කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය පළමු දිග හැරුම සහ දෙවැනි දිග හැරුම කියවන්න මේ මංපෙත් දිගේ පිය නගන්න . . .
කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය රැස් වෙන දවසත් උදා වුණා. එදා විලියම් උදේ කෑමට පහළට බැස්සේ කෝපය පිරුණු බැල්මක් මුහුණේ රඳවා ගෙන. ඔහු කෑම මේසයට වාඩි වෙලා නළලේ අත තියා ගත්තේ දුක්බර විදියට කෙඳිරි ගාන ගමන්.
බ්‍රවුන් මහත්මිය ඔහු දිහා බැලුවේ කැළඹීමෙන්.
"ආ! විලියම්, මොකක් හරි ප්‍රශ්නයක් ද?"
"මට හොඳට ම ඔළුව රිදෙනවා, අම්මා," විලියම් සිහින් හඬින් කිව්වා.
"අනේ, ඒක නං එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයා ගිහින් ටිකක් ඇඳට වෙලා හිටියොත් හොඳයි."
"ඔව්, මම හිතන්නේ මම ටිකක් ඇඳට වෙලා හිටියොත් හොඳයි තමයි," විලියම්ගේ කටහඬ වේදනාවෙන් බර වෙලා. "ඒත් ඊට කලින් මම උදේට කාල ඉන්නං."
"පුතා, ඔය වගේ ඔළුව රිදෙනකොට කෑම කන්න හොඳ නෑ, මගේ වස්තුව."
විලියම් කෑදර විදියට බිත්තර සහ බේකන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.
"මම හිතන්නේ මට පොඩ්ඩක් කන්න පුළුවන් වෙයි, අම්මා."
"එපා, රත්තරනේ. එතකොට ඔයාගේ ඔළුවේ කැක්කුම තවත් වැඩි වෙයි."
විලියම් තමන්ගේ කාමරේ දිහාට ඇවිදගෙන ගියේ හරි ම අකැමැත්තෙන්.
උදේ කෑම ඉවර වුණාට පස්සේ බ්‍රවුන් මහත්මිය ඔහු ව බලන්න ගියා.
නැහැ, තවමත් ඔහුට සනීපයක් දැනුණේ නැහැ. ඒත් ඔහු හිතුවා පොඩ්ඩක් ඇවිදින්න ගියොත් හොඳයි කියලා. ඔව්, ඔහුට තාමත් හොඳට ම අසනීප යි. ඒ නිසා බ්‍රවුන් මහත්මිය යෝජනා කරා ලොකු ලුණු හැන්දක් දාපු වතුර වීදුරුවක් බොන්න. එහෙම බිව්වොත් ඉක්මනට ම ලෙඩ සනීප වෙනවනේ. ඒත් විලියම් කැමති වුණේ නැහැ අම්මට කරදර කරන්න. අනික මේක එහෙම ඉක්මනට සනීප වෙන ලෙඩක් නෙමෙයි. ඒ ගැන නම් විලියම්ට හොඳටම විශ්වාස යි. ඔහුට දැනුණා පොඩ්ඩක් ඇවිදින්න ගියොත් ඉක්මනට ම ඔළුවේ කැක්කුම සනීප වෙයි කියලා.
ඉතින්, මුළු ඇඟ ම වැහෙන්න ඇඳුම් ඇඳගෙන, අම්මගේ දැඩි අධීක්ෂණය යටතේ විලියම් ඇවිදින්න යන්න පාරට බැස්සේ හරි ම හෙමින්, අස්ථිර විදියට පියවර තබන ගමන්.
ඊට පස්සේ ඔහු හෙමින් සැරේ තාප්පේ අයිනේ තිබුණ මහරත්මල් පඳුර දිගේ බඩ ගා ගෙන ගිහින් කෑම ගබඩාවට පැන්නා.
පැය බාගයකට පස්සේ කෝකියා බ්‍රවුන් මහත්මිය ව මුණ ගැහෙන්න ආවේ කලබලයෙන්. ඊට පිටි පස්සෙන් ඇවිදගෙන ආවේ සුදුමැලි වෙච්ච විලියම්!
"විලියම් පුංචි මහත්තයා කෑම ගබඩාවේ තිබුණ හැම දෙයක් ම වගේ කාල, මැඩම්. ඔබතුමියට හිතා ගන්න බැරි වෙයි. ගබඩාවේ තිබුණ සීතල කරපු හැම් ඔක්කොම යි, තව පස්තෑල ඒ වගේ ම සීත කරපු ලොකු සොසේජස් තුනක්. ආ! අලුතෙන් ම හදපු ලෙමන් චීස් බරණියත් ඉවර යි."
"විලියම්!" බ්‍රවුන් මහත්මියට පුදුමයෙන් කෑ ගැහුණා. "ඔච්චර කන්න පුළුවන් නම් ඔයාට කොහෙත් ම ඔළුවේ කැක්කුමක් තියෙන්න විදියක් නැහැ."
ඉතින්, ඔන්න ඔහොම යි විලියම්ගේ බොරු ඔළුව කැක්කුම අවසන් වුණේ!
උදේ ඉතුරු වරුව ඔහු ගත කළේ හෙන්රි, ඩග්ලස් සහ ජින්ජර් එක්ක! යාළුවෝ කට්ටිය එකතු වෙලා 'නීති කඩන්නෝ' නමින් රහස් සංගමයක් හදාගෙන යි හිටියේ. මේ සංගමේ නායකයා වුණේ විලියම්. ඒ ගැන ඔහුගේ හිතට දැනුණේ ලොකු ආඩම්බරයක්. ඒත් අද හවසට විලියම් කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ රැස්වීමට යන බව අනිත් තුන් දෙනා දැන ගත්තොත්. එහෙම නැත්තං අනුමාන කරොත්. ඒ ගැන කල්පනා කරනකොට විලියම්ගේ හිතට ලැජ්ජාවක් දැනුණා. ඒ නිසා හවස් වරුවේ යාළුවෝ තුන් දෙනා කරන්නේ මොනව ද කියලා දැන ගන්න ඔහු උත්සාහ කළා. යාළුවෝ කරන දේ දැන ගත්තා නම් කොහොම හරි ඒ තුන් දෙනා ව මග අරින්න තිබුණා. ඒත් සැහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් නම් ඔහුට ලැබුණේ නැහැ.
යාළුවෝ හතර දෙනා උදේ වරුව ගත කරේ වදුලට වෙලා හෙන්රිගේ ෆොක්ස් ටෙරියර් වර්ගයේ බල්ලා, චිප්ස් සහ විලියම්ගේ දෙමුහුම් බල්ලා, ජම්බල් සමග හාවෝ දඩයම් කරමින්. හැබැයි මේ කිසිම කෙනෙක්ට හාවෙක් ව දඩයම් කරන්න තියා දකින්නවත් ලැබුණේ නැහැ. ඒ වෙනුවට ජම්බල් සමනලයෙක් සහ මී මැස්සෙක්ගේ පස්සෙන් ලුහු බැන්දා. වැලි මීයෙක්ගේ තුඹසක් පහුරු ගෑවා. අන්තිමේ දී දෙබරෙක්ට කියලා දෂ්ට කරවා ගත්තා. ඒ අතරේ චිප්ස්ට පුළුවන් වුණා පුංචි මීයෙක් ව අල්ලා ගන්න. ඒ නිසා උදේ වරුව අපතේ ගියේ නම් නැහැ.
ඒත් විලියම්ගේ හිතේ නම් මේ ගැන උනන්දුවක් තිබුණේ නැහැ. හවසට කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ රැස්වීමට යන්න තියෙන අවස්ථාව මග අරින්න සැලසුම් ගණනාවක් ඔහු කල්පනා කළා. ඒත් ඒ කිසිම එකක් ප්‍රායෝගික වුණේ නැති නිසා ඒවා අත් අරින්න ඔහුට සිදු වුණා.
වෙනදට වඩා ටිකක් කලින් විලියම් දවල් කෑමට කෑම කාමරේට ගියා. ඒ වෙලාවේ කෑම කාමරේ හිටියේ විලියම්ගේ අක්කා, එතල් සහ විලියම්ගේ අයියා, රොබට් විතර යි. විලියම් කෑම කාමරේට ආවේ කොර ගහන ගමන්. වේදනාව නිසා ඔහුගේ දෙතොල් වගේ ම ඇහිබැම තනි ඉරක් බවට පත් වෙලා.
"විලියම්, මොකද වෙලා තියෙන්නේ ඔයාට?" උදේ කෑමට හිටියේ නැති රොබට් ඇහුවා. ඒ වගේ ම ඔහුට කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය ගැන කිසිම දෙයක් මතක තිබුණේ නැහැ.
"මගේ වළලුකර උලුක් වෙලා," විලියම් කිව්වේ දුර්වල කටහඬකින්.
"ආ! කෝ එන්න මෙහාට. මම බලන්නං මොකද වෙලා තියෙන්නේ කියලා," රොබට් අනුකම්පාවෙන් කිව්වා.
විලියම් යටහත් පහත් විදියට රොබට් ළඟින් ඉඳ ගත්තා.
"කොයි කකුල ද උලුක් වුණේ?"
"හ්ම්ම්, මේ කකුල."
"එහෙම නං මොකට ද ඔයා අනිත් කකුලෙන් කොර ගැහුවේ?" එතල් ඇහුවේ ඇනුම්පදයක ස්වරයෙන්.
ඒ විදියට විලියම්ගේ කකුලේ උලුක්කුවත් ක්ෂණයෙන් සනීප වුණා.
කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමයේ රැස්වීම ආරම්භ වෙන්න නියමිත වෙලා තිබුණේ හවස තුනට. හවස දෙක හමාරට ගෙදර උදවියට දැන ගන්න ලැබුණා විලියම්ට දරුණු දත් කැක්කුමක් හැදිලා තියෙන බව. තුනට මිනිත්තු විසි පහක් ඉතුරු වෙලා තියෙනකොට විලියම්ට හැදුණේ උග්‍ර රූමටික උණක්. තුනට මිනිත්තු විස්සක් තියෙනකොට විලියම්ගේ අක්මාව දරුණු විදියට රිදෙන්න පටන් ගත්තා (විලියම් කිව්වේ නං මේක වෙන්න ම පුළුවන් දෙයක් කියල යි. මොකද විලියම්ගේ තාත්තටත් මේ වගේ ම අක්මාවේ වේදනාවක් තියෙන නිසා සමහර දවසට වැඩට යන්න බැරි වෙනවා). කොහොම වුණත් අන්තිමේ දී තුනට කාලක් වෙද්දී හොඳින් ලෑස්ති වුණ විලියම් සාලෙට වෙලා බලාගෙන හිටියා.
"මට විශ්වාස යි ඔයාට අද හොඳට විනෝද වෙයි," බ්‍රවුන් මහත්මිය කිව්වේ විලියම් ව සැනසෙන කටහඬකින්. "මම හිතන්නේ ඔයාට අලුත් යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙයි."
ඇය කියපු කිසිම දෙයක් පැන්සෙකට මායිම් නොකරපු විලියම් කතා නැතු ව බලාගෙන හිටියා.
"ජම්බල්, මෙහෙ එනවා," විලියම් කතා කළා.
ජම්බල් ව එක්කගෙන ගියොත් අඩු තරමේ මේ තත්ත්වේ ටිකක් හරි හොඳ වෙයිනේ.
ප්‍රීතියෙන් කුල්මත් වුණ ජම්බල් කුස්සියේ ඉඳලා දුවගෙන ආවේ සාලයේ තිබුණ කළාලය මත මස් කටු විසිරුවමින්.
"විලියම්, ඔයාට රැස්වීමට යනකොට බල්ලා ව අරගෙන යන්න බැහැ."
"ඇයි බැරි?" විලියම් ඇහුවේ තරහින්. "මට හිතා ගන්න බැහැ ඇයි බල්ලෙක්ට යන්න බැරි කියලා. බල්ලෝ බියර් බොනවා ද? නැහැනේ. ඉතින්, බල්ලෙක්ටත් අයිතියක් තියෙනවා මට වගේ ම මේ රැස්වීමට යන්න. කාටවත් ඒ ගැන මුකුත් කියන්න බැහැ."
"ඒ වුණත් මම හිතන්නේ නැහැ ඔයාට බල්ලෙක් ව අරගෙන යන්න අවසර ලැබෙයි කියලා. කවුරුත් රැස්වීමකට බල්ලෝ අරගෙන යන්නේ නැහැනේ."
එහෙම කියලා බ්‍රවුන් මහත්මිය දැඩි ව ජම්බල්ගේ කර පටියෙන් අල්ලා ගත්තා. ඒ නිසා තනියම රැස්වීමට යන්න හිතාගෙන විලියම් පාරට බැස්සා.
විලියම් හෙමින් ගේට්ටුව ළඟට ඇවිදගෙන ගියා. ඔහුගෙන් දිස් වුණේ අධෛර්යයට පත් වෙච්ච දුක්මුසු පෙනුමක්. ගේට්ටුව ළඟ දී ඔහු ටිකක් නතර වෙලා වටපිට බැලුවා. පොඩි පරතරයක් ඇතු ව ඈතින් එන තුන් දෙනෙක් ව ඔහු දැක්කා. ඒ හෙන්රි, ඩග්ලස් සහ ජින්ජර්!
විලියම් මුලින් ම කල්පනා කරේ ඔවුන් තුන් දෙනා ඔහු ව පහු කරගෙන යනකං ඉක්මනට කොහේ හරි හැංගෙන්න. ඒත් එතකොට ඔහු දැක්කා යාළුවෝ තුන් දෙනාගේ මුහුණුවල රැඳිලා තිබුණ අධෛර්යයට පත් වෙච්ච දුක්මුසු පෙනුම. ඒ නිසා ඔහු හෙන්රි ළඟට එනකං බලාගෙන හිටියා. ලැජ්ජා සහගත විදියට විලියම් දිහා බලපු හෙන්රි හැදුවේ ඔහු ව මග ඇරලා යන්න.
"ඔයත් යනව ද?" විලියම් ඇහුවා.
හෙන්රි ඔහු දිහා බැලුවේ පුදුමයෙන්.
"එයා ඔයාගේ අම්ම ව මුණ ගැහෙන්න ආව ද?" උත්තරයක් වෙනුවට ඔහු ප්‍රශ්නයක් ඇහුවා.
තමන්ගේ පිටි පස්සෙන් ආපු ජින්ජර් සහ ඩග්ලස් ව දැකල ඔහු පුදුමයට පත් වුණා. ඒ වගේ ම තමන්ගේ පිටි පස්සෙන් ආපු ඩග්ලස් ව දැකල ජින්ජර් පත් වුණේ හරි ම පුදුමයකට. අන්තිමේ දී යාළුවෝ හතර දෙනා නිශ්ශබ්ද ව ගමේ ප්‍රජා ශාලාව දිහාට යන්න පිටත් වුණා. ඒ වෙලාවේ තමයි ජින්ජර් උගුර පෑදුවේ.
"මගේ උගුර හොඳටම රිදෙනවා," ඔහු කිව්වා. "මට කොහෙවත් යන්න හොඳ නැහැ."
"මටත් සනීප නැහැ," හෙන්රි කිව්වා. "මම අම්මට කිව්වා."
"මටත් එහෙම යි," ඩග්ලස් කිව්වා.
"ඇයි මටත්," විලියම් කිව්වේ ගොරෝසු, සතුටක් නැති කටහඬකින්. "මට හිතා ගන්න බැහැ මම මෙච්චර ලෙඩ වෙලා ඉන්නකොට අපේ අම්ම කොහොම මා ව එළියට එව්ව ද කියලා."
ගමේ ප්‍රජා ශාලාවේ දොර ළඟ දී විලියම් මොහොතක් නතර වෙලා ආසාවෙන් ඈතින් පේන පිට්ටනිය දිහා බලාගෙන හිටියා.
"වැඩක් නැහැ," ජින්ජර් කිව්වේ දුකෙන්. "එයාල හොයා ගනීවි."
දුකෙන් ඒ වගේ ම කලකිරීමෙන් ඔවුන් ශාලාවට ඇතුළු වුණා.
෴ මතු සම්බන්ධ යි ෴
මුල් පින්තූරෙ දැක්කම මම කල්පනා කළේ විලියම් ගේ කට කොච්චර ලොකු ඇද්ද කියලා. මේ කතාව නිසා ධාරගෙ බ්ලොග් එක කියවන එක වෙනස් ම අත්දැකීමක් වෙලා. ලියමුකෝ දිගට ම.
ReplyDeleteඊට පස්සේ කෝකියා කියන විස්තරෙන් හිතා ගන්න පුළුවන් නේද කොච්චර ලොකු ද කියලා?
Deleteඔව් ඔව්. මම කිව්වේ ලෝඩ් වෙද්දි එක පාරට ම පේන්නෙ පින්තූරෙ නෙ.
Deleteඅහ්හ් ධාරා නැන්දාට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ...දැන් ඉතින් ඉතුරු කොටසත් දාන්න තමා තියෙන්නේ ඉක්මනට .... හොදට පරිවර්තනය කරලා තියෙනවා ධාරා <3
ReplyDeleteළහිරු මාමා වද දීලා මතක් කරපු නිසා තමයි ඕක දැම්මේ. ඊළඟ කොටසත් ඉක්මනට ම දාන්නං.
Deleteඑක දෙක කියවලා එන්නන් ධාරෝ .
ReplyDeleteඔන්න උඩින් පාර පෙන්නල ඇති. ගිහින් කියවලා එන්නකෝ :)
Deleteමට ඔහොම මාරාන්තික රෝග කීපයක්ම ඉස්කොලෙ යනකාලෙ හැදිල තිබුනා :D
ReplyDeleteඉස්කෝලේ යන කාලේ විතර ද? මට නං පේන්නේ දැන් තත්ත්වය ඒ කාලෙට වඩා උග්‍ර යි වගේ :P
Deleteමේ පාර චෝගම් නිවාඩුවට ගෙදර ගියාට පස්සේ විලියම් පොත් හතරක් ම කියෙව්වා. දෙකක් ද කොහේදෝ දෙවනි වතාවට. ඒත් මේකාගේ පිස්සු වැඩ එපා වෙන්නේ නෑ
ReplyDeleteකට්ටිය කියපු නිසා මමත් විලියම් පොතක් හොයා ගත්තා. පළවෙනි එක. හැබැයි ඉංග්‍රීසි පොතට වඩා ටිකක් වෙනස්. සමහර කතාවල කොටස් අඩු යි. අනික් කතාත් අඩුවෙන් තියෙන්නේ :'(
Deleteඇත්තට විලියම්ට පුදුම බඩගින්නක් නෙ තිබිලා තියෙන්නේ... ඔච්චර කන්න.... ඊළඟ කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්නවා...
ReplyDeleteවිලියම් කතා මාලාව පුරාවට ඔහොම තමයි. විලියම් කන හැටි ඇහුව ම අපේ බඩ දඟලන්න ගන්නවා. ඊළඟ කොටසත් ඉක්මනින් ම දාන්නම්, සිතූ අක්කේ.
Deleteමෙයා අගේ කර කර ලියද්දී අමතක වෙනවනේ ඉතින් මුල ඒවා.
ReplyDeleteඅනේ, සමාවෙන්න ඕනේ, දිනේෂ් අයියේ. මේ දවස් ටිකේ වැඩ වැඩි යි ටිකක්. ඉක්මනින් ම ඊළඟ කොටස දාන්නංකෝ.
Deleteපරණ ටික කියවලාම එන්ඩ වෙනවා.. කතාවේ යම් අපැහැදි ගතිය එතකොටවත් නැති වේවි නෙහ්.
ReplyDeleteඑහෙම නං කියවලා එන්නකෝ. ඒ දිහාට යන පාර උඩින් ම පෙන්නලා තියෙන්නේ ඔය!
Deleteවිලියම් කිව්වෙ එංගලන්තෙ විලියම් කුමාරය වෙන්ටැ...
ReplyDeleteකස්ටිය දැං පිස්සු බිසී නිසා ලියැවෙනවත් අඩුයිනේ
නෑ මේ ඒ විලියම් කුමාරයට කලින් හිටපු විලියම් කෙනෙක් :P දැන් වැඩ ඉවර යි, අෆ්‍ෆා!
Deleteමොක බං ධාරෝ මෙච්චර කල් සද්ද නැතුව හිටියේ....? හැබෑටම විලියමා මාර කෑමක් කන පොරක්නේ.
ReplyDeleteමම පොඩ්ඩක් කාර්යබහුල වුණානේ, ඉවාන් අයියේ. ඔන්න දැන් නං වැඩ කටයුතු ඉවර යි. අනේ ද කියන්නේ, කතා පොත පුරාවට ම වැඩිපුර ම විලියම් කරන්නේ කන එක තමයි!
Deleteධාරා, කතාවෙ කොටස් තුනම එක පාර කියෙවුවා. ලස්සනයි. වෙනස් කතාවක් නිසා දිගරම කියවනවා.
ReplyDeleteහප්පෙ විලියම් ගොයියා පුදුම ලෙඩෙක්නෙ. නෑ හොර ලෙඩෙක්නෙ. ඉස්පිරිතාලෙකින් වත් හොයා ගන්න බැරි ලෙඩනෙ මෑන්ට හැදෙන්නෙ.
බොහෝම ස්තූතියි, චතුරංග අයියේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.
Deleteවිලියම් ඔහොම තමයි. කතා මාලාව පුරා ම තියෙන්නේ කෑම කන හැටි යි, ලෙඩ සෙට් එක යි තමයි!
මට මතක් වෙන්නේ ටොම් සෝයර්
ReplyDeleteඒක නං ඇත්ත. මම ටොම් සෝයර්ටත් හුඟක් ආසා යි.
Delete