April 10, 2013

සුදු මල් වැල


හැමදාම උදේ පාන්දරින් ම මම නැගිටින කොට සුදු මල් වැල බාගෙට පිපුණ මල් සිය ගණනකින් වැහිලා තියෙන්නේ. ඒක බලන්න ආස හිතෙන දෙයක්. මම පාඩම් කරන එක පැත්තකින් තියලා ටික වෙලාවක් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒක ඒ තරම් ම ලස්සණ යි. හිත ඇදිලා යන ගතියක් තියෙනවා. හරියට ම පිපිලා නැති වුණත් ඒ බාගෙට පිපුණ මල් දිහා බලාගෙන ඉන්න එක හිතට සතුටක්. කොහොම වුණත් දවස තිස්සේ මල් දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? හරියට පාඩම් නොකළොත් විභාගෙට ලියන්න වෙන්නේ මල් ගැන තමයි. එක අතකට හරි පුදුම යි කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්දේ මෙච්චර ලස්සණ මල් පිපෙන එක! ඒ වුණත් කොන්ක්‍රීට් වනාන්තරවල ඉන්න මිනිස්සුත් එක්ක ඉර තරහින් ද කොහෙද ඉන්නේ . . . නැත්තං මේ තරම් රස්නයක් මොකද කියලා මට හිතා ගන්න බැහැ. එක අතකට මිනිස්සු‍න්ගේ වැරදි ම තමයි මේවා. තියෙන තරමක් රූස්ස ගස් කපා දාලා කාන්තාර මැද්දේ අහස සූරන ගොඩනැගිලි හදනවා. ඊට පස්සේ කොහෙන් හරි පඳුරු දෙක තුනක් ගෙනල්ලා ලො‍්කෙට පේන්න හිටවනවා. ඒ පඳුරුවල මොන ලස්සණක් ද?

අපේ පොඩිත්තං මිදුල මැද්දේ තියෙන කොහොඹ ගහේ එතිලා ‍උස් මහත් වෙච්ච මේ සුදු මල් වැලේ නම නං මම ඇත්තට ම දන්නේ නැහැ. කොච්චර හොයලා බැලුවත් තාමත් දැන ගන්න බැරි වුණා. හැමදාමත් සුදෝ සුදු මල් පිරිච්ච ඒ මල් වැලට මම හුඟක් ආස යි. උදේ පාන්දරින් නැගිටලා බලද්දි කලින් දවසේ පිපුණ මල් පරවෙලා බිම විසිරිලා තියෙනවා දකින්න පුළුවන්. ඒ වෙනුවට අලුතෙන් මල් පිපිලා. චූටි බට්ටිච්චන්ගේ කචකචේ ඒ මල් පොකුරු අතරින් ඇහෙනවා. උන්ටත් කතාබහ කරන්න කොච්චර දේවල් ඇත් ද? ඉර පායගෙන එනකොට තමයි ලේන්නු නැගිටින්නේ. පොල් අතු අස්සේ හැංගිලා තියෙන ‍තම තමන්ගේ හනසු හෙවිල්ලපු ගෙවල්වලින් එළියට ඇවිල්ලා කොහොඹ අත්ත දිගේ දුවගෙන ඇවිත් අඹ ගහේ ගැට ගහලා තියෙන කෑම වට්ටියෙන් උදේ කෑම කාල ම තමයි උන් වැඩ පටන් ගන්නේ. ඒ වෙනකොට බාගෙට පිපිච්ච සුදු මල් පොහොට්ටු හොඳට ම පිපිලා මුදුන් වෙන ඉර දිහා බලාගෙන ඉන්නවා. සියුමැලි මලක් කොහොම මේ තරම් රස්නයක් දරන්න ද? ඒ නිසා අම්මා හැමදාම හෝස් එකෙන් මල් වගාවට වතුර දානවා. ඊට පස්සේ බලන්න ඕනේ මල්වල ලස්සණ! අව්වට දිලිසෙන පිනි බිඳුවලින් හැඩ වෙලා සමනලුන්ට මුකුළු කරනවා.

මම පාඩම් කරලා ඉවර වෙලා හවස බුදු පහන තියන්න යනකොට උදේ පිපුණ මල් බලාගෙන ඉන්නේ අද බුදු හාමුදුරුවන්ගේ සිරිපතුල ළඟ නතර වෙන වාසනාවන්තයා කවුද කියලා! බුදු පහන තියන කොට තනි සුදු මල් වට්ටය දිහා බුදු හාමුදුරුවෝ ශාන්ත විදියට බලාගෙන ඉන්නවා. හුළඟට හෙලවෙන පහන් දැල්ල මල් පෙති උඩට වැටිලා රටා මවද්දි බලන්න ලස්සණ යි. හෙමින් හෙමින් දවස ගතවෙලා හඳ පායන කොට තමයි සුදු මල් වැල නිදා ගන්න ලෑස්ති වෙන්නේ. තව අලුත් දවසක් වෙනුවෙන් පුංචි මල් පොහොට්ටු කොහොඹ කොළ අතරේ හැංගිලා තියෙද්දි පර වෙච්ච මල් හුළඟට බිමට වැටෙනවා. අපේ ජීවිතත් ඒ වගේ සරල ව විඳිනවා නං . . . මේ ලෝකේ මීට වඩා මොන තරම් ලස්සණ වෙයි ද?

25 comments:

  1. හිත සන්සුන් කරගන්න, හිතට දැනෙන විවේකයක් ලබන්න නම් ගස් වැල් තියෙන තැනක් වෙන්නම ඕනෑ. ලෝකෙ දියුණු වුනා කියල ගස් වැල් අමතක කරල දාන්න හොඳ නෑ. අපූරු සංවේදීවීමක්. හොඳට පාඩම් කරන්න!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! මිනිස්සු ගාව නැති ලෙංගතුකමක් සොබාදහමේ තියෙනවා. ගස් වැල් අමතක කරපු ලෝකෙට දැන් දැන් වෙන දේවල් අපිටත් පේනවනේ. පාඩම් නං කරනවා. උදේට කෑම කන්න වැඩ නතර කර වෙලාවේ තමයි මේ බ්ලොග් එක දිහාට ඇවිත් යන්න ආවේ, :)

      Delete
  2. සංකීර්ණ වෙන්න වෙන්න ජීවිතේ කැත වෙනවා.මෙහෙම නිස්කංලකව ජීවිතේ විදින්න පුළුවන්කම හැමෝටම තියෙනව නම් ලෝකෙ ගොඩාක් ලස්සන තැනක් වේවි.ගිමන් අය්යා කීවා වගේ හොදට පාඩම් කරන්ඩ!!

    ReplyDelete
    Replies
    1. මට කිව්වා වගේ ම ඔයත් පාඩම් කරොත් තමයි හොඳ :) විභාගේ 2015 වුණත් දැන් ඉඳලා පාඩම් කරනවා නං කිරි කජු වගේ වෙයි, හොඳ ද නංගියෝ?

      Delete
  3. අපේ ගෙදර මල් නෑනේ :( ලේන්නු, කුරුල්ලො නම් ඕන තරම් එනව කෑම ලෑල්ලට :)

    මල්වල පාටට සුවඳට රැවටෙන්න එපා... බාඳුරා මලත් ලස්සනයි තමයි ..........................

    ලෝකයේ හැම දෙයක්ම අවස්ථාවාදියි හා ආත්මාර්ථකාමීයි... සොබාදහමත් ඇතුළත්ව... මල් ලස්සන වෙන්නෙ අපේ ඇහැ පිනවන්නවත්, සුවඳ හමන්නෙ අපි පිනවන්නවත් නෙවෙයි.... එයාලට පරාගණයට... ඒත් අපි හිතන්නෙ මේ සියල්ල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මිත්‍යාවෙ........

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ ඇත්ත තමයි, යසිත් අයියේ. ඒත් ඔය තරම් බැරෑරුම් විදියට හිතන්න එපා. අපි දන්නවා නං බේරිලා ඉන්න බඳුරා මලත් ලස්සණ යි තමයි! දුර ඉඳලා ලස්සණ බලන්න යි තියෙන්නේ, තණ්හාවට ඒ දේවල් අයිති කර ගන්න ගියොත් තමයි බැඳීම් වැඩි වෙලා අවසානය දුකක් වෙන්නේ, :) හ්ම්ම්, ඔයාලගේ ගෙදර මල් නැති එකට නං කියන්නේ තියෙන්නේ, ඉක්මනට මලක් වගේ කෙල්ලෙක්වත් ගෙනල්ලා තියා ගන්න කියලා තමයි! :P

      Delete
    2. මලක් නම් ඉන්නවා.. අම්ම බනීවි දැම්ම ගෙනාවොත් :P

      Delete
    3. යසිත් අයියා චණ්ඩියා වගේ හිටියට අම්මට බය යි නේද?

      Delete
  4. සංකීර්ණ ජිවිතෙන් ඈත් වෙන්න පුළුවන් තරමටම හොදයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! එතකොට ජීවිතේ විඳවන්නේ නැතු ව විඳින්න පුළුවන්.

      Delete
  5. කොහොඹ ගහේ සමන් වැල එතුණම තමා හොඳ නේද? ලස්සනයි නගේ... මමත් ඔන්න පටන් ගත්තා ධාරගේ පස්සෙන් එළවන්න....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි! අනූ අක්ක ව සාදරයෙන් පිළි ගන්නවා. කොහොඹ ගහේ හෙවණ යටට වෙලා මල් සුවඳ විඳිනකොට :) පුළුවන්කමක් තියෙනවා නං අක්කත් උත්සාහ කරලා බලන්නකෝ,

      Delete
  6. මේ ගැටපිච්ච නෙවෙයිද? පෙනෙන විදියට නම් ඒවගේ තමයි! ගොඩක් සුවඳයි නේද?
    …ඒ වුනත් හැම ලස්සන සුවඳ දේ ම සුන්දර නෑ.... ඒකයි යථාර්තය. පොළවේ පය ගහලා ඉන්නව අයට තමයි සොබාදහම විඳින්න පුළුවනි. ඒක විඳින එකත් කලාවක්. සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී !

    ReplyDelete
    Replies
    1. මේක අන්තර්ජාලයෙන් බාගත්ත පින්තූරයක්නේ, ළහිරු අයියේ. ගෙදර තියෙන්නේ ගැට පිච්ච මල් වැලක් නං නෙමෙයි. ටිකක් පිව්ව වගේ හැබැයි ලොකු යි. බොහෝම ස්තූතයි, ළහිරු අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  7. ලහිරු කිව්වා වගේ පින්තුරේ තියෙන්නේ නම් ගැටපිච්ච තමා. ඒවයෙත් පුදුම සුවඳක් නේ තියෙන්නේ. ඔය වගේම තව ලස්සන මල් ජාතියක් තමා ඉද්ද. හරියට තරු පෑව්වා වගේ ඒවා පිපුනම. ඔයාගේ මල් වැලේ පින්තුරෙකුත් දැම්මනම් ලස්සනයි නේ...

    ReplyDelete
    Replies
    1. කැමරාව තිබුණා නං අනිවාර්යයෙන් ම පින්තූරයක් දානවා. ඒත් ඉතින් මගෙයි, නංගිගෙයි අත්හදා බැලීම්වලට පින් සිද්ද වෙන්න එයා පරලෝකෙට ගිහි‍න්නේ. ඒ නිසා පියතුමා ඒ ගැන කතා කිරීම සපුරා තහනම් කරලා තියෙන්නේ. බලමුකෝ ලබන මාසෙවත් මොනවා හරි කර ගන්න. බොහෝම ස්තූතියි, සයුරි අක්කේ මේ පැත්තට ආවට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  8. හොඳ ඇහැක් තියෙනව නං ඉන්නේ කොහෙද කියන එක , වට පිටාව විදින්න ගැටලුවක් නෙවෙයි , හොඳට බැලුවොත් කොළඹ හරි හැඩයි ......... මගේ බ්ලොග් එකේ මුල් ක‍ලේ ලියපු ලිපි බලන්න කෝ !!!!!!!!!!
    ලස්සන සාපේක්ශ නෑ ......... බලන විදිහ අනුවයි ලස්සන වෙනස් වෙන්නේ !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, අනේ මන්දා! මට නං කොහෝ ගියත් ඉන්න පුළුවන් කාන්තාරෙක ඇර. හ්ම්ම්, බලන විදිය අනුව සාපේක්ෂ නැහැ කියන්න බැහැනේ. අපි ලස්සණ යි කියලා කියන්නේ තව දෙයක් එකක් සසඳලනේ. සසඳන්න දෙයක් නැති නං අපිට කියන්න බැහැනේ ලස්සණ යි කියලා.

      Delete
  9. ධාරාට හොඳ ඇහැක් තියෙනවා..ඒ ඇස දෙකට පෙනුන ලස්සන දේවල් අපිටත් හිතේ මවාගන්න සැලසුවට ස්තුතියි..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා! ලස්සණ දේවල් තනියම රස විඳිනවට වඩා බෙදා ගත්ත ම සතු‍ට වැඩිනේ.

      Delete
  10. අහ්හ් මේ දාලා තියෙන්නේ සැබෑ පින්තුරයක්...විස්තරේ වගේ ම ලස්සනයි මල් ටිකත්

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත පින්තූරයක් නෙමෙයි, ළමයෝ. ගෙදර තියෙන්නේ පිච්ච වැලක් නෙමෙයි. ඉන්නකෝ මම ඉක්මනින් ම හැබෑ පින්තූරයක් දාන්න. එතකොට පුළුවන් නං කියන්නකෝ මල් වැල මොකද්ද කියලා!

      Delete
  11. මෙ මල් වල නම මොකද්ද? ගැට පිච්ච්චද?

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ තියෙන්නෙ නං ගැට පිච්ච තමයි! ඒත් අපි කතා කරන්නෙ වෙන මල් වැලක් ගැන යි :)

      http://sondurumanpetha.blogspot.com/2013/11/blog-post_21.html

      Delete
  12. I think this is a madagaskar jasmine plant..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...