November 20, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (සිව් වැනි දිග හැරුම)

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ පළමුදෙවැනි සහ තෙවැනි දිග හැරුම බලලා එන්න මේ ‍මංපෙත් ඔස්සේ පිය නගන්න . . .


ගමේ ප්‍රජා ශාලාව ඇතුළේ දුක්බර මුහුණුවලින් යුතු සාමාජිකයෝ අතළොස්සක් අසුන්ගෙන හිටියා. ඔවුන් රැස්වීමට එන්න පෙළඹුණේ වාර්ෂික ව ලැබෙන සංග්‍රහය නිසා යි.

ටික වෙලාවකින් ලොවිච්චි සහ සළු ගණනාවකින් සැරසුණු දි වේරා කාටර් මහත්මිය ශාලාවට ඇතුළු වුණේ සැර විලවුන් සුවඳක් විහිදුවමින්.

"ආදරණීය දරුවෙනි," ඇය කිව්වා. "අපේ පුංචි රැස්වීමට ඔයාල ව සාදරයෙන් පිළිගන්නවා. මේ ඉන්නේ," යාළුවෝ සිව් දෙනා දිහා දුක්බර විදියට බලාගෙන ඉන්න පැරණි සාමාජිකයෝ දිහා බලමින් ඇය දිගටම කියාගෙන ගියා. "මේ ඉන්නේ අපේ අලුත් යාළුවෝ හතර දෙනා. අපි එයාල ව සතුටින් තියන්න ඕනේ. එහෙම නේද, මගේ ආදරණීය දරුවෙනි?"

ඇය යාළුවෝ සිව් දෙනාට ඇය ඉදිරියෙන් ම අසුන් ගන්න ඉඩ සලසමින් දිගට ම කතා කළා.

"ඉතින්, මගේ දරුවෙනි, මට දැන් කියන්න මේ රැස්වීමට ඇවිත් ඔයාල හැසිරෙන්න ඕනේ කොහොම ද කියලා."

හරි ම නීරස විදියට ඒකාකාරී හඩින් දුන්න පිළිතුරක් තමයි ඇයට ලැබුණේ.

"විනීත ව ඒ වගේ ම ශාන්ත ව"

"මට නමක් තියෙන බව අමතක කරන්න එපා, දරුවනේ."

"විනීත ව ඒ වගේ ම ශාන්ත ව, දි වේරා කාටර් මැතිනියනි."

"බොහොම හොඳයි, මගේ දරුවනේ. විනීත ව ඒ වගේ ම ශාන්ත ව. දැන් අපේ අලුත් යාළුවෝ හතර දෙනා කියන්න බලන්න මේ රැස්වීමට ඇවිල්ලා ඔයාලා හැසිරෙන්න ඕනේ කොහොම ද කියලා."

ඇයට පිළිතුරක් ලැබුණේ නැහැ.

ඒ වෙනුවට යාළුවෝ හතර දෙනා බයෙන් ඒ වගේ ම ලැජ්ජාවෙන් ඉඳගෙන හිටියා.

"අනේ, ඔයාලා ලැජ්ජාවෙන් ඉන්නේ. එහෙම නේද?" විලියම් ව තුරුල් කර ගන්න උත්සාහ කරන ගමන් ඇය කිව්වා.

විලියම් ඉක්මනින් ම එතනින් ඉවත් වුණ නිසා ජින්ජර්ට සිදු වුණේ දැවැන්ත දියමන්ති හරිච්චියකට මුහුණ ඔබා ගන්න!

"අපිත් එක්ක ඉන්නකොට ඔය ලැජ්ජාව ඉක්මනින් ම නැති වෙයි. ඒ ගැන මට විශ්වාස යි. අපි මේ රැස්වීමේ ඉන්නේ හුඟක් සතුටින්. ඒ වගේ ම හොඳින්. දැන් කියන්න දරුවනේ, අපි රැස්වීමේ ඉන්නේ කොහොම ද කියලා."

අයෙමත් වතාවක් ඇයට ලැබුණේ හරි ම නීරස විදියට ඒකාකාරී හඩින් දුන්න පිළිතුරක්.

"හුඟක් සතුටින් ඒ වගේ ම හොඳින්, දි වේරා කාටර් මැතිනියනි."

"බොහොම හොඳයි. දැන් අපි මුල් පේළියේ ඉන්න යාළුවන්ගෙන් අහලා බලමු. විලී, වස්තුවේ, ඔයා පටන් ගන්න. අපි කොහොම ද මේ රැස්වීමේ ඉන්නෙ?"

ඒ වෙලාවේ විලියම්ට හිතුණා මැරෙන්න තිබුණා නං හොඳයි කියලා. ඔහු ඇස් කොනෙන් දැක්කා හෙන්රි කට ඇරගෙන බලන් ඉන්න හැටි. විලියම් උගුර පෑදුවට උත්තරයක් දුන්නේ නැහැ.

"එහෙම නං ඔයා කියන්නකෝ, හැරී වස්තුවේ."

හෙන්රිගේ මුහුණ දම් පාට වෙනවා දැකපු විලියම්ගේ හිතට සතුටක් දැනුණා.

"ආ! මේ යාළුවෝ හතර දෙනා ලබන සතියේ නං මෙහෙම ලැජ්ජා වෙන එකක් නැහැ. එහෙම නේද, මගේ දරුවෙනි?"

"නැහැ, දි වේරා කාටර් මැතිනියනි," පුරුදු විදියට ම ජීවයක් නැති පිළිතුරක් මතු වුණා.

"එහෙම නං දැන් අපි සින්දුවක් කියලා ඉමු. ඔයාලගේ පොත් ගන්නකෝ," ඇය කිව්වේ පියානෝව ඉදිරියෙන් අසුන් ගන්න ගමන්. "පස්වෙනි සින්දුව, 'දිලිසෙන දිය' හදවතින් ම සින්දුව කියන්න, දරුවනේ. ඔයාලා ලෑස්ති ද?"

ඇය පියානෝව වාදනය කරන්න පටන් ගත්තා.

යාළුවෝ හතර දෙනා ළඟ පොත් තිබුණත් ඔවුන් සින්දු කියන්න එකතු වුණේ නැහැ. වතුර ගැන හිතේ අකැමැත්තක් තිබුණේ නැති වුණත් සින්දු කියන එක ඔවුන් තදින් ම පිළිකුල් කළ දෙයක්.

සින්දු කියලා ඉවර වුණාට පස්සේ දි වේරා කාටර් මහත්මිය තමන්ගේ අසුනෙන් නැගිට්ටා.

"දැන් අපි සෙල්ලම් කරමු, මගේ දරුවනේ. ඔයාලා සෙල්ලමක් පටන් ගන්නකෝ. එහෙම හොඳයි නේද, වස්තුවේ? ඒ අතරේ මම ගිහින් බලලා එන්නම් ටෙඩී වීලර් අද රැස්වීමට ආවේ නැත්තේ ඇයි කියලා.ඉතින්, මම එනකම් ඔයාලා මොන සෙල්ලම ද කරන්නෙ? ගිය සතියේ අපි 'කොනේ ඉන්න පූසා' සෙල්ලම කරානේ. ඒ නිසා මේ සතියේ අපි 'මල්බෙරි ගහ වටේ යමු' සෙල්ලම කරමු. එහෙම හොඳයි නේද? 'අන්ධ මිනිසාගේ හමුදා ඇඳුම' සෙල්ලම කරන්න එපා, දරුවනේ. ඒක භයානක සෙල්ලමක්. දැන් මම ගියා ම මේ අලුත් යාළුවන්වත් සෙල්ලමට එකතු කර ගන්න, හොඳ ද? දැන් මට ආයෙත් සැරයක් කියන්න අපි රැස්වීමට ඇවිත් ඉන්න ඕනේ කොහොම ද කියලා."

"විනීත ව ඒ වගේ ම ශාන්ත ව. හුඟක් සතුටින් ඒ වගේ ම හොඳින්, දි වේරා කාටර් මැතිනියනි," සුපුරුදු පිළිතුර ගලාගෙන ආවා.

පැය කාලකට පස්සේ ඇය ආපහු එනකොට ළමයි බොහොම උද්‍යෝගයෙන් සෙල්ලම් කරමින් හිටියා. හැබැයි ඒ 'මල්බෙරි ගහ වටේ යමු' සෙල්ලම නම් නෙමෙයි.  ගමේ ප්‍රජා ශාලාව ළමයින්ගේ බෙරිහන් දීම් සහ දැඟලීම්වලින් පිරිලා. බංකු බිම පෙරළිලා. ඒ වගේ ම පුටු කිහිපයක් කැඩිලා. මොර දීම් සහ ඔල්වරසන් හඬ මැද්දේ හීලෑ කරන්නෝ උත්සාහ කරේ සත්තුන් ව හීලෑ කර ගන්න. ඒත් ගොරවමින් සහ හපාකමින් සත්තු උත්සාහ කරේ හීලෑ නොවී ඉන්න යි! මේ වෙනකොට කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ තිබිච්ච් උදාසීන ගතිය නැත්තට ම නැති වෙලා. තීරු තීරුවලට ඉරිලා ගිය ටයි පටියකින් සහ කබායකින් සැරසිලා හිටපු විලියම් කටයුතු කරේ හීලෑ කරන්නෙක් විදියට. ඔහුගේ ඔළුව තුවාල වෙලා. ඒ වගේ ම කටහඬ බැරැන්ඩි වෙලා.

"ඒයි, මෙහාට එනවා!"

"මට එකෙක් ව අහු වුණා."

"ග්ර්-ර්-ර්-ර්!"

"ඕක ව අල්ලා ගන්න, ගහන්න, මරලා දාන්න!"

සත්තු බොහොම සැරපරුෂ විදියට ගර්ජනා කරේ ඇඟේ ලේ වතුර වෙන තරම් භයානක විදියට.

ඒ අතරේ දි වේරා කාටර් මහත්මිය ළමයින්ගේ අවධානය දිනා ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා.

නමුත් 'විනීත ව ඒ වගේ ම ශාන්ත ව, හුඟක් සතුටින් ඒ වගේ ම හොඳින්' හැසිරෙන්න පොරොන්දු වුණ ළමයින් ඇය ව ගණන් ගත්තේ නැහැ. ඔවුන්ගේ සම්පුර්ණ අවධානය යොමු වෙලා තිබුණේ සෙල්ලමට.

ඒ  වෙලාවේ කවුරු හරි දොරටුවෙන් පිට වෙලා පිට්ටනිය දිහාට දුවගෙන ගියා. ඒ නිසා අන්තිමේ දී යුද්ධය ඉවර වුණේ පිට්ටනියේ දී. සෙල්ලම අවසන් වුණාට පස්සේ කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය විසිරිලා ගියේ අකැමැත්තෙන්. තුවාල වෙලා, සීරිලා හිටියත් ඒ හැම දෙනා ම හිටියේ උතුරා යන තරම් සතුටෙන්.

බ්‍රවුන් මහත්මිය විලියම් ගෙදර එනකං බලාගෙන හිටියේ හරි ම නොඉවසිල්ලෙන්.

ඔහු ව දැකපු වෙලාවේ ඇය අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ළඟ ම තිබුණ පුටුවෙන් වාඩි වුණා.

"විලියම්!"

"මම," විලියම් ඉක්මනින් කිව්වේ ඇය දිහා බලන ගමන්. "ඔයා එපා කියපු කිසිම සෙල්ලමක් කරේ නෑ, අම්මා."

"එහෙම නං ඔයා මොන සෙල්ලම ද කරේ?"

"හ්ම්ම්, මම රැස්වීමේ දී කරේ 'කිඹුල්ලු සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම!"

෴  නිමි 

37 comments:

  1. හේ හේ කියලා වැඩක් නැහැ විලියම් ගැන නම්,සම්පුර්ණ කතාවම ලස්සනයි ධාරා..හොදට පරිවර්තනය කරලා තියෙනවා කතාවම.තවත් අලුත් දෙයකින් පටන් ගමු එහෙනම් ධාරා ආච්චි අම්මේ :D

    ReplyDelete
    Replies
    1. ළහිරු සීයාට බොහෝම ස්තූතියි. ඊළඟට දාන්නේ මොකද්ද කියලා දන්නේ නෑ වගේ බොරු අනාවැකි කියනවා මෙයි :P

      Delete
  2. ලස්සණ යි ධාරා. ආයෙත් පොඩි කාලෙට ගියා වගේ. මේ දෙබස්වල දී අකුරු ලොකු කරන එක මමත් ඉගෙන ගත්තෙ ඔයා ගෙන්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, දිලිනියෝ. මම ඒක මුලින් ම කරේ කම්මැලිකමට. පාට වෙනස් කරන්න කම්මැලි නිසා අකුරු ලොකු කරා. මට නං හිතෙන්නේ පාට වෙනස් කරනවට වඩා ඒක හොඳයි කියලා.

      Delete
  3. මට මතකයි අපි තුන වසරෙදි ඕම සිද්දියක්.. ඔය කියනව වගේ විනීත ව ඒ වගේ ම ශාන්ත ව ඉන්න කියල ටිච එලියට ගියා. කෝම හරි ටීච එනකොට කෙල්ලො ඔක්කොම ඉදගෙන කොල්ලො ටික ඔක්කොම ඩෙස් උඩට නැඟගෙන කොල බොල ගහගන්නවා හු කියනවා කෑ හගනව එක විකාරයයි.. ඒත් ටිච කාටර් වගේ බලාන ඉදියෙ නම් නෑ.. ඩුන්නා පස්ස පැට්ටට ඩුන් විසික්ක වෙන්ඩ හැමෝටම :D

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ උඹලට. ඔහොම වෙලා මදි!

      Delete
  4. හැක හැක මදැයි විනීතව ශාන්තව හිටියා , මට මතක් වුනේ අර අන්දරේට මගුල් ගෙදර ගිහින් ගොනාවගේ හිටපං කියලා කියපු කතාව.

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ :) පොඩ්ඩෝ හැම වෙලේ ම කරන්න කියන දේ ප්‍රතිවිරුද්ධ දේ කරන උදවියනේ, ඉවාන් අයියේ.

      ඒක නෙමෙයි, මොකද මේ දවස්වල ලියන්න හොර වෙලා? කියමු බලන්න දැන් නිදහසට කාරණා!

      Delete
    2. ඔව් බන් කාලෙකින් ලිව්වේ නෑ, දැන් නිකං පොඩි කම්මැලි කමක් ගහලා තියෙන්නේ

      Delete
    3. එහෙම කියලා හරි යන්නේ නැහැ. බෙල්ල ගහලා යන්න කලින් ඉක්මනින් ම කතාවක් දැම්මොත් තමයි ඇඟට ගුණ! ඔන්න නොකිව්ව යි කියන්න එපා.

      Delete
  5. ලස්සන කතාව...
    ඒක නෙමේ මට ප්‍රශ්නයක් තියෙනවා... ඇයි ගොඩක් ඈයෝ ලස්සන කතාවක් ලියන්න ඉංග්‍රීසි පසුබිමක්ම යොදාගන්නේ ? මේ කතාවෙත් තියෙන්නේ ඉංගිසී පසුබිමක්. නම් ගම් හිටන් ඉංග්‍රීසි !
    ඒකට විශේෂ හේතුවක් තියේ ද ?
    දිනේශ් මල්ලිගේ ගොඩක් කතා වලත් මම මේ වෙනසම දකිනවා....

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ මධුරංග අයියා පොඩ්ඩක් පටලවගෙන වගේ. මේක මම ලියපු කතාවක් නෙමෙයි. ඉංග්‍රීසි කතාවක සිංහල පරිවර්තනය :) මේ ගැන හැඳින්වීමක් මම මුලින් ම කියලා ඇති පෝස්ටුවක් හරහා.
      http://sondurumanpetha.blogspot.com/2013/08/blog-post.html

      දිනේෂ් අයියා ගැන කියනවා නං එයාගේ එරිකෝ හන්ටර් රහස් පරීක්ෂක කතා පෙළට ලංකාවේ පසුබිම ගැළපෙන්නේ නැහැ. මොකද එංගලන්තේ එහෙම නැත්තං ඇමෙරිකාවේ වගේ දියුණු තාක්ෂණය භාවිතා කරන රහස් පොලිසියක් අපිට නැහැනේ. අනිත් එක අපේ රටවල්වල සංවිධානාත්මක ව අපරාධ සිද්ධ වෙනවා හුඟක් අඩු යි. ඒ නිසා වෙන්න ඕනේ දිනේෂ් අයියා ඒ වගේ පසුබිමක් යොදා ගන්නේ :)

      Delete
    2. එයාට කිවුවට වැඩක් නෑ. මධු අයියේ. හැබැයි එයාගේ කතා වල අපි අපිටත් නොදැනි අපි නොදන්න නොදැක්ක පරිසරයකට හරි අපුරැවට ඇදිලා යනවා. ^_^

      Delete
    3. මේ කතාව පරිවර්ථනයක් කියලා මම දැනුයි දැනගත්තේ. එත් ලස්සනයි. මම මාරම කැමති මේ වගේ කතා වලට. ඉස්සර පිප්පි , දඟමල්ල, පන්පසිඳුවන් කියෙවුවෙත් පුදුම අසාවකින් ^_^

      Delete
    4. ඉස්සර විතරක් නෙමෙයි මම දැනුත් ආසයි ඒ ‍වගේ පොත් කියවන්න. තව මම ආස ම කරන්නේ සිබිල් වෙත්තසිංහගේ පොත්වලට.

      Delete
    5. මම ඉතින් දැන් වැඩි හරියක් ඉන්නේ මුහුවෙන්නේ සුද්දෝ එක්ක හන්දා මට දැන් ලේසියෙන්ම මේ පරිසරයට යන්න පුළුවන්.. අනික ඒකත් මේ පෝස්ට් 50ක වගේ අතීතයේ ඉදන්.. ධාරා කිවුවා හරි, එරිකෝටනම් කොහෙත්ම ලංකාව ගැලපෙන්නේ නෑ..

      Delete
    6. කොහොම ද ටිකිරි මොළේ :D දාන්නේ නැද්ද ළඟ දී එරිකෝ හන්ටර් කතාවක්?

      Delete
  6. අක්කා කිව්වා හරි තමා. සිංහල පරිවර්තනයේ අඩු පාඩු තියනවා කියලා දැන් තේරුනේ. දෙකම එක ළඟ කියවද්දී තමයි ඒ වෙනස තේරෙන්නේ. මේක වගේ ගලාගෙන යන්නේ නෑ පොත

    ReplyDelete
    Replies
    1. හෆොයි! මෙන්න මෙයා මාව වයසට යවලා :( තාම දහනවය යි වයස. මේ අවුරුද්දේ උසස් පෙළ කරේ. කොහොම වුණත් කමක් නෑ ඔන්න මම නං ‍ඉංග්‍රීසි පොතේ තිබුණ ඔක්කොම‍ කොටස් සිංහල නැගුවා!

      Delete
    2. ඇත්තටම ද මම හිතුවේ වයසක ආච්චි කෙනෙක් කියලා. මාරම සොරි හොදේ

      Delete
    3. ඕක මොකද්ද කොලුවෝ? කාට කාටත් වැරදීම් වෙනවනේ :)

      Delete
  7. අදමයි ආවේ ධාරා මේ පැත්තේ ,, ඔයා දක්ෂ කතා කාරියක් ,, දිගටම එන්නම් හොදේ

    ReplyDelete
    Replies
    1. අපූර්වී අක්ක ව සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. ඇගයුමට ස්තූතියි හැබැයි මේක මම ලියපු කතාවක් නෙමෙයි. සිංහලට පරිවර්තනය කරේ මම!

      Delete
    2. මේ බටු ඇට අපු ටත් අක්කා කියන කෙනෙකුට ද මම අක්කා කිව්වේ. අයියෝ...

      Delete
    3. පපුවේ අමාරුව වගේ ද?

      Delete
  8. ලස්සනයි නංගි! ඒත් ඉංග්‍රීසි පොත නොකියවා පරිවර්තනය සාර්ථකද අසාර්ථකද කියන්න බෑ. ඒත් ඔයාගේ කථාවක් විඳිහට ගත්තොත් ඉදිරිපත් කරලා තියෙන ආකාරයට මම කැමතියි. දැන් ඔයාගෙම කථාවක් ලියන්න.අපි හැමදාම එනවා ඒවා කියවන්න. නංගිට ජයෙන් ජය පතනවා......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, සඳුන් අයියේ. මේ දවස්වල මගේ ම කතාවක් ලියමින් ඉන්නේ. ඉක්මනින් ම දාන්නංකෝ.

      Delete
  9. පරිවර්ථනය හුගක් අපූරුයි ධාරා.. කල් නොගෙන එක ලගම වගේ ලිවුවනම් තමයි හැබැයි වැඩියම හොද.. මොකද පහුවෙද්දී කට්ටියට අමතක වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, දිනේෂ් අයියේ. මීට පස්සේ පුළුවන් තරම් උත්සාහ කරන්නං කල් නොගෙන දවස් තුන හතරක පරතරයක් එක්ක දාන්න. කල් අර ගත්ත එකට සොරි හො‍ඳේ.

      Delete
  10. කිඹුල්ලු සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම ;) :) ;)

    අපූරු කොලු ගැටයෙක්ගේ කතාවක්නේ... :D

    ReplyDelete
    Replies
    1. මමත් මේ පොඩි කොල්ලාගේ කතා කියවන්න ආස යි, අසෙනි. බොහෝම ස්තූතියි, මෙහාට ආවට. දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
  11. පරිවර්තනය නම් නියමයි... අපිත් විනීතව ඒ වගේ ම ශාන්ත ව ඉමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සිතූ අක්කේ. ඔව්, අපිත් විනීත ව ඒ වගේ ම ශාන්ත ව බ්ලොග් ලියමු.

      Delete
  12. අර දිනේශ් අයියා කියනවා වගේ කල් නොගෙන ලියන්න ධාරා..
    හරිම ලස්සනයි...සහ කහාවත් හරිම තාත්විකයි..
    ස්තුතියි අපි වෙනුවෙන් පරිවර්ථනය කලාට

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, රෙහානි අක්කේ. මීට පස්සේ වැඩිහිටි උපදෙස් පරිදි ඉක්මනින් ම ලියන්නංකෝ.

      Delete
  13. අඩෙ අෆ්ෆා අන්තිම කොටස දැනුයි කියෙවුවේ.
    කතාව ලස්සනට සිංහලට හරවලා තියෙනවා ධාරා. මේ වගේ තව කතා සිංහලට පරිවර්තනය කරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. කියවලා රස වින්දා නං මගේ හිතට සතුටු යි. මගේ කතා අස්සේ පරිවර්තනයකුත් දාන්නංකෝ ඉඳලා හිටලා.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...