November 25, 2013

සොබාදම් රුවැත්තිය


කාලෙකට කලින් මගේ අතින් අකුරට නැගුණු සුදු මල් වැල පෝස්ටුවේ කතා නායිකාව මේ දිනවල මලින් බර වෙලා. ඉතින්, හුඟක් අයගේ ඉල්ලීම ඉටු කරන්න සූදානමින් රූප රාමු එක්ක ම ආයෙමත් වතාවක් මේ සොබාදම් රුවැත්තිය ගැන ලියන්න යි මගේ අදහස! හැමදාම උදේට කුරුලු ගී එක්ක මම නැගිටින කොට සුදු මල් වැල පුරා ම මල් පිරිලා. හවසට කොළ අතරේ හැංගිලා තියෙන පොහොට්ටු රෑට තමයි නැගිටින්නේ. කළුවරේ එන උදවියට හොඳින් ඇහැ ගැටෙන්න ඕනේ නිසා ම වෙන්න ඕනේ ඇය ලොකු සුදු මලින් හැඩ වෙන්නේ. ගැට පිච්ච මලක හැඩය ගන්න මේ මලේ විෂ්කම්භය අඟල් දෙකක් පමණ වෙනවා. සුසිනිඳු පෙති පිරිසුදු සුදු පැහැයකින් යුතු යි. ඒ නිසා ද මන්දා මේ මලේ තියෙන්නේ හරි ම පැහැදිලි ලස්සණක්.

පෙරදිගින් හිරු නැගෙන විට සඳ කළු වලාවක සැඟවිලා
නීල අහසේ ළහිරු කිරණින් රන් පැහැය සිත්තම්වෙලා
කුරුල්ලන්ගේ මියුරු ගී හඬ සුළං රැල්ලේදැවටිලා
උදෙන් නැගිටින්නට කියා මට කවුළුවෙන් ඇරයුම්කළා
  
උදේ පාන්දර ම තේ කෝප්පෙකුත් අරගෙන මිදුලට යන මම මුලින් ම දකින්නේ කොහොඹ ගහ පාමුල කහ පාටට කොළ විසිරිලා තියෙන හැටි. ඒ අතර ඇතැම් වෙලාවට සුදු මලකුත් තියෙනවා. උදේ පාන්දර ම දකින ඒ පින්බර දසුන හිතට ගේන්නේ සැනසීමක්. පිනි වැටිච්ච සුදු මල් පෙතිවලට ළා හිරු රැස් වැටුණ ම එතන මැවෙන්නේ සුන්දර ලෝකයක්. කම්මැලි නැතු ව උදෙන් ම නැගිටින බට්ටිච්චෝ මල් පෙති අතර ගැවසෙන්නේ මුහුණ කට සෝදගෙන අනිත් හැමෝට ම කලින් වැඩ පටන් ගන්න වගේ.

දුම් දමන තේ කෝප්පය ගෙන මම ගියේ මිදුලටහෙමින්
ලේන්නුන් නැගිටලා උදේ කෑමට ඇවිත් මේ මටහොරෙන්
කොහොඹ කොළ විසිරිලා ගෙමිදුල පුරා කහ පැහැයක්අරන්
ඊයේ රෑ තනි වෙච්ච මල් වැල බරවෙලා අද සුදුමලින්
  
උදේ වරුව ගෙවිලා යනකොට තමයි මී මැස්සෝ පිරිවරාගෙන සමනල රෑන එන්නේ. ඒත් කවදාවත් උන් සුදු මල් වැලට ළං වෙනවා මම නං දැකලා නැහැ. ඒ උන්ගේ හිත් ඇද ගන්න තරම් ලස්සණක් ඇයට නැති නිසා වෙන්න ඕනේ. එහෙම යි කියලා හිත රිදවා ගන්නේ නැති සුදු මල් වැල හැමදාමත් වගේ හිනා වෙලා ඉන්නවා. ඒ නොසැලෙන ගතිය මිනිස්සු ළඟත් තියෙනවා නම්! එහෙම හිතකට මොන තරම් සැනසීමක් ලැබෙයි ද?
    
සුවඳ නැති මුත් දකින විට නුඹෙ සොඳුරු රුව මාගේසිත
පිරෙනවා වචනෙට නගන්නට බැරි සතුටකින් නොනැවත
මිහිරි මල් ‍රොන් අහිමි නුඹ වෙත සමනලුන් එන්නේ නැත
මිනිස් ගතියට ඔවුන් ළං කර ගන්න නොදරයි නුඹතැත


මේ මලේ නම නම් මම දන්නේ නැහැ. දන්න කෙනෙක්ට මේ ගැන සුළුවෙන් හරි විස්තරයක් කරන්න පුළුවන් නං මම හිතන්නේ ඒක හැම කෙනෙක්ට ම ප්‍රයෝජනවත් වෙයි.

November 20, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (සිව් වැනි දිග හැරුම)

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ පළමු, දෙවැනි සහ තෙවැනි දිග හැරුම බලලා එන්න මේ ‍මංපෙත් ඔස්සේ පිය නගන්න . . .


ගමේ ප්‍රජා ශාලාව ඇතුළේ දුක්බර මුහුණුවලින් යුතු සාමාජිකයෝ අතළොස්සක් අසුන්ගෙන හිටියා. ඔවුන් රැස්වීමට එන්න පෙළඹුණේ වාර්ෂික ව ලැබෙන සංග්‍රහය නිසා යි.

ටික වෙලාවකින් ලොවිච්චි සහ සළු ගණනාවකින් සැරසුණු දි වේරා කාටර් මහත්මිය ශාලාවට ඇතුළු වුණේ සැර විලවුන් සුවඳක් විහිදුවමින්.

"ආදරණීය දරුවෙනි," ඇය කිව්වා. "අපේ පුංචි රැස්වීමට ඔයාල ව සාදරයෙන් පිළිගන්නවා. මේ ඉන්නේ," යාළුවෝ සිව් දෙනා දිහා දුක්බර විදියට බලාගෙන ඉන්න පැරණි සාමාජිකයෝ දිහා බලමින් ඇය දිගටම කියාගෙන ගියා. "මේ ඉන්නේ අපේ අලුත් යාළුවෝ හතර දෙනා. අපි එයාල ව සතුටින් තියන්න ඕනේ. එහෙම නේද, මගේ ආදරණීය දරුවෙනි?"

ඇය යාළුවෝ සිව් දෙනාට ඇය ඉදිරියෙන් ම අසුන් ගන්න ඉඩ සලසමින් දිගට ම කතා කළා.

"ඉතින්, මගේ දරුවෙනි, මට දැන් කියන්න මේ රැස්වීමට ඇවිත් ඔයාල හැසිරෙන්න ඕනේ කොහොම ද කියලා."

හරි ම නීරස විදියට ඒකාකාරී හඩින් දුන්න පිළිතුරක් තමයි ඇයට ලැබුණේ.

"විනීත ව ඒ වගේ ම ශාන්ත ව"

"මට නමක් තියෙන බව අමතක කරන්න එපා, දරුවනේ."

"විනීත ව ඒ වගේ ම ශාන්ත ව, දි වේරා කාටර් මැතිනියනි."

"බොහොම හොඳයි, මගේ දරුවනේ. විනීත ව ඒ වගේ ම ශාන්ත ව. දැන් අපේ අලුත් යාළුවෝ හතර දෙනා කියන්න බලන්න මේ රැස්වීමට ඇවිල්ලා ඔයාලා හැසිරෙන්න ඕනේ කොහොම ද කියලා."

ඇයට පිළිතුරක් ලැබුණේ නැහැ.

ඒ වෙනුවට යාළුවෝ හතර දෙනා බයෙන් ඒ වගේ ම ලැජ්ජාවෙන් ඉඳගෙන හිටියා.

"අනේ, ඔයාලා ලැජ්ජාවෙන් ඉන්නේ. එහෙම නේද?" විලියම් ව තුරුල් කර ගන්න උත්සාහ කරන ගමන් ඇය කිව්වා.

විලියම් ඉක්මනින් ම එතනින් ඉවත් වුණ නිසා ජින්ජර්ට සිදු වුණේ දැවැන්ත දියමන්ති හරිච්චියකට මුහුණ ඔබා ගන්න!

"අපිත් එක්ක ඉන්නකොට ඔය ලැජ්ජාව ඉක්මනින් ම නැති වෙයි. ඒ ගැන මට විශ්වාස යි. අපි මේ රැස්වීමේ ඉන්නේ හුඟක් සතුටින්. ඒ වගේ ම හොඳින්. දැන් කියන්න දරුවනේ, අපි රැස්වීමේ ඉන්නේ කොහොම ද කියලා."

අයෙමත් වතාවක් ඇයට ලැබුණේ හරි ම නීරස විදියට ඒකාකාරී හඩින් දුන්න පිළිතුරක්.

"හුඟක් සතුටින් ඒ වගේ ම හොඳින්, දි වේරා කාටර් මැතිනියනි."

"බොහොම හොඳයි. දැන් අපි මුල් පේළියේ ඉන්න යාළුවන්ගෙන් අහලා බලමු. විලී, වස්තුවේ, ඔයා පටන් ගන්න. අපි කොහොම ද මේ රැස්වීමේ ඉන්නෙ?"

ඒ වෙලාවේ විලියම්ට හිතුණා මැරෙන්න තිබුණා නං හොඳයි කියලා. ඔහු ඇස් කොනෙන් දැක්කා හෙන්රි කට ඇරගෙන බලන් ඉන්න හැටි. විලියම් උගුර පෑදුවට උත්තරයක් දුන්නේ නැහැ.

"එහෙම නං ඔයා කියන්නකෝ, හැරී වස්තුවේ."

හෙන්රිගේ මුහුණ දම් පාට වෙනවා දැකපු විලියම්ගේ හිතට සතුටක් දැනුණා.

"ආ! මේ යාළුවෝ හතර දෙනා ලබන සතියේ නං මෙහෙම ලැජ්ජා වෙන එකක් නැහැ. එහෙම නේද, මගේ දරුවෙනි?"

"නැහැ, දි වේරා කාටර් මැතිනියනි," පුරුදු විදියට ම ජීවයක් නැති පිළිතුරක් මතු වුණා.

"එහෙම නං දැන් අපි සින්දුවක් කියලා ඉමු. ඔයාලගේ පොත් ගන්නකෝ," ඇය කිව්වේ පියානෝව ඉදිරියෙන් අසුන් ගන්න ගමන්. "පස්වෙනි සින්දුව, 'දිලිසෙන දිය' හදවතින් ම සින්දුව කියන්න, දරුවනේ. ඔයාලා ලෑස්ති ද?"

ඇය පියානෝව වාදනය කරන්න පටන් ගත්තා.

යාළුවෝ හතර දෙනා ළඟ පොත් තිබුණත් ඔවුන් සින්දු කියන්න එකතු වුණේ නැහැ. වතුර ගැන හිතේ අකැමැත්තක් තිබුණේ නැති වුණත් සින්දු කියන එක ඔවුන් තදින් ම පිළිකුල් කළ දෙයක්.

සින්දු කියලා ඉවර වුණාට පස්සේ දි වේරා කාටර් මහත්මිය තමන්ගේ අසුනෙන් නැගිට්ටා.

"දැන් අපි සෙල්ලම් කරමු, මගේ දරුවනේ. ඔයාලා සෙල්ලමක් පටන් ගන්නකෝ. එහෙම හොඳයි නේද, වස්තුවේ? ඒ අතරේ මම ගිහින් බලලා එන්නම් ටෙඩී වීලර් අද රැස්වීමට ආවේ නැත්තේ ඇයි කියලා.ඉතින්, මම එනකම් ඔයාලා මොන සෙල්ලම ද කරන්නෙ? ගිය සතියේ අපි 'කොනේ ඉන්න පූසා' සෙල්ලම කරානේ. ඒ නිසා මේ සතියේ අපි 'මල්බෙරි ගහ වටේ යමු' සෙල්ලම කරමු. එහෙම හොඳයි නේද? 'අන්ධ මිනිසාගේ හමුදා ඇඳුම' සෙල්ලම කරන්න එපා, දරුවනේ. ඒක භයානක සෙල්ලමක්. දැන් මම ගියා ම මේ අලුත් යාළුවන්වත් සෙල්ලමට එකතු කර ගන්න, හොඳ ද? දැන් මට ආයෙත් සැරයක් කියන්න අපි රැස්වීමට ඇවිත් ඉන්න ඕනේ කොහොම ද කියලා."

"විනීත ව ඒ වගේ ම ශාන්ත ව. හුඟක් සතුටින් ඒ වගේ ම හොඳින්, දි වේරා කාටර් මැතිනියනි," සුපුරුදු පිළිතුර ගලාගෙන ආවා.

පැය කාලකට පස්සේ ඇය ආපහු එනකොට ළමයි බොහොම උද්‍යෝගයෙන් සෙල්ලම් කරමින් හිටියා. හැබැයි ඒ 'මල්බෙරි ගහ වටේ යමු' සෙල්ලම නම් නෙමෙයි.  ගමේ ප්‍රජා ශාලාව ළමයින්ගේ බෙරිහන් දීම් සහ දැඟලීම්වලින් පිරිලා. බංකු බිම පෙරළිලා. ඒ වගේ ම පුටු කිහිපයක් කැඩිලා. මොර දීම් සහ ඔල්වරසන් හඬ මැද්දේ හීලෑ කරන්නෝ උත්සාහ කරේ සත්තුන් ව හීලෑ කර ගන්න. ඒත් ගොරවමින් සහ හපාකමින් සත්තු උත්සාහ කරේ හීලෑ නොවී ඉන්න යි! මේ වෙනකොට කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ තිබිච්ච් උදාසීන ගතිය නැත්තට ම නැති වෙලා. තීරු තීරුවලට ඉරිලා ගිය ටයි පටියකින් සහ කබායකින් සැරසිලා හිටපු විලියම් කටයුතු කරේ හීලෑ කරන්නෙක් විදියට. ඔහුගේ ඔළුව තුවාල වෙලා. ඒ වගේ ම කටහඬ බැරැන්ඩි වෙලා.

"ඒයි, මෙහාට එනවා!"

"මට එකෙක් ව අහු වුණා."

"ග්ර්-ර්-ර්-ර්!"

"ඕක ව අල්ලා ගන්න, ගහන්න, මරලා දාන්න!"

සත්තු බොහොම සැරපරුෂ විදියට ගර්ජනා කරේ ඇඟේ ලේ වතුර වෙන තරම් භයානක විදියට.

ඒ අතරේ දි වේරා කාටර් මහත්මිය ළමයින්ගේ අවධානය දිනා ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා.

නමුත් 'විනීත ව ඒ වගේ ම ශාන්ත ව, හුඟක් සතුටින් ඒ වගේ ම හොඳින්' හැසිරෙන්න පොරොන්දු වුණ ළමයින් ඇය ව ගණන් ගත්තේ නැහැ. ඔවුන්ගේ සම්පුර්ණ අවධානය යොමු වෙලා තිබුණේ සෙල්ලමට.

ඒ  වෙලාවේ කවුරු හරි දොරටුවෙන් පිට වෙලා පිට්ටනිය දිහාට දුවගෙන ගියා. ඒ නිසා අන්තිමේ දී යුද්ධය ඉවර වුණේ පිට්ටනියේ දී. සෙල්ලම අවසන් වුණාට පස්සේ කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය විසිරිලා ගියේ අකැමැත්තෙන්. තුවාල වෙලා, සීරිලා හිටියත් ඒ හැම දෙනා ම හිටියේ උතුරා යන තරම් සතුටෙන්.

බ්‍රවුන් මහත්මිය විලියම් ගෙදර එනකං බලාගෙන හිටියේ හරි ම නොඉවසිල්ලෙන්.

ඔහු ව දැකපු වෙලාවේ ඇය අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ළඟ ම තිබුණ පුටුවෙන් වාඩි වුණා.

"විලියම්!"

"මම," විලියම් ඉක්මනින් කිව්වේ ඇය දිහා බලන ගමන්. "ඔයා එපා කියපු කිසිම සෙල්ලමක් කරේ නෑ, අම්මා."

"එහෙම නං ඔයා මොන සෙල්ලම ද කරේ?"

"හ්ම්ම්, මම රැස්වීමේ දී කරේ 'කිඹුල්ලු සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම!"

෴  නිමි ෴

November 16, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (තෙවැනි දිග හැරුම)

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය පළමු දිග හැරුම සහ දෙවැනි දිග හැරුම කියවන්න මේ මංපෙත් දිගේ පිය නගන්න . . .


කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය රැස් වෙන දවසත් උදා වුණා. එදා විලියම් උදේ කෑමට පහළට බැස්සේ කෝපය පිරුණු බැල්මක් මුහුණේ රඳවා ගෙන. ඔහු කෑම මේසයට වාඩි වෙලා නළලේ අත තියා ගත්තේ දුක්බර විදියට කෙඳිරි ගාන ගමන්.

බ්‍රවුන් මහත්මිය ඔහු දිහා බැලුවේ කැළඹීමෙන්.

"ආ! විලියම්, මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"මට හොඳට ම ඔළුව රිදෙනවා, අම්මා," විලියම් සිහින් හඬින් කිව්වා.

"අනේ, ඒක නං එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයා ගිහින් ටිකක් ඇඳට වෙලා හිටියොත් හොඳයි."

"ඔව්, මම හිතන්නේ මම ටිකක් ඇඳට වෙලා හිටියොත් හොඳයි තමයි,"  විලියම්ගේ කටහඬ වේදනාවෙන් බර වෙලා. "ඒත් ඊට කලින් මම උදේට කාල ඉන්නං."

"පුතා, ඔය වගේ ඔළුව රිදෙනකොට කෑම කන්න හොඳ නෑ, මගේ වස්තුව."

විලියම් කෑදර විදියට බිත්තර සහ බේකන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

"මම හිතන්නේ මට පොඩ්ඩක් කන්න පුළුවන් වෙයි, අම්මා."

"එපා, රත්තරනේ. එතකොට ඔයාගේ ඔළුවේ කැක්කුම තවත් වැඩි වෙයි."

විලියම් තමන්ගේ කාමරේ දිහාට ඇවිදගෙන ගියේ හරි ම අකැමැත්තෙන්.

උදේ කෑම ඉවර වුණාට පස්සේ බ්‍රවුන් මහත්මිය ඔහු ව බලන්න ගියා.

නැහැ, තවමත් ඔහුට සනීපයක් දැනුණේ නැහැ. ඒත් ඔහු හිතුවා පොඩ්ඩක් ඇවිදින්න ගියොත් හොඳයි කියලා. ඔව්, ඔහුට තාමත් හොඳට ම අසනීප යි. ඒ  නිසා බ්‍රවුන් මහත්මිය යෝජනා කරා ලොකු ලුණු හැන්දක් දාපු වතුර වීදුරුවක් බොන්න. එහෙම බිව්වොත් ඉක්මනට  ම ලෙඩ සනීප වෙනවනේ. ඒත් විලියම් කැමති වුණේ නැහැ අම්මට කරදර කරන්න. අනික මේක එහෙම ඉක්මනට සනීප වෙන ලෙඩක් නෙමෙයි. ඒ ගැන නම් විලියම්ට හොඳටම විශ්වාස යි. ඔහුට  දැනුණා පොඩ්ඩක් ඇවිදින්න ගියොත් ඉක්මනට ම ඔළුවේ කැක්කුම සනීප වෙයි කියලා.

ඉතින්, මුළු ඇඟ ම වැහෙන්න ඇඳුම් ඇඳගෙන, අම්මගේ දැඩි අධීක්ෂණය යටතේ විලියම් ඇවිදින්න යන්න පාරට බැස්සේ හරි ම හෙමින්, අස්ථිර විදියට පියවර තබන ගමන්.

ඊට පස්සේ ඔහු හෙමින් සැරේ තාප්පේ අයිනේ තිබුණ මහරත්මල් පඳුර දිගේ බඩ ගා ගෙන ගිහින් කෑම ගබඩාවට පැන්නා.

පැය බාගයකට පස්සේ කෝකියා බ්‍රවුන් මහත්මිය ව මුණ ගැහෙන්න ආවේ කලබලයෙන්.  ඊට පිටි පස්සෙන් ඇවිදගෙන ආවේ සුදුමැලි වෙච්ච විලියම්!

"විලියම් පුංචි මහත්තයා කෑම ගබඩාවේ තිබුණ හැම දෙයක් ම වගේ කාල, මැඩම්. ඔබතුමියට හිතා ගන්න බැරි වෙයි. ගබඩාවේ තිබුණ සීතල කරපු හැම් ඔක්කොම යි, තව පස්තෑල ඒ වගේ ම සීත කරපු ලොකු සොසේජස් තුනක්. ආ! අලුතෙන් ම හදපු ලෙමන් චීස් බරණියත් ඉවර යි."

"විලියම්!" බ්‍රවුන් මහත්මියට පුදුමයෙන් කෑ ගැහුණා. "ඔච්චර කන්න පුළුවන් නම් ඔයාට කොහෙත් ම ඔළුවේ කැක්කුමක් තියෙන්න විදියක් නැහැ."

ඉතින්, ඔන්න ඔහොම යි විලියම්ගේ බොරු ඔළුව කැක්කුම අවසන් වුණේ!

උදේ ඉතුරු වරුව ඔහු ගත කළේ හෙන්රි, ඩග්ලස් සහ ජින්ජර් එක්ක! යාළුවෝ කට්ටිය එකතු වෙලා 'නීති කඩන්නෝ' නමින් රහස් සංගමයක් හදාගෙන යි හිටියේ. මේ සංගමේ නායකයා වුණේ විලියම්. ඒ ගැන ඔහුගේ හිතට දැනුණේ ලොකු ආඩම්බරයක්. ඒත් අද හවසට විලියම් කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ රැස්වීමට යන බව අනිත් තුන් දෙනා දැන ගත්තොත්. එහෙම නැත්තං අනුමාන කරොත්. ඒ ගැන කල්පනා කරනකොට විලියම්ගේ හිතට ලැජ්ජාවක් දැනුණා. ඒ නිසා හවස් වරුවේ යාළුවෝ තුන් දෙනා කරන්නේ මොනව ද කියලා දැන ගන්න ඔහු උත්සාහ කළා. යාළුවෝ කරන දේ දැන ගත්තා නම් කොහොම හරි ඒ තුන් දෙනා ව මග අරින්න තිබුණා. ඒත් සැහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් නම් ඔහුට ලැබුණේ නැහැ.

යාළුවෝ හතර දෙනා උදේ වරුව ගත කරේ වදුලට වෙලා හෙන්රිගේ ෆොක්ස් ටෙරියර් වර්ගයේ බල්ලා, චිප්ස් සහ විලියම්ගේ දෙමුහුම් බල්ලා, ජම්බල් සමග හාවෝ දඩයම් කරමින්. හැබැයි මේ කිසිම කෙනෙක්ට හාවෙක් ව දඩයම් කරන්න තියා දකින්නවත් ලැබුණේ නැහැ. ඒ  වෙනුවට ජම්බල් සමනලයෙක් සහ මී මැස්සෙක්ගේ පස්සෙන් ලුහු බැන්දා. වැලි මීයෙක්ගේ තුඹසක් පහුරු ගෑවා. අන්තිමේ දී දෙබරෙක්ට කියලා දෂ්ට කරවා ගත්තා. ඒ අතරේ චිප්ස්ට පුළුවන් වුණා පුංචි මීයෙක් ව අල්ලා ගන්න. ඒ නිසා උදේ වරුව අපතේ ගියේ නම් නැහැ.

ඒත් විලියම්ගේ හිතේ නම් මේ ගැන උනන්දුවක් තිබුණේ නැහැ. හවසට කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ රැස්වීමට යන්න තියෙන අවස්ථාව මග අරින්න සැලසුම් ගණනාවක් ඔහු කල්පනා කළා. ඒත් ඒ කිසිම එකක් ප්‍රායෝගික වුණේ නැති නිසා ඒවා අත් අරින්න ඔහුට සිදු වුණා.

වෙනදට වඩා ටිකක් කලින් විලියම් දවල් කෑමට කෑම කාමරේට ගියා. ඒ වෙලාවේ කෑම කාමරේ හිටියේ විලියම්ගේ අක්කා, එතල් සහ විලියම්ගේ අයියා, රොබට් විතර යි. විලියම් කෑම කාමරේට ආවේ කොර ගහන ගමන්. වේදනාව නිසා ඔහුගේ දෙතොල් වගේ ම ඇහිබැම තනි ඉරක් බවට පත් වෙලා.

"විලියම්, මොකද වෙලා තියෙන්නේ ඔයාට?" උදේ කෑමට හිටියේ නැති රොබට් ඇහුවා. ඒ වගේ ම ඔහුට කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය ගැන කිසිම දෙයක් මතක තිබුණේ නැහැ.

"මගේ වළලුකර උලුක් වෙලා," විලියම් කිව්වේ දුර්වල කටහඬකින්.

"ආ! කෝ එන්න මෙහාට. මම බලන්නං මොකද වෙලා තියෙන්නේ කියලා," රොබට් අනුකම්පාවෙන් කිව්වා.

විලියම් යටහත් පහත් විදියට රොබට් ළඟින් ඉඳ ගත්තා.

"කොයි කකුල ද උලුක් වුණේ?"

"හ්ම්ම්, මේ කකුල."

"එහෙම නං මොකට ද ඔයා අනිත් කකුලෙන් කොර ගැහුවේ?" එතල් ඇහුවේ ඇනුම්පදයක ස්වරයෙන්.

ඒ විදියට විලියම්ගේ කකුලේ උලුක්කුවත් ක්ෂණයෙන් සනීප වුණා.

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ රැස්වීම ආරම්භ වෙන්න නියමිත වෙලා තිබුණේ හවස තුනට. හවස දෙක හමාරට ගෙදර උදවියට දැන ගන්න ලැබුණා විලියම්ට දරුණු දත් කැක්කුමක් හැදිලා තියෙන බව. තුනට මිනිත්තු විසි පහක් ඉතුරු වෙලා තියෙනකොට විලියම්ට හැදුණේ උග්‍ර රූමටික උණක්. තුනට මිනිත්තු විස්සක් තියෙනකොට විලියම්ගේ අක්මාව දරුණු විදියට රිදෙන්න පටන් ගත්තා (විලියම් කිව්වේ නං මේක වෙන්න ම පුළුවන් දෙයක් කියල යි. මොකද විලියම්ගේ තාත්තටත් මේ වගේ ම අක්මාවේ වේදනාවක් තියෙන නිසා සමහර දවසට වැඩට යන්න බැරි වෙනවා).  කොහොම වුණත් අන්තිමේ දී තුනට කාලක් වෙද්දී හොඳින් ලෑස්ති වුණ විලියම් සාලෙට වෙලා බලාගෙන හිටියා.

"මට විශ්වාස යි ඔයාට අද හොඳට විනෝද වෙයි," බ්‍රවුන් මහත්මිය කිව්වේ විලියම් ව සැනසෙන කටහඬකින්. "මම හිතන්නේ ඔයාට අලුත් යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙයි."

ඇය කියපු කිසිම දෙයක් පැන්සෙකට මායිම් නොකරපු විලියම් කතා නැතු ව බලාගෙන හිටියා.

"ජම්බල්, මෙහෙ එනවා," විලියම් කතා කළා.

ජම්බල් ව එක්කගෙන ගියොත් අඩු තරමේ මේ තත්ත්වේ ටිකක් හරි හොඳ වෙයිනේ.

ප්‍රීතියෙන් කුල්මත් වුණ ජම්බල් කුස්සියේ ඉඳලා දුවගෙන ආවේ සාලයේ තිබුණ කළාලය මත මස් කටු විසිරුවමින්.

"විලියම්, ඔයාට රැස්වීමට යනකොට බල්ලා ව අරගෙන යන්න බැහැ."

"ඇයි බැරි?" විලියම් ඇහුවේ තරහින්. "මට හිතා ගන්න බැහැ ඇයි බල්ලෙක්ට යන්න බැරි කියලා.  බල්ලෝ බියර් බොනවා ද? නැහැනේ. ඉතින්, බල්ලෙක්ටත් අයිතියක් තියෙනවා මට වගේ ම මේ රැස්වීමට යන්න. කාටවත් ඒ ගැන මුකුත් කියන්න බැහැ."

"ඒ වුණත් මම හිතන්නේ නැහැ ඔයාට බල්ලෙක් ව අරගෙන යන්න අවසර ලැබෙයි කියලා. කවුරුත් රැස්වීමකට බල්ලෝ අරගෙන යන්නේ නැහැනේ."

එහෙම කියලා බ්‍රවුන් මහත්මිය දැඩි ව ජම්බල්ගේ කර පටියෙන් අල්ලා ගත්තා. ඒ නිසා තනියම රැස්වීමට යන්න හිතාගෙන විලියම් පාරට බැස්සා.

විලියම් හෙමින් ගේට්ටුව ළඟට ඇවිදගෙන ගියා. ඔහුගෙන් දිස් වුණේ අධෛර්යයට පත් වෙච්ච දුක්මුසු පෙනුමක්. ගේට්ටුව ළඟ දී ඔහු ටිකක් නතර වෙලා වටපිට බැලුවා. පොඩි පරතරයක් ඇතු ව ඈතින් එන තුන් දෙනෙක් ව ඔහු දැක්කා. ඒ හෙන්රි, ඩග්ලස් සහ ජින්ජර්!

විලියම් මුලින් ම කල්පනා කරේ ඔවුන් තුන් දෙනා ඔහු ව පහු කරගෙන යනකං ඉක්මනට කොහේ හරි හැංගෙන්න. ඒත් එතකොට ඔහු දැක්කා යාළුවෝ තුන් දෙනාගේ මුහුණුවල රැඳිලා තිබුණ අධෛර්යයට පත් වෙච්ච දුක්මුසු පෙනුම. ඒ නිසා ඔහු හෙන්රි ළඟට එනකං බලාගෙන හිටියා. ලැජ්ජා සහගත විදියට විලියම් දිහා බලපු හෙන්රි හැදුවේ ඔහු ව මග ඇරලා යන්න.

"ඔයත් යනව ද?" විලියම් ඇහුවා.

හෙන්රි ඔහු දිහා බැලුවේ පුදුමයෙන්.

"එයා ඔයාගේ අම්ම ව මුණ ගැහෙන්න ආව ද?" උත්තරයක් වෙනුවට ඔහු ප්‍රශ්නයක් ඇහුවා.

තමන්ගේ පිටි පස්සෙන් ආපු ජින්ජර් සහ ඩග්ලස් ව දැකල ඔහු පුදුමයට පත් වුණා. ඒ වගේ ම තමන්ගේ පිටි පස්සෙන් ආපු ඩග්ලස් ව දැකල ජින්ජර් පත් වුණේ හරි ම පුදුමයකට. අන්තිමේ දී යාළුවෝ හතර දෙනා නිශ්ශබ්ද ව ගමේ ප්‍රජා ශාලාව දිහාට යන්න පිටත් වුණා. ඒ වෙලාවේ තමයි ජින්ජර් උගුර පෑදුවේ.

"මගේ උගුර හොඳටම රිදෙනවා," ඔහු කිව්වා. "මට කොහෙවත් යන්න හොඳ නැහැ."

"මටත් සනීප නැහැ," හෙන්රි කිව්වා. "මම අම්මට කිව්වා."

"මටත් එහෙම යි," ඩග්ලස් කිව්වා.

"ඇයි මටත්," විලියම් කිව්වේ ගොරෝසු, සතුටක් නැති කටහඬකින්. "මට හිතා ගන්න බැහැ මම මෙච්චර ලෙඩ වෙලා ඉන්නකොට අපේ අම්ම කොහොම මා ව එළියට එව්ව ද කියලා."

ගමේ ප්‍රජා ශාලාවේ දොර ළඟ දී විලියම් මොහොතක් නතර වෙලා ආසාවෙන් ඈතින් පේන පිට්ටනිය දිහා බලාගෙන හිටියා.

"වැඩක් නැහැ," ජින්ජර් කිව්වේ දුකෙන්. "එයාල හොයා ගනීවි."

දුකෙන් ඒ වගේ ම කලකිරීමෙන් ඔවුන් ශාලාවට ඇතුළු වුණා.

෴  මතු සම්බන්ධ යි ෴

October 15, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (දෙවැනි දිග හැරුම)

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (පළමු දිග හැරුම) කියවන්න බැරි වුණ අය මේ අතුරු මංපෙත දිගේ ගිහින් එන්න . . .


බ්‍රවුන් මහත්මියගේ විසිත්ත කාමරයට ඇතුළු වෙනකොට ඇය දැක්කේ හරිම පිරිසිදු ඇඳුම් කට්ටලයක් ඇඳලා හොඳට කොණ්ඩේ පීරලා හිටිය පොඩි කොල්ලෙක් සැප පහසු විදියට පුටුවක වාඩි වෙලා පොතක් කියවන හැටි!

"හරිම අපූරු කොලු පැංචෙක්," බ්‍රවුන් මහත්මියට අතට අත දීලා ආචාර කරන ගමන් ඇය මිමිනුවා.

විලියම්ගේ මුහුණ එකවර ම අඳුරු වුණා.

දි වේරා කාටර් මහත්මිය ඔහු දිහාට හැරුනා.

"ඉතින්, පොඩ්ඩෝ, ඔයාට කොහොම ද?"

නමුත් ඇගේ පොඩ්ඩා ඇයට උත්තරයක් දුන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ දි වේරා කාටර් මහත්මිය ඔහුගේ බෙල්ල වටේ අතක් දා ගෙන තද විලවුන් සුවඳක් හමාගෙන ආපු ඇගේ පපුවට ඔහු ව තුරුල් කර ගත්තා. ඒ මොහොතේ ඇගේ බොත්තම් කාසේ රඳවලා තිබුණ රෝස මලේ නටුව විලියම්ගේ නහය ඇතුළට නොගියේ අනූ නවයෙන්.

"මම හරිම ආදරෙයි පුංචි ළමයින්ට!" ඇය හරිම ආදරණිය කටහඬකින් බ්‍රවුන් මහත්මියට කිව්වා.

ඒ වෙලාවේ විලියම් බොහොම අමාරුවෙන් ඇගේ පපුවට තද වෙලා තිබුණ ඔහුගේ මුහුණ නිදහස් කර ගත්තා. එතකොට තමයි විලියම්ගේ අතේ රැඳිලා තිබුණ පොත ඇය දැක්කේ.

"ස්කොට්!" ඇය කිව්වේ පුදුමයට පත් වෙලා. "කොච්චර හොඳ දරුවෙක් ද!"  

විලියම්ගේ මුහුණේ මතු වුණ බැල්ම දැකපු ඔහුගේ අම්මා ඉක්මනින් ම කතාව වෙනස් කළා.

"ඇවිත් මෙතනින් වාඩි වෙන්නකෝ," ඇය කිව්වේ කලබලයෙන් වගේ. "බලන්නකෝ, අද කාලගුණය කොච්චර හොඳ ද කියලා!"

ඒ වෙලාවේ විලියම් හෙමින් සැරේ විසිත්ත කාමරෙන් එළියට පැන්නා.

"ඔයා දන්නවනේ, මම හුඟක් උනන්දු යි සමාජ සේවා වැඩ ගැන," ගෙදරට ආපු අමුත්තිය එක දිගට කියාගෙන ගියා. "විශේෂයන් ම ළමයි වෙනුවෙන් කරන වැඩ සටහන් ගැන! මම හරිම ආදරෙයි ළමයින්ට. ඔයාගේ පුතා හරිම අපූරු දරුවෙක්. ඒ වගේ ම මම ළමයි එක්ක වැඩ කරන්න දක්ෂ යි. ඇත්තට ම මට හරිම ඉක්මනින් මිනිස්සුන්ගේ හිත් ඇද ගන්න පුළුවන්. ඔයා දන්නවනේ, හුඟක් අය කියනවා ඒ මගේ  පෞරුෂය නිසා කියලා. අනික ඔයා අහලා ඇති මම අලුතෙන් පිහිටවපු අපේක්ෂාවේ සංගමය ගැන. ඒක දැනට ම හුඟක් සාර්ථක යි! ඉතින්, මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. ඔයා මට උදව් කරනවා නේද? මම කැමති යි ඔයා මේකට සම්බන්ධ වෙනවා නම්. ඒ වගේ ම ඔයාගේ පුතාවත් එකට සම්බන්ධ කරනවා නම්. එතකොට එයාටත් ගමේ අනිත් ළමයි එක්ක හුඟක් විනෝද වෙන්න පුළුවන් වේවි!"

රැන්ඩල් පවුලේ කෙනෙක්ගෙන් මේ වගේ ආරාධනාවක් ලැබුණ එක ගැන බ්‍රවුන් මහත්මියට දැනුනේ ලොකු සතුටක්.

"උදාහරණයක් විදියට," ඇය දිගට ම කියාගෙන ගියා. "මම මෙහේ ආපු වෙලාවේ ඔයාගේ හුරුබුහුටි කොලු පැංචා සන්සුන් විදියට වාඩි වෙලා පොතක් කියවන හැටි දැක්ක ම මට හරිම සතුටක් දැනුනා," ඇය කිව්වේ විලියම් වාඩි වෙලා හිටිය පුටුව දිහාට අත දිගු කරන ගමන්. "මම මට ම කියා ගත්තා, 'අනේ, කොච්චර හොඳ ළමයෙක් ද! මෙයා අපේ සංගමේ අනිත් ළමයින්ටත් හොඳ ආදර්ශයක් වේවි!' කියලා. ඔයා එහෙම නම් එයා ව එවනවා නේද? අපි සතියට සැරයක් රැස්වීමක් තියනවා. බදාදා හවස් වරුවේ. එයා එයි නේද? මම එයා ව හොඳින් බලා ගන්නම්."

ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බ්‍රවූන් මහත්මිය ටිකක් පසුබට වුණා.

"හ්ම්ම්, හොඳයි," ඇය කිව්වේ සැකයෙන් වගේ. "ඒත් මම හිතන්නේ නැහැ ඔය වගේ දේකට විලියම් ගැළපෙනවා කියලා. කොහොම වුණත් . . ."

"අනේ, මට බැහැ කියන්න එපා," දි වේරා කාටර් මහත්මිය ආයාචනා කළේ දැවැන්ත මුදුවලින් සරසපු ඇගේ අතින් බ්‍රවුන් මහත්මියගේ අත අල්ලා ගන්න ගමන්. "මම දැනටමත් එයා ව දන්නවනේ. මට විශ්වාස යි එයා හොඳ ළමයෙක් කියලා. මට දැක්ක ගමන් ළමයින් ව අඳුර ගන්න පුළුවන්. මම ළමයි එක්කනේ නිතරම ඉන්නේ."   

කතාබහ ඉවර වෙලා දි වේරා කාටර් මහත්මිය, බ්‍රවුන් මහත්මිය එක්ක විසිත්ත කාමරයෙන් එළියට එනකොට විලියම් හිටියේ කොරිඩෝව දිගේ ඇවිදගෙන යමින්.

"ආ! මේ ඉන්නේ ඔයා!" ඇය කිව්වා. "මම හිතුවා මට ගුඩ්-බායි කියන්න ඔයා බලාගෙන ඇති කියලා. "

ඇය විලියම් ව වැළඳ ගන්න ඉදිරියට ආවත් ඔහු ඉක්මනින් ම අඩි කිහිපයක් පිටි පස්සට ගියේ කෝපයෙන් ඇය දිහා රවා බලමින්.

"ඔ_යා අ_ද ආපු එක ගැන මට හුඟක් සතුටු යි. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ," බ්‍රවුන් මහත්මිය කිව්වේ පුංචි ගොතයක් එක්ක. ඇය ඉක්මනින් ම විලියම් ව ආවරණය වෙන විදියට ඔහු ඉදිරියෙන් හිට ගත්තා. නමුත් විලියම්ගේ මුහුණේ තිබුණ නපුරු බැල්ම ගැන කිසිම හැඟීමක් නොතිබුණ දි වේරා කාටර් මහත්මිය ආයෙමත් විලියම් දිහාට ළං වුණා.

"ගුඩ්-බායි, විලී. මට හාදුවක් නොදී ඉන්න තරම් ඔයා වයසට ගිහින් නැ නේද?"

බ්‍රවුන් මහත්මිය තිගැස්සුනා.

ටික වෙලාවක් කෝපයෙන් රතු වුණ මුහුණෙන් දි වේරා කාටර් මහත්මිය දිහා බලාගෙන හිටිය විලියම් වචනයක්වත් කියන්නේ නැතු ව යන්න ගියේ බ්‍රවුන් මහත්මියගේ හිතට සහනයක් ලබා දෙමින්.

"අනේ, අනේ, පොඩි එකාට ලැජ්ජා හිතිලා!" ඇය කිව්වේ ආදරබර ස්වරයකින්. "මම ආදරෙයි මේ වගේ ලැජ්ජකාර පොඩ්ඩන්ට!"

දි වේරා කාටර් මහත්මිය ගියාට පස්සේ බ්‍රවුන් මහත්මිය මේ ගැන බ්‍රවුන් මහත්මයාට කිව්වා.

"හොඳයි," ඔහු හෙමින් කිව්වා. "මට හිතා ගන්න බැහැ විලියම් ඔය වගේ තැනකට ගිහින් කොහොම ඉඳීවි ද කියලා. හ්ම්ම්, එයා යනවට ඔයා කැමති නම් ඉතින් එයා ව යවන්න."

"ඔයාට තේරෙනවනේ," බ්‍රවුන් මහත්මිය කිව්වේ දුක්බර බැල්මක් මුහුණේ රඳවාගෙන. "එයා බල කරලා ම කිව්වා විලියම් ව එවන්න කියලා. අනික මම කොහොම ද එයාට බැහැ කියන්නේ. මම හිතනවා විලියම්ට බලපෑමක් කරන්න එයාට පුළුවන් වෙයි කියලා. රැන්ඩල් කෙනෙක් ව නොසලකා ඉන්න බැහැනේ."

"විලියම් එයාට කැමති ද?"

"අනේ මන්දා! හැබැයි, එයා නම් විලියම්ට හුඟක් කැමති යි!" ඇය කිව්වා. "ඔයා දන්නවනේ විලී කියලා කතා කරා ම විලියම්ට කොච්චර කේන්ති යනවා ද කියලා. මම දන්නේ නෑ ඇයි කියලා. හැබැයි, අද නම් එයා වෙනදා වගේ ලොකු කලබලයක් කරේ නැහැ."

෴ මතු සම්බන්ධ යි ෴

October 9, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (පළමු දිග හැරුම)


"විලියම්, ඔයා ආයෙමත් අර භයානක සෙල්ලම පටන් ගත්ත ද?" බ්‍රවුන් මහත්මිය ඇහුවේ බලාපොරොත්තු සුන් වුණ කටහඬකින්.

විලියම්, ඇය දිහා බැලුවේ අහිංසක බැල්මකින් මුහුණ හැඩ කරගෙන. ඔහුගේ මුහුණ සහ ඇඳුම් කට්ටලය පුරා ම කුණු තැවරිලා. ටයි පටිය බෙල්ල වටේ එතිලා. තුවාල වුණ දණිහිසෙන් ලේ ගලනවා.

"නෑ, අම්මේ. ඔයා එපා කියපු කිසිම දෙයක් මම නං කරේ නෑ. ඔයා මට කරන්න එපා කිව්වේ 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලමනේ. ඉතින්, ඔයා එපා කියපු වෙලාවේ ඉඳලා මම  'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම කරේ නෑ. කවුරු ඒක කරන්න කිව්වත් ඔයා එපා කිව්වොත් නං මම කරන්නේ නෑ. මම . . ."

බ්‍රවුන් මහත්මිය ඔහුට බාධා කළා.

"හොඳයි, එහෙම නං ඔයා කරපු සෙල්ලම මොකද්ද?" වෙහෙසට පත් වුණ හඬකින් ඇය ඇහුවා.

"මම කරේ 'කොටි සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම," විලියම් කිව්වා. "ඒක වෙනස් සෙල්ලමක්. 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී කට්ටියක් සිංහයෝ. ඉතුරු කට්ටිය හීලෑ කරන්නෝ. හීලෑ කරන්නෝ සිංහයන් ව හීලෑ කර ගන්න යි හදන්නේ. සිංහයෝ හදන්නේ හීලෑ වෙන්නේ නැතු ව ඉන්න. ඒක තමයි 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ'. ඒක මේ පොඩි සෙල්ලමක්නේ, අම්මේ."

"එතකොට 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී මොකද කරන්නෙ?" බ්‍රවුන් මහත්මිය ඇහුවේ කුතුහලයෙන්.

"මෙහෙම යි . . ." විලියම් කල්පනා කරන ගමන් කිව්වා.

"මෙහෙම යි," විලියම් ආයෙමත් කිව්වේ අහිංසක විදියට. "මේ 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී කට්ටියක් කොටි. අනිත් කට්ටිය ඉතින් මේ . . ."

"ඒ දෙක ම එක වගේනේ, විලියම්," බ්‍රවුන් මහත්මිය අලුත් උනන්දුවකින් කිව්වා.

"මට නං තේරෙන්නේ නෑ ඒ දෙක එක වගේ වෙන්නේ කොහොම ද කියලා," විලියම් කිව්වේ උත්සාහය අත් හරින්නේ නැති ස්වරයකින්. "ඔයාට සිංහයෙක්ට කොටියෙක් කියලා කියන්න බැහැනේ, පුළුවන් ද? උන් දෙන්නා එක් කෙනෙක් නෙමෙයිනේ, අම්මා. සත්තු වත්තේ වුණත් කූඩු දෙකකනේ ඉන්නේ. ඒ නිසා 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලම 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලමට වඩා හුඟක් වෙනස්."

"හොඳයි, එහෙම නං," බ්‍රවුන් මහත්මිය දැඩි කටහඬකින් කිව්වා. "ඔයා  'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලම කරන්නත් එපා. දැන් ගිහිල්ලා මූණ සෝද ගන්න." 

විලියම්ගේ මුහුණේ තිබුණ අහිංසක බැල්ම තවත් වැඩි වුණා.

"මගේ මූණ?" විලියම් ඇහුවේ පුදුමයට පත් වුණ හඬකින්. "මම අද දෙපාරක් ම මූණ හේදුවනේ. ඔයා කිව්වා වගේ ම උදේ නැගිට්ට ගමන් මම මූණ හේදුවා. ඒ වගේ ම දවල් කෑමට කලිනුත් හේදුවා."

"හ්ම්ම්, එහෙම නං කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නකෝ."

විලියම් හෙමින් කණ්ණාඩිය ළඟට ඇවිද ගෙන ගිහින් ඒ තුළින් පෙනෙන තමන්ගේ ඡායාව දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ සැහැල්ලුවෙන් වගේ අව පැහැ වෙච්ච මුහුණ අත් දෙකෙන් අතුල්ලන ගමන් ටයි පටිය කෙලින් කර ගත්තා.  කොණ්ඩෙත් අතින් හදා ගත්තට පස්සේ තමයි ඔහු බලාපොරොත්තු සහගත බැල්මක් අම්මා දිහාට යොමු කළේ.

"ඕක හරියන වැඩක් නෙමෙයි," ඇය කිව්වා. "ඔයා ගිහිල්ලා මූණ හොඳට හෝදලා කොණ්ඩේ හරියට පීරගෙන එන්න. ආ! ඒ වගේ ම අලුත් ඇඳුමක් ඇඳ ගත්තොත් හොඳයි. ඒ වගේ ම මේස් දෙකත් මාරු කරන්න ඕනේ. බලන්න, ඒවා දුවිලිවලින් වැහිලා!"


"මට හිතා ගන්න බෑ," විලියම් කිව්වේ මුහුණ ඇඹුල් කර ගන්න ගමන්. "මට හිතා ගන්න බෑ අනිත් ගෙවල්වල ඉන්න මිනිස්සුත් මේ වගේ දවස තිස්සේ මූණ හෝදන එක යි, කොණ්ඩේ පීරන එක යි කරනවා ද කියලා. එයාලට මෙහෙම කරදරයක් නැති එක ගැන මට සතුටු යි."

මිනිත්තු දහයකට පස්සේ බ්‍රවුන් මහත්මියට ඇහුනා විලියම් පහළට එන සද්දේ.

"විලියම්!" ඇය කතා කළා.

ඔහු කාමරේට ඇතුළු වුණේ සම්පුර්ණයෙන් ම වෙනස් කෙනෙක් විදියට. ඔහුගේ මුහුණ වගේ ම කෙස් කළඹත් ලස්සණට දිලිසෙනවා. ඒ වගේ ම ඇඳුම් කට්ටලයත් මාරු කරලා. මේ නිසා ඔහුගේ මුහුණ හැඩ වෙලා තිබුණ අහිංසක බැල්ම තවත් වැඩි වෙලා පෙනුනා.  

“මෙහෙම හොඳයි,” ඔහුගේ අම්මා කිව්වේ ප්‍රශංසා කරන ස්වරයකින්. “දැන් . . . විලියම්, තේ වෙලාව එනකං මෙතනින් වාඩි වෙලා ඉන්න. තව විනාඩි දහයක් වගේ තියෙන්නේ. ඒ නිසා එළිය‍ට යන්න එපා. එළියට ගියොත් ඔයා ආයෙමත් ඇඳුම් අවුල් කර ගන්නවා. ඒ නිසා එක තැනකට වෙලා ඉන්න එක හොඳයි.”

විලියම් බලාපොරොත්තු කඩ වුණ බැල්මකින් විසිත්ත කාමරේ දිහා බැලුවා.

"මෙතනට වෙලා ඉන්න?"

"හ්ම්ම්, තේ වෙලාව එනකං විතර යි, විලියම්."

"මෙතනට වෙලා මොනව ද මම කරන්නෙ? නිකං බලාගෙන ඉන්න කියල ද කියන්නෙ? මට නං බැහැ මුකුත් නොකර කාලේ නාස්ති කරන්න!"

"එහෙම නං පොතක් කියවන්න. මේ බලන්න, මෙතන ඔයා කියවපු නැති පොත් කොච්චර නං තියෙනවා ද? මට විශ්වාස යි, ඔයා මේවට කැමති වෙනවා කියලා. ඇයි ඔයා ස්කොට්ගේ පොතක් කියවලා බලන්නේ නැත්තෙ?" ඇය ඇහුවේ හිතේ සැකයක් තියාගෙන.

වේදනාබර බැල්මක් මුහුණේ රඳවා ගත්ත විලියම් කාමරේ හරහා ඇවිදගෙන ගිහින් අහඹු විදියට පොතක් අරගෙන පුටුවේ වාඩි වුණා. ඔහුගේ නොසැලකිලිමත්කම කොච්චර ද කියනවා නං පොත අල්ලගෙන හිටියෙත් උඩ යට මාරු කරලා!


මේ වෙලාවේ තමයි ගෙදරට ගොඩ වුණ දි වේරා කාටර් මහත්මිය, විලියම් ව දැක්කේ.

දි වේරා කාටර් මහත්මිය අලුතෙන් විලියම්ලගේ අසල්වැසි නිවසක පදිංචි වෙන්න ආපු කෙනෙක්. විවාහ වෙන්න කලින් ඇය හාර්ට්ෆඩ්ෂයර් හි රැන්ඩල් පරපුරට තමයි අයිති වුණේ. ඒ නිසා අඩු තරමේ ඇගේ හිනාවක් හරි ලබන්න හුඟක් අය ආසාවෙන් හිටියා.  

ඇය උස, ලස්සණ, හරිම සුහදශීලි, ඉතාම විශිෂ්ට විදියට අඳින පලඳින කෙනෙක්. ඒ නිසා ඇගේ පැමිණීම ගැන විලියම් ගෙදර උදවිය හිටියේ උද්‍යෝගයෙන්. ඒ වගේ ම හැමෝම පිළි ගත්තා ඇය ‘හරිම ප්‍රියමනාප’ කෙනෙක් බව!

෴  මතු සම්බන්ධ යි ෴

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...