"උඹට දීපු ගින්නට අන්න අරකි දැන් විඳවනවා," රස්සාව කරන්න කොල්ලුපිටියට ආපු මුල් කාලේ ඉඳල ම පුරුදු විදියට දවල් කෑමට 'සාරදා' හෝටලයට එකතු වුණ වෙලාවේ කොනේ ම තිබුණ සුපුරුදු මේසේ ඉඳ ගත්ත චරිත් කිව්වේ අනුරාධ දිහා බලන ගමන්.
ඒත් ඔහුට දිගට ම කතා කරන්න මාලින්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. "චරිත්, දැන් ඕවා කතා කරලා වැඩක් නෑනේ, මචං. ඒ වෙච්ච හැම දෙයක් ම දැන් වෙලා ඉවර යි. අනික දැන් ඕවා කතා කරා කියලා . . ."
"මොකද්ද උඹ කියන්න ගියේ?" අනුරාධ ඇහුවේ චරිත් කියන්න ගියේ නයෝමි බව ගැන හිතට දැනුණ නිසා. ඔහුගේ සිත විමසිලිමත්. කාලය ගත වෙලා ගියත් ඇය ගැන දැන ගන්න තිබුණ ආසාව තාමත් හිතෙන් අයින් වෙලා නැහැ.
"අනේ මේ, මගුලක් කතා කරන්නේ නැතු ව උඹේ කෑම එක මෙහාට ගනිං. මම උදේ ඉඳලා බලාගෙන ඉන්නේ ඉමාලිගේ බත් කටක් කන්න. අපිට කවුද ඉතින් කෙසෙල් කොළේ බත් ඔතලා දෙන්න ඉන්නෙ? චරිත්, උඹ ගිහින් තව කෑම දෙකක් අරගෙන වරෙන්."
මාලින්ගේ කටහඬේ තිබුණ අනතුරු ඇඟවීම වටහා ගත්ත චරිත් ඉක්මන් ගමනින් කවුන්ටරේ ළඟට ඇවිදගෙන ගියා. අනුරාධට නයෝමි ගැන කියනව ද නැද්ද කියන එක ගැන ඔහුගේ හිතේ තිබුණේ දෙගිඩියාවක්. 'එක අතකට මොකට ද ආයෙත් අතීතය හාරා අවුස්සන්නෙ?'
කවුන්ටරේ හිටපු කොල්ලා බෙදලා දීපු බත් පිඟන් දෙකත් අරගෙන ඔහු ආපහු ඇවිත් මාලින් ළඟින් වාඩි වුණේ අනුරාධගේ විමසිලිමත් බැල්ම මග අරින්න ඕනේ වුණ නිසා. කලින් හිතට ආපු කේන්තිය නිසා තමන් කියපු දේවල් ගැන ඔහුගේ හිතට පසුතැවීමක් දැනුණා.
"චරිත්, උඹ කලින් මොකක් ගැන ද කියන්න ගියේ?" අනුරාධ මතු කරපු ප්‍රශ්නේ නිසා යාළුවෝ තුන් දෙනා අතර තිබුණ නිහඬතාවය බිඳිලා ගියා.
"ඒක මහ ලොකු දෙයක් නෙමෙයි බං," චරිත් දිග කතාවකට මුල පුරන්න ලෑස්ති වුණත් මාලින් මහු ව නතර කළා. "අරෝෂ් නයෝමි ව දික්කසාද කරලා කියලා ආරංචි යි," බොහොම සාමාන්‍ය පුවතක් කියනවා වගේ සැහැල්ලුවකින් ඔහු කිව්වා.
"ආ! ඔව්, මටත් එහෙම ආරංචියක් නං ආවා," මාලින් කියපු ආරංචියෙන් හිතට දැනිච්ච පුදුමය සඟවා ගන්න උත්සාහ කරන ගමන් අනුරාධ අමාරුවෙන් උත්තර බැන්දා. "ඇයි දන්නේ නෑ එක පාර ම?"
"එක පාර ම නෙමෙයි, යකෝ. නයෝමි ව බඳින්න කලින් ඉඳල ම ඌට කවුද මන්දා නිළියෙක් එක්ක හුටපටයක් තිබුණා. අනික ඒ කාලේ නයෝමිත් ඕක දැනගෙන හිටියනේ. සල්ලිවලට වහ වැටිලා ඌ ව බැඳ ගත්තා. ඒකි හිතන්න ඇති ඌ ආදරේට බැන්දා කියලා. මොන පිස්සු ද? ඌ බැන්දේ ඒකිගේ ඇඟ නිසා. දැන් ඉතින්, කරපු පව්වලට විඳවන්නේ නැතෑ. අපිට මොකද බං ඒකි . . ."
"කට තිබුණ පළියට මෙතන කෑ ගහන්න එපා බං. දැන් ඇති. අනික ඕවා කිව්වා කියලා දැන් මොනවා කරන්න ද? උඹ කට පියාගෙන කෑම කාපන්. අනුරාධ, උඹත් කෑම එක කාල හිටපන්. නැත්තං අපරාදේ ඉමාලිගේ මහන්සිය," මාලින් කිව්වේ වෙන කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණ නිසා.
ඒත් අනුරාධට බඩගින්නක් දැනුණේ නැහැ. යාළුවන්ගේ බල කිරීමට කෑම කාල ආයෙත් සයිට් එකට ගියාට පස්සෙත් දිගට ම හිතේ හොල්මන් කරේ මාලින් කියපු වචන පෙළ! 'අරෝෂ් නයෝමි ව දික්කසාද කරලා කියලා ආරංචි යි.' ඒ වචන මතක් වෙන වාරයක් වාරයක් පාසා අනුරාධගේ හිතේ නයෝමි වෙනුවෙන් උපන් අනුකම්පාව ටිකෙන් ටික වැඩි වුණා. ඒත් එක්ක ම සොඳුරු අතීත සැමරුම් පෙළක් ඔහුගේ හිතට කඩා වැදුණේ අනවසරයෙන්.
"මොනවා වුණත් ඔයා මාව දාල යන්නේ නෑ නේද, අනුරාධ?" පස් වසරකට කලින් ඇය ඇහුවේ වැව රවුම දිගේ ඇවිද යන ගමන්. එදා ඇගේ සුන්දර මුහුණ සෙංකඩගල අහස වගේ ම අඳුරු වලාවකින් කළු වෙලා තිබිච්ච හැටි ඔහුගේ දෙනෙත් ඉදිරියේ මැවිලා පෙනුණා.
"මගේ පුංචි කෙල්ල නැතු ව මම කොහොම ද ජීවත් වෙලා ඉන්නෙ?" ඔහුගේ කඩවසම් මුහුණේ මතු වුණේ සිනාවක්.
ඇයත් ඔහුගේ හිනාවට එකතු වුණා. "ඒ වුණාට ඉංජිනේරු මහත්තයෙක් වුණා ම මාව අමතක වෙයි ද දන්නේ නැහැ," දඟකාර විදියට ඔහුගේ අතේ එල්ලෙන ගමන් ඇය ඇනුම්පදයක් කිව්වා.
"ඔන්න ඉතින් මගේ මොට්ට කෙල්ල පටන් ගත්තා මොට්ට කතාවක් කියන්න," ඔහු කිව්වේ බොරු තරහකින්. ඒ වෙලාවට ඇගේ මුහුණ කේන්තියෙන් රතු වෙන්නේ ජම්බු ගෙඩියක් වගේ.
"ඇයි දන්නේ නෑ මහ ලොකු මොළකාරයා මොට්ට කෙල්ලෙක්ට ආදරේ කරන්නෙ?"
"ඒක තමයි මාත් මේ කල්පනා කරේ." ඔහුගේ කතාවට ඇගේ මුහුණ තවත් රතු වුණා. ඒ රතු වෙච්ච කම්මුලට හාදුවක් දෙන්න කියලා හිත කිව්වත් පාරේ ගිය මිනිස්සු නිසා ඒ අවස්ථාව ගිලිහිලා ගිය එක ගැන අදටත් අනුරාධගේ හිතට දැනුණේ දුකක්.
නොනැවතීම නාද වුණ ජංගම දුරකථනයේ හඬින් අනුරාධගේ සොඳුරු සිහින ලෝකය සුනුවිසුණු වෙලා ගියා. ඒ ගැන හිතේ ඇති වුණ කේන්තියෙන් ඔහු දුරකථන තිරය දිහා බැලුවා. ඉමාලි! ඇයි මේ වෙලාවේ කතා කරන්නෙ?
"අනූ, ඔයා වැඩක ද හිටියෙ?" දුරකථනය ඔස්සේ ගලාගෙන ආව ඉමාලිගේ මියුරු කටහඬ අනුරාධගේ කෝපය දිය කර හැරියා.
"නැහැ, ඉමාලි. මොකක් හරි ප්‍රශ්නයක් ද මේ වෙලාවේ කතා කරේ?"
"ප්‍රශ්නයක් නං නෙමෙයි. හ්ම්ම්, අද මම ගෙදර එනකොට ටිකක් රෑ වෙයි. හත විතර වෙනකං කැම්පස් එකෙන් එළියට පැන ගන්න බැරි වෙන පාටක් තියෙන්නේ."
"රෑට කඩෙන් කෑම එකක් අරගෙන එන්න ද?"
"එපා. මම ඇවිල්ලා මොනවා හරි හදන්නං. ඔයා එනකොට මට සුදු පාට හරි ළා පාටක හරි බ්‍රිස්ටල් බෝඩ් දහයක් විතර අරගෙන එනව ද? මම එනකොට කඩවල් වහලා තියෙයි."
"හ්ම්ම්, හරි. වෙන මොනව ද?"
"වෙන මුකුත් නැහැ. අලුතෙන් කතා පොත් ඇවිල්ල ද කියලා බලාගෙන එන්න."
"බලාගෙන එනවා විතර යි එහෙම නං. ගේන්නේ නෑ, හරි ද?" අනුරාධ සැහැල්ලුවෙන් වගේ ඇහුවා.
"කවුද ගේන්න කිව්වෙ?" ඉමාලි ඇහුවේ හිනා වෙන ගමන්. අද හවසට අනුරාධ අලුත් ම පොතක් අරගෙන එන විත්තිය ඇය දැනගෙන හිටියා. "අනූ, කෙල්ලෝ ටික මම එනකං බලාගෙන ඇති. මම තියන්නම්. පරිස්සමින් ඉන්න. මම ඔයාට හුඟක් ආදරෙයි."
ඒ වචන අනුරාධගේ හිතට අරගෙන ආවේ බරක්. ඔහු අමාරුවෙන් වචන ගැට ගහගෙන ඉමාලිට උත්තර දුන්නේ දෑස් ඉදිරියේ බොඳ වෙලා ගිය නයෝමිගේ රුව අතරින්. "මමත් ඔයාට ආදරෙයි."
"බුදු සරණයි."
"බුදු සරණයි, ඉමාලි."
සුසුමක් හෙළමින් ඇමතුම විසන්ධි කරපු අනුරාධගේ සිතුවිලි ඊළඟ පැය කිහිපය පුරාවට ම නයෝමි සහ ඉමාලි අතර දෝලනය වුණා. ඔහුගේ හිත නොසන්සුන්. ඒ නොසන්සුන් හිතත් අරගෙන යි ඉමාලිගේ ඉල්ලීම ඉටු කරන්න ඔහු නුගේගොඩ සරසවියට ගොඩ වුණේ. බැස ගෙන යන හිරු වසාගෙන වැහිබර වලාකුළු නුගේගොඩ අහස පුරා විසිරිලා.
වෙළඳ සේවකයෙකුගේ උදව් ඇතු ව සුදු පාට බ්‍රිස්ටල් බෝඩ් මිලට ගත්ත අනුරාධ කතා පොත් තෝරන්න සමුද්‍රදේවී මාවතේ සුවිසල් පොත් මැදුරට පිය මැන්නේ ඉමාලි මතක් වෙලා හිතේ දළුලන ආදරය මුසු සතුටුදායක හැඟීමක් එක්ක. මේ පොත් සාප්පුව ඇතුළේ ඇය සමග කොතරම් නම් වෙලාවක් ගත කරන්න ඇත් ද? ඇතුළු වෙන දොරටුව ඉස්සරහ ම තිබුණ රාක්කවල අහුරපු අලුතෙන් නිකුත් වෙච්ච ඉංග්‍රීසි කතා පොත් බලන්න අනුරාධ එතනට ළං වුණේ ආසාවෙන්.
උස් හඬින් මොර දෙන කිරිකැටියෙකුත් වඩාගෙන ඒ අසල ම පොත් තෝරමින් හිටියේ තරමක් තරබාරු යුවතියක්. අසීරුවෙන් දරුවා ව නළවන්න උත්සාහ කරපු ඇගේ බැල්ම නිරායාසයෙන් ම අනුරාධ වෙත යොමු වුණා. මව් පදවියත් එක්ක ඒ සිහින් සිරුර වියැකිලා ගිහින් තිබුණත් ඒ සුන්දර මුහුණ හඳුනා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ.
"නයෝමි?" ඔහුට කියවුණා.
෴ මතු සම්බන්ධ යි ෴