November 25, 2013

සොබාදම් රුවැත්තිය


කාලෙකට කලින් මගේ අතින් අකුරට නැගුණු සුදු මල් වැල පෝස්ටුවේ කතා නායිකාව මේ දිනවල මලින් බර වෙලා. ඉතින්, හුඟක් අයගේ ඉල්ලීම ඉටු කරන්න සූදානමින් රූප රාමු එක්ක ම ආයෙමත් වතාවක් මේ සොබාදම් රුවැත්තිය ගැන ලියන්න යි මගේ අදහස! හැමදාම උදේට කුරුලු ගී එක්ක මම නැගිටින කොට සුදු මල් වැල පුරා ම මල් පිරිලා. හවසට කොළ අතරේ හැංගිලා තියෙන පොහොට්ටු රෑට තමයි නැගිටින්නේ. කළුවරේ එන උදවියට හොඳින් ඇහැ ගැටෙන්න ඕනේ නිසා ම වෙන්න ඕනේ ඇය ලොකු සුදු මලින් හැඩ වෙන්නේ. ගැට පිච්ච මලක හැඩය ගන්න මේ මලේ විෂ්කම්භය අඟල් දෙකක් පමණ වෙනවා. සුසිනිඳු පෙති පිරිසුදු සුදු පැහැයකින් යුතු යි. ඒ නිසා ද මන්දා මේ මලේ තියෙන්නේ හරි ම පැහැදිලි ලස්සණක්.

පෙරදිගින් හිරු නැගෙන විට සඳ කළු වලාවක සැඟවිලා
නීල අහසේ ළහිරු කිරණින් රන් පැහැය සිත්තම්වෙලා
කුරුල්ලන්ගේ මියුරු ගී හඬ සුළං රැල්ලේදැවටිලා
උදෙන් නැගිටින්නට කියා මට කවුළුවෙන් ඇරයුම්කළා
  
උදේ පාන්දර ම තේ කෝප්පෙකුත් අරගෙන මිදුලට යන මම මුලින් ම දකින්නේ කොහොඹ ගහ පාමුල කහ පාටට කොළ විසිරිලා තියෙන හැටි. ඒ අතර ඇතැම් වෙලාවට සුදු මලකුත් තියෙනවා. උදේ පාන්දර ම දකින ඒ පින්බර දසුන හිතට ගේන්නේ සැනසීමක්. පිනි වැටිච්ච සුදු මල් පෙතිවලට ළා හිරු රැස් වැටුණ ම එතන මැවෙන්නේ සුන්දර ලෝකයක්. කම්මැලි නැතු ව උදෙන් ම නැගිටින බට්ටිච්චෝ මල් පෙති අතර ගැවසෙන්නේ මුහුණ කට සෝදගෙන අනිත් හැමෝට ම කලින් වැඩ පටන් ගන්න වගේ.

දුම් දමන තේ කෝප්පය ගෙන මම ගියේ මිදුලටහෙමින්
ලේන්නුන් නැගිටලා උදේ කෑමට ඇවිත් මේ මටහොරෙන්
කොහොඹ කොළ විසිරිලා ගෙමිදුල පුරා කහ පැහැයක්අරන්
ඊයේ රෑ තනි වෙච්ච මල් වැල බරවෙලා අද සුදුමලින්
  
උදේ වරුව ගෙවිලා යනකොට තමයි මී මැස්සෝ පිරිවරාගෙන සමනල රෑන එන්නේ. ඒත් කවදාවත් උන් සුදු මල් වැලට ළං වෙනවා මම නං දැකලා නැහැ. ඒ උන්ගේ හිත් ඇද ගන්න තරම් ලස්සණක් ඇයට නැති නිසා වෙන්න ඕනේ. එහෙම යි කියලා හිත රිදවා ගන්නේ නැති සුදු මල් වැල හැමදාමත් වගේ හිනා වෙලා ඉන්නවා. ඒ නොසැලෙන ගතිය මිනිස්සු ළඟත් තියෙනවා නම්! එහෙම හිතකට මොන තරම් සැනසීමක් ලැබෙයි ද?
    
සුවඳ නැති මුත් දකින විට නුඹෙ සොඳුරු රුව මාගේසිත
පිරෙනවා වචනෙට නගන්නට බැරි සතුටකින් නොනැවත
මිහිරි මල් ‍රොන් අහිමි නුඹ වෙත සමනලුන් එන්නේ නැත
මිනිස් ගතියට ඔවුන් ළං කර ගන්න නොදරයි නුඹතැත


මේ මලේ නම නම් මම දන්නේ නැහැ. දන්න කෙනෙක්ට මේ ගැන සුළුවෙන් හරි විස්තරයක් කරන්න පුළුවන් නං මම හිතන්නේ ඒක හැම කෙනෙක්ට ම ප්‍රයෝජනවත් වෙයි.

55 comments:

  1. ඇත්තටම ලස්සනයි ධරණී හුගාක් හොදට ලියලා තියෙනවා හැමදාම වගේ ඔයා ලියන කරන හැමදෙයක් ම මම කියවන්නේ ආසාවෙන්...ඊලග දේ වෙනුවෙන් මම විශේෂයෙන් බලන් ඉන්නේ හරිද ?

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඉතින් මගේ අංක එකේ පාඨකයා ඔයා තමයි කියලා! හැමදාම (මගේ ඔත්තුව නිසා ඇවිත්) මුලින් ම කොමෙන්ටුවක් දානවට තැන්කූ වේවා! හා හා, රාජ්‍ය රහස් හෙළි කිරීම බරපතළ වරදකි.

      Delete
    2. ඔයා ඉන්න කම් (ඔත්තුව දෙන කම් ) මම ඉතින් එක තමා අනේ <3....අනික හෙළි කලේ නැහැ නේ හෝඩුවාවක් ) දුන්නා විතර නේ....

      Delete
    3. හා හා කෑ නොගහා ඉන්න. නැත්තං දෙනවා දෙකක්. ඔහොම ගියොත් හෝඩුවාවක් නෙමෙයි මුළු රහස ම එළි වෙයි වගේ :)

      Delete
    4. හරි හරි, රහස් පරීක්ෂක මට තේරුණා..

      Delete
    5. ඔන්න රහස් පරීක්ෂකතුමාට වැඩේ මාට්ටු වෙලා. දැන් ඉතින් ඔබතුමත් කට වහගෙන හිටියා නං හොඳයි ගස් බඳින්ට කලින්.

      Delete
    6. //නීල අහසේ ළහිරු කිරණින් රන් පැහැය සිත්තම් වෙලා//

      කහිමින් :D

      Delete
    7. මොකෑ උඹ කහින්නෙ? පද පේළිය දැක්ක ම ඇඟ කසනවාවත් ද? :P

      Delete
    8. අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි ^_^

      Delete
    9. අම්මේ, ලොකු දෙයක් :D නැත්තං සමියා මගේ බ්ලොග් එක විනාස කරලා දායි.

      Delete
  2. හරිම සුන්දරයි ඔබෙ පරිසර වැනුම
    මටත් හිතක් ඇතිවිය මල දැක ගැනුම
    බඹරකු නොවී සමණලයකු වී අදම
    එන්නෙමි හනික මල පරවන්නට ප්‍රථම

    ReplyDelete
    Replies
    1. කවියට නැගුවේ මාගේ සිත් ගත් රුවැතී
      එය රස වින්ද නුඹ හට පුද කරමි තුතී
      මල දැක ගන්න එනවා නං අගේ ඇතී
      චන්දන අයියා පිළි ගන්නවා මා නැවතී

      Delete
  3. කවි ටිකත් ලස්සනයි නංගී. මගේ සඳුන සෙවනේ කවිත් හරි ගස්සමින් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, චන්දන අයියේ (වන්දන අයියා කියන්න ද? සඳුන් අයියා කියන්න ද?) පොරොන්දු වුණා වගේ කවි ටික කෙලින් කරේ නැත්තං විසුමක් වෙන එක්ක නෑ ඔන්න.

      Delete
    2. චන්දන කිව්වත් සඳුන් සඳුන් කිව්වත් චන්දන ඉතිං නංගිට කැමති එකක් කියන්න.
      අද දවසෙම කරේ කවි කෙලින් කිරිල්ල. තව කවි පංති 4 ක් විතර ඉතුරැ උනා. ඒ ටික ළබන සති අන්තයේ කරනවා. නංගි එවපු ප්‍රෝග්රෑම් එක තමයි පාවිච්චි කලේ. ස්තූතියි ආයෙත්. නැවත එන්නම්.

      Delete
    3. ඕක මොකද්ද චන්දන අයියේ. මටත් ඔය ප්‍රෝග්‍රෑම් එක දුන්නේ හෙන්රි අයියා. මේ දවස්වල දන්න කියන හැමෝටම ඕක බෙදා හරිනවා. කොහොම හරි අලුත් මල්ලට පින් සිද්ධ වෙන්න තමයි ඔය ඔක්කම! නැත්තං ඔය වගේ ප්‍රෝග්‍රෑම් හදන්න සුද්දෝ කවි ලියන එකක්යෑ :)

      Delete
  4. පරිසර වර්ණනාව ලස්සනයි :) පළවෙනි කවියට තමයි මං ආසම :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, සමියෝ. ඒ මොකෝ පළවෙනි කවියට ආස වැඩිපුර?

      Delete
  5. සුදු මල් වැල වගේම පද ටිකත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, ශානු.

      Delete
  6. හරිම ලස්සනයි කවි ටික.. ඔය මල නම් මමත් කැමතිම මලක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, සිතූ. මලේ නම එහෙම දන්නේ නැද්ද? නම දන්නේ නැතු ව විස්තරයක් හොයා ගන්නත් අමාරුයිනේ.

      Delete
  7. මං දන්නව ඔය මල ගැන.. සුදු පාටයි, පෙති 7යි, කොළ කොල පාටයි, වැල් විදියට යන්නේ..වතුර නැති කාලෙදි ගහ මැරෙනවා.. හරිනේද ?

    ReplyDelete
    Replies
    1. අනේ භූතයෝ, පින්තූරේ දිහා බලන ඕනේ ම කෙනෙක්ට ඔය විස්තරේ කියන්න පුළුවන්නේ. හ්ම්ම්, මලේ පෙති ගාණ නං මලෙන් මලට වෙනස් :P

      Delete
  8. අපේ ගෙදරත් ඔවුවා තිබුනා වගේ මතකයි.. දැන් නම් තියෙනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔය මල් වැල හදා ගන්න හරි අමාරු ලු (අපේ අම්මා තමයි එහෙම කිව්වේ) හැබැයි හදා ගත්තට පස්සේ නැති වෙන්නේ නෑ. හැමදාම මල් තමයි!

      Delete
  9. ඔයා නං සඳවති වාගේ !
    දන්නවද සඳවතී කියන්නේ කවුද කියලා ?
    දන්නැත්තං ඔවු කීවේ මොකෝ... :)
    සඳවතී කියන්නේ රතු ඉද්ද නවකතාවේ ඉන්න ගස් වැල් වලට ආදරේ කරන ගෑනි ළමයෙක්... ඒයැයි ගස් වැල් එක්කත් කතා කරනවා. :)

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සේ රතු ඉද්ද පොත හොයනවා, මධු අයියේ. ඒත් මම යන හැමදාම සරසවියේ ඒ පොත ඉවර වෙලා :( හ්ම්ම්, මිනිස්සු එක්ක කතා කරනවට වඩා ගස් වැල් එක්ක කතා කරන එක හොඳයි. හිත තැලෙන්නේ නෑ නොවැ.

      Delete
    2. කොම්පීතරේට මූන ඔබාගෙන කියවන්න පුලුවන්නම් මෙන්න පාර !
      මෙතනට යන්න..

      Delete
    3. එහෙම හරි පොත කියවන්න තියෙනවා නං ලොකු දෙයක්. ලින්කුවට බොහෝම ස්තූතියි, අයියේ.

      Delete
    4. අනේ මධුරංගට ගොඩක් ස්තුතියි...ඔන්න මාත් බාගත්තා

      Delete
  10. උදේ නැගිට්ට ගමන් ඔය වගේ මල් ටිකක් බලලා වැඩ පටන් ගන්න තියෙනවනම් කොයි තරම් දෙයක්ද?
    දවසම සුන්දර වෙයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත! මම නං කම්මැලි නැතු ව මුලින් ම කරන්නේ මල් වැලේ හැඩ බලන එක තමයි. කොච්චර වැඩ තිබුණත් සැරෙන් සැරේ ගිහින් මල් වැල දිහා බලනකොට හිත සතුටෙන් පිරෙනවා.

      Delete
  11. කවිත් ලස්සණ යි. පින්තූරෙත් ලස්සණ යි. නම නම් දන්නෙ නෑ මාත්. නමට වඩා පැවැත්ම නේ සුන්දර වෙන්න ඕනෙ කොහොමත්!

    ReplyDelete
    Replies
    1. තැනකූ වේවා, දිලිනියෝ. ඔයාගේ කතාවත් ඇත්ත තමයි. ඒත් ඉතින් නම දැන ගත්තා නං තොරතුරු ටිකක් හොයා ගන්න තිබුණා නොවැ.

      Delete
  12. මල්වැලට වගේම කවි පංතියටත් මමත් හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, මනෝජ් අයියට. කාලෙකට පස්සේ දැක්කේ.

      Delete
  13. හාහ් අපිට කිව්වට ඔය ධාරා නගාත් මල් මල් පොස්ටුවක් දාලා තියෙන්නේ .ටිකක් පිච්ච මලට හුරුයි නේද?

    ReplyDelete
    Replies
    1. අයියලගේ අඩිපාරේ යන නංගිලනේ. ඉතින්, අපි මල් කැඩුව ම නරක ද? හ්ම්ම්, පිච්ච මලට හුරු යි තමයි. හැබැයි සුවඳ නෑ :(

      Delete
  14. හුඟ දවසකින් සුන්දර විස්තර දෙක තුනක්ම කියවන්න ලැබුණා.මේ ඉන් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතයි, මංජු අක්කේ. කාලෙකින් ඔයා ව දැක්කේ.

      Delete
  15. මල් වගේම කවි ටිකත් ලස්සනයි..ඒ වගේම මිනිස්සු නෙවෙයි මිනිස්සුන්ගෙ හිත් ලස්සන වෙනවනම් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතයි, රජ වීදිය. හ්ම්ම්, එහෙම ලස්සණ වෙනවා නං හොඳයි තමයි. ඒත් ඒක මේ මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නොවැ.

      Delete
  16. සුදු මල් වැල,
    හෙවත් මං ධාරාව මුලින්ම අඳුරගත්ත තැන!
    ඔන්න ආයෙත් ආවා ලින්ක් එකක් දිගේ සුදු මල් බලල යන්න...

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුවට වැටුණ වටින ම කොමෙන්ටුව මේක, කරූ. උඹේ නම දකින කොට හිතට පුදුම සතුටක් දැනුණා. සුදු මල් වැල හෙවත් නොබි‍ඳෙන මිතුදමක ඇරඹුම!

      Delete
  17. ඔය ජාතියෙම වැලක් අපේ අල්ලපු ගෙදර තියනවා..බෝධිපූජා තියද්දි අපි වට්ටි පිටින් කඩන් යන්නේ..ඇත්තටම සුදුම සුදු පාටින් හරිම ලස්සනයි...

    නම නං මම දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. බෝධි පූජාවකට යනකොට අරගෙන යන්න කියාපු මල් ජාතිය! මල ලොකු නිසා වට්ටි බර ගාණක් පුරවන්න පුළුවන් :)

      Delete
  18. Replies
    1. එහෙම නං මොණරිටත් මාව මතක් වුණා කිව්ව ලු :) තැන්කූ වේවා!

      Delete
    2. අමතක වෙනවද බන් එහෙම.. මන් අර විලියම් කොල්ලට කැමති නැනේ.. නැත්තම් එක කියවනවා//

      Delete
    3. එහෙම නං ඔන්න ආයෙත් කාලෙකට විලියම් ව ගෙදරට හිර කරා :)

      Delete
  19. මොනවා හරි පිච්ච ජාතියක් නේද.

    ReplyDelete
    Replies
    1. පිච්ච මලක හැඩේ නං තමයි. ඒත් සුවඳක් නෑ :(

      Delete
  20. අපේ ගෙදරත් ඔය ජාතියෙ මල් වැලක් තියෙයි. හරි...ම ලස්සනයි මල් පිරුනම. මල් වැලයි කවි ටිකයි දෙකම එක වගේ තමා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සිඟිති අක්කේ. බලාගෙන ගියා ම කවුරුත් මලේ නම දන්නේ නෑ වගේ :(

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...