගෙන් දික්කසාද වුණා නං වෙන මිනිහෙක් ව කසාද බඳින්න. හැබැයි ඒ මිනිහා මම නෙමෙයි කියන එකත් හොඳට මතක තියාගෙන වැඩ කරන්න."

"ආදරේ නැති කෙනෙක් ව බැඳලා මම ඉන්නේ කොහොම ද?"

"ඔයා අරෝෂ් ව බැන්දේ ආදරේ නිසා ද?"

අනුරාධගේ උපහාසාත්මක වදන් ඉදිරියේ නයෝමි නිරුත්තර වුණා. ඇගේ දෙනෙත් බොඳ කරමින් මතු වූ කඳුළු බිඳු දෙකොපුල් දිගේ සෙමින් ගලාගෙන ගියා.

"මම වැරැද්දක් කළා, අනුරාධ. මට ඕනේ වුණේ ඒක හදා ගන්න," ඇය කිව්වේ කොට්ටය යට සඟවගෙන උන් පත්තර පිටුවක් අනුරාධට දිගු කරමින්.

ඒ සතියකට පමණ පෙර පළ කරන ලද කාන්තා පුවත්පතක පිටපතක්. එහි මුල් පිටුව හැඩ වෙලා තිබුණේ ජනප්‍රිය නිළියකගේ බඳ වටා සුරත දමාගෙන උන් අරෝෂ්ගේ ‍කඩවසම් සේයාරුවකින්. ඇතුළු පිටුවල සඳහන් වුණේ ඔවුන් දෙදෙනා ඉදිරි මාස තුන ඇතුළත යුග දිවියට පිවිසෙන පුවත!

"මට අරෝෂ් ව නැත්තට ම නැති වුණා, අනුරාධ."

"එහෙම යි කියලා මට ආයෙත් ළං වෙන්න හදන්න එපා, නයෝමි. මම බැඳපු මනුස්සයෙක්. ඒක ඔයා නොදන්න දෙයක් නෙමෙයි."

"ඔයා බැන්දේ ප්‍රපෝසල් එකකින් කියලා මම දන්නවා."

"ප්‍රපෝසල් එකකින් හරි මම බැන්දේ මට ආදරේ කරන ගෑනියෙක් ව. සල්ලි නිසා මාව දාල යන්නේ නැති ගෑනියෙක් ව. ඒ හොඳට ම ඇති මට සතුටින් ඉන්න. නොබැඳ හිටියත් ආයෙත් ඔයාට ආදරේ කරන්න මට බෑ. මම ඔයා ව අමතක කරලා දැන් හුඟක් කල්."

"මට ආදරේ කරන්න ඕනේ නෑ. යාළුවෙක් වගේ මගේ ළඟින් ඉන්න. ලෙට්ස් බී ෆ්‍රෙන්ඩ්ස්, අනූ."

"නයෝමි, මට ඔයා එකක් කිසිම සම්බන්ධයක් ඕනේ නෑ. ඒ නිසා කරුණාකරලා අපි අද මේක ඉවරයක් කරමු. තවත් ඔයා මාව හොයාගෙන එනවට, මට කතා කරනවට මම කැමති නෑ. ඒ නිසා මට මගේ පාඩුවේ ඉමාලි එක්ක ඉන්න දෙන්න. මගේ පිනකට මට ඉමාලි ව ලැබුණා. ඒක නැති කරන්න එපා. ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්න මට බෑ. මොකද මම දුක් විඳපු කාලේ ඉවර කරලා මගේ ජීවිතේට සතුටක් ගෙනාවේ එයා."

"දැට් ඩසන්ට් මැටර්. එයා හිටියා කියලා අපිට යාළුවෝ නොවී ඉන්න බැරි නැහැ."

"කවදාවත් ඔයාට එයාගේ යාළුවෙක් වෙන්න බැහැ, නයෝමි."

"ඔහොම නපුරු වෙන්න එපා, අනුරාධ."

"නපුරු? හ්ම්! ඔයා කොහොම ද නයෝමි මෙහෙම කරන්නෙ? ඇයි ආයෙමත් මගේ ජීවිතේට ඇවිත් මට මෙහෙම වද දෙන්නෙ? මට තවත් දුක් විඳින්න ඕනේ නෑ. මොකද මම ඔයා නිසා අවුරුදු හතරක් තිස්සේ ඇති තරම් දුක් වින්දා. ඒ ඇති මට හොඳට ම."

"අනුරාධ, මම . . ."

"මට තවත් ඔයා එක්ක කතාවක් නෑ. මම යනවා, නයෝමි. ඔයා කැමති විදියකට ජීවත් වෙන්න," අනුරාධ කිව්වේ ඇයට පිටුපාමින්.

"හරි, අනුරාධ. ඔයා ගිහින් ඔයාගේ ඉමාලි එක්ක හැමදාම සතුටින් ඉන්නකෝ. ඒත් ඔයා කියන තරම් එයා හොඳයි ද කියන එක ගැන මට නං සැක යි!"

"මොකද්ද කිව්වේ?" ඔහු ඇසුවේ ආපසු හැරෙමින්. නයෝමි තමන් ඉදිරියේ ඉමාලි ව විවේඡනය කිරීම ඔහු ව කෝපයෙන් දවාලුවා.

"ඉමාලි ඔයා ඔය කියන තරම් හොඳ කෙනෙක් නං ඔයා ව ප්‍රපෝස් කරනකං නොබැඳ හිටපු එක ගැන මට හරි පුදුම යි! ඒ වගේ කෙල්ලෙක් . . ."

"ඒක ඔයාට අදාළ කාරණාවක් නෙමෙයි, නයෝමි."

"මට අදාළ නැති වෙන්න පුළුවන්. මම කිව්වේ වෙන්න පුළුවන් දේ. ඒ වගේ හොඳ කෙල්ලෙක්ට කැම්පස් එකේ දී හරි සම්බන්ධයක් ඇති නොවුණොත් . . ."

"නයෝමි!"

"ඇත්ත තිත්ත යි කියන්නේ බොරුවට නෙමෙයි, අනුරාධ. කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඔයා‍ට වගේ වැළලිච්ච අතීතයක් එයාට තියෙන්න බැරි ද? ඒ අතීතේ ගොඩ ගන්න හදන වර්තමානයක් තියෙන්න බැරි ද? ලෝකෙට පෙන්න අහිංසක වුණාට . . ."

"කට වහපන්," අනුරාධ කෝපයෙන් ගිගුරුවා. හිතේ තිබුණ කෝපය පළ කරන්න වගේ ඔහුගේ දෙතොල සහ ඇහි බැම සරල රේඛාවක් බවට පත් වෙලා තිබුණේ. "මගේ ගෑනිගේ වැරදි කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද?"

෴  මතු සම්බන්ධ යි ෴

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...