March 25, 2014

දෙයියන්ගේ ලෙඩ (නම වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම) මග අැරුණු අය යන්න ඕනේ අතුරු මංපෙත මෙන්න මේක යි . . .


ඒ රුව කෙමෙන් ළං වන විට ඉමාලිගේ සොඳුරු මුහුණ වියැකිලා ගිහින් ඒ වෙනුවට වෙනත් මුහුණක් මතු වුණේ අනුරාධගේ සිත මොහොතකට සිහිල් සුළං රැල්ලකින් පුරවමින්. නමුත් න‍යෝමි වැපිරූ සැකයේ මූල ධාතු තම සිත තුළ දළුලමින් තිබෙන බව ඔහු දැනගෙන උන්නා. ඒ හැඟීමෙන් මිදෙන්නේ කොහොම ද කියලා මග පෙන්වන පහන් සිළුවක් ඔහුගේ සිත් කොනක දැල්වෙමින් තිබුණා.

"කියපන්, අනුරාධ . . ." ඔහුගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් මාලින්ගේ හඬ නිසල යි.

"අපි ටිකක් කතා කරමු ද?"

මොනවා ගැන ද කියලා මාලින් ඇහුවේ නැහැ.

"උඹ කොහෙද ඉන්නෙ?"

"ගෝල්ෆේස් එකේ."

"හරි. මම පැය භාගයක් යන්න කලින් එන්නං."

ඇමතුම විසන්ධි කළාට පස්සේ අනුරාධගේ හිතට දැනුණේ සැනසීමක්. සිව් වසරක් පුරා ඔහුගේ ආදරයේ උරුමක්කාරිය වූ නයෝමි සහ සදාකාලික ව ඔහුගේ ජීවිතයේ හිමිකාරිය වූ ඉමාලි අතර ඔහුගේ සිත දෝලනය වුණා. දෙයාකාර වූ ඒ ආදර තුලාවේ වැඩි බරක් හිමි වුණේ ඉමාලිට. නමුත් ආදරය උතුරා ගලන තනි හදක් වෙනුවට එතැන තුලාවක් තිබුණේ හදවත දෙකට බෙදිලා තිබුණ නිසා!

අඩ හෝරවක් ගත වෙන්න කලින් මාලින් ගාලු මුවදොර පිටියට ආවේ චරිත් එක්ක. චරිත්ගේ මුහුණේ නිරතුරු ව ම රැඳි කෙළිබර සිනාව වියැකිලා බැරෑරුම් පෙනුමක් මතු වෙලා තිබුණා. ඔවුන් නිහඬ ව අනුරාධ ව මැදි කරගෙන අසුන් ගත්තා.

"කතා කරන්න කලින් කාල ඉඳපන්," නොයෙක් වර්ගයේ කෙටි කෑම පිරුණු කඩදාසි කවරයක් අනුරාධ දෙසට දිගු කරන ගමන් මාලින් නිහඬතාවය බින්දා.

"මට කන්න බැහැ, මාලින්."

"එහෙම නං කියපන් නයෝමි ව බලන්න ගියාට පස්සේ මොකද වුණේ?"

ඒ පැනයට පිළිතුරු බඳින්න අනුරාධට ඉඩක් නොලැබුණේ ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආ බව හඟවමින් ඉන් නිකුත් වූ සිහින් ශබ්දය නිසා. නයෝමිගේ දුරකථන අංකය ඔහු‍ගේ මතකයේ රුඳී තිබුණේ නැතත් ඒ නාඳුනන අංකය නයෝමිගේ බව ඔහු දැනගෙන හිටියා.

"His name is Buddhika." තනි වාක්‍යකින් සැඳි කෙටි පණිවිඩය කිව්වා.

"එයා ඉමාලි ගැන මං නොදන්න හුඟක් දේවල් දන්නවා වගේ," ජංගම දුරකථනය මාලින්ගේ අතට පත් කරමින් අනුරාධ පැවසුවේ දුක්බර ව!

"හ්ම්ම්, ඉමාලිගේ කලින් සම්බන්ධයක් ගැන?" දුරකථන තිරයට බැල්මක් හෙළමින් චරිත් ඇහුවේ නළල රැලි කර ගන්න ගමන්.

"ඔව්!"

"උඹ දැනගෙන හිටියේ නැද්ද?"

"මම කවදාවත් ඇහුවේ නැහැ, චරිත්. මට ඕනේ වුණේ හැම දෙයක් ම අමතක කරන්න."

"ඒ වුණාට . . ."

"මම දන්නවා උඹ කියන්න යන දේ. ඒත් පහුගිය දේවල් ගැන අපි කතා කරේ නැහැ. ඉමාලිට මුලින් ඒ ගැන කතා කරන්න ඕනේ වුණා. ඒත් මට එයා එක්ක නයෝමි ගැන කතා කරන්න හිතක් තිබුණේ නැහැ. මම කිව්වා පරණ දේවල් කතා කරන්න ඕනේ නැහැ කියලා."

"හ්ම්ම් . . ."

"අපි සතුටින් හිටියා, චරිත්."

"අපි දන්නවා බං. ඉමාලි හොඳ කෙල්ලෙක්."

"මම දන්නේ නෑ මට මොනවා වෙලා ද කියලා. මම ඉමාලිට ආදරෙයි. හුඟක් ආදරෙයි. ඒත් දැන් මගේ හිතේ එයා ගැන සැකයක් තියෙනවා," අනුරාධ කිව්වේ ඔහුගේ දෑස් කඳුළින් බොඳ‍ වෙද්දී.

"උඹේ හිතේ නයෝමි ගැනත් ආදරයක් තියෙනවා?"

"ඔව්. ඒත් ඉමාලිට වගේ නෙමෙයි. අනුකම්පාවක්. මොනවා වුණත් ඒ මම අවුරුදු හතරක් තිස්සේ මැරි මැරී ආදරේ කරපු ගෑනි කියලා මට අමතක කරන්න බැහැ, මාලින්."

"ඒ ගෑනි උඹ ව දාල ගියා, අනුරාධ."

"මම දන්නවා. ඒත් අද දරුවෙක් එක්ක අසරණ වෙලා. මම ඉමාලි ව බැන්දේ එයා ව දැක්ක දවසේ එයා ගැන ඇත්තට ම ආදරයක් හිතේ ඇති වුණ නිසා. ඉමාලි මාව සතුටෙන් තිබ්බා. ඒත් නයෝමි ගැන තියෙන ආදරේ, මතකයන් සැරෙන් සැරේ මතු වෙනවා."

"ඒ උඹ තාමත් එයා ඉස්සර හිටපු කෙනා කියලා හිතන නිසා."

"මම දන්නවා, චරිත්. ඒ හැඟීමෙන් මිදෙන්න තාමත් මට බැරි වුණා."

"හ්ම්ම් . . ."

"නයෝමි ව දැක්ක ම මට අපේ හීන මතක් වෙනවා, මාලින්. එදා සරසවියේ දී නයෝමි ව දැක්ක ම මට හිතුන දේවල්. කවදා හරි මං වගේ පුතෙක් මට දෙනවා කියපු කෙල්ල වෙන මිනිහෙක්ගේ දරුවෙක් වඩාගෙන ඉන්නකොට මට මොනව ද හිතෙන්නෙ? නයෝමි නිසා මට ඉමාලි එක්ක හීන මවන්න බැරි වුණා. හැම හීනෙක ම නයෝමි ඉන්නවා."

"මේ ගැන ඉමාලි එක්ක කතා කරපන්."

"මට බැහැ, චරිත්. මට ඉමාලි දුකෙන් ඉන්නවා බලන්න බැහැ. මට ඕනේ නයෝමි ව හිතෙන් ඈත් කරන්න. එයා මාව පිළිකුල් කරනවා බලන්න. මම මුල් කාලෙ දී එයාගෙන් අයින් වුණේ එහෙම යි. ඒත් දැන් එයා මට ළං වෙන්න හදනකොට එයාගේ ඈත් වෙනවා වෙනුවට මමත් එයාට ළං වෙනවා. මම දන්නවා මම කරන දේ වැරදි කියලා. ඒත් . . ."

"උඹ ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, අනුරාධ. මෙතන වැරදිකාරයා නයෝමි මිසක් උඹ නෙමෙයි. ඒකි දැන ගන්න ඕනේ උඹ බැඳපු මිනිහෙක් කියලා."

"හ්ම්ම් . . ."

"මේකට විසඳුමක් තියෙනවා, අනුරාධ. ඒත් නොහිතන දෙයක් වෙන්න පුළුවන් නිසා ඒ විසඳුමට යන්න මම කැමති නැහැ."

"මොකද්ද?" චරිත් සහ අනුරාධ ඇහුවේ එකවිට.

මාලින්ගේ සැලසුම සදහට ම වැළලිලා ගියේ ඉමාලිගේ දුරකථන ඇමතුමෙන්. ගැඹුරු හුස්මක් ගත් අනුරාධ එයට පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙන්.

"කියන්න, ඉමාලි."

"අනුරාධ," ඉමාලි වෙවුලන හඬින් කතා කරේ දෑස්වලින් කඳුළු බිඳු කඩා හැලෙද්දී.

"ඉමාලි, ඇයි මැණික ඔයා අඬන්නෙ? මොකද්ද වුණේ?"

"අනුරාධ," ඇය ආයෙමත් කිව්වා.

"අඬන්නේ නැතු ව මට කියන්න මොකද්ද වුණේ කියලා!"

"අම්මා කතා කරා. අප්පච්චිට හාට් ඇටෑක්  එක්ක හැදිලා ඉස්පිරිතාලේ අරගෙන ගිහින්."

"මම එන්නං කැම්පස් එක ළඟට. අපි නුවර යමු. මම එනකං කොහෙවත් යන්න එපා. කලබල නැතු ව ඉන්න. මම ඉක්මනට එන්නං. බුදු සරණයි, ඉමාලි."

"මොකද්ද වෙලා තියෙන්නෙ?" දුරකථන ඇමතුම අවසන් වෙනවත් එක්ක ම චරිත් ඇහුවා.

"ඉමාලිගේ අප්පච්චිට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඉමාලි හොඳට ම අඬනවා. මම එයා එක්ක නුවර යනවා," අනුරාධ කිව්වේ මෝටර් රථය දෙසට දිව යන ගමන්.

"අනුරාධ ඉමාලිට ආදරෙයි," චරිත් කිව්වේ සුසුමක් හෙළමින්.

"අනුරාධ ආදරේ ඉමාලිට විතර යි, චරිත්. ඌ හිතාගෙන ඉන්නේ ඌ නයෝමිටත් ආදරෙයි කියලා," මාලින් කිව්වේ මදහසක් පාමින්. "උඹට මතක ද නිලූ ඇක්සිඩන්ට් වුණ දවසේ නයෝමි අඬ අඬා ඉන්නකොට ඌ  බැන්නා 'ලෙඩා මැරෙන්න කලින් අඬන ගෑනු මට පේන්න බැහැ' කියලා?"

"හ්ම්ම්, හැම දෙයක් ම විස‍ඳෙන්න පුළුවන් හොඳ ම විදියට විස‍ඳෙයි."

෴  මතු සම්බන්ධ යි ෴

March 20, 2014

දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම)

කතාව මතක නැති උදවියට දෙයියන්ගේ ලෙඩ (සත් වැනි දිග හැරුම) කියවලා එන්න මග සලකුණු මෙන්න . . .


නයෝමිට උත්තර බඳින්න ඉඩ නොතබා ම අනුරාධ රෝහල් බිමෙන් පිටවෙලා ආවේ හිස ගිනි ගත්තෙකු විලසින්. ඔහුගේ උස් කටහඬ ඉදිරියේ අනෙකුත් රෝගීන් මෙන් ම වෛද්‍යවරුන් සහ හෙදියන් ද විශ්මයට පත් ව බලාගෙන උන් අයුරු ඔහු දුටුවත් ඒ පිළිබඳ ව අනුරාධ තැකීමක් කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ හැකි තරම් ඉක්මනින් නයෝමිගෙන් සදහට ම සමු ගන්න යි.

හෝරාවක පමණ කාලයක් කොළඹ මං මාවත් ඔස්සේ අරමුණක් නොමැති ව වාහනය පදවමින් උන් අනුරාධ අවසානයේ දී ගාලු මුවදොර පිටිය වෙත ළඟා වුණා. මදක් කලබලකාරී වුවත් එය ඉමාලි පිළිබඳ සොඳුරු මතකයන් ගොන්නක් සිහියට කැඳවාගෙන එන තැනක්.

ඒ හොඳින් හිරු පායා තිබුණ දීප්තිමත් දවසක්. දහවල් කාලය නිසා ගාලු මුවදොර පිටියේ එතරම් පිරිසක් දක්නට ලැබුණේ නැහැ. දැඩි සූර්ය රශ්මිය නිසා අනුරාධගේ ගතින් නැගුන දහඩියෙන් ඔහුගේ කමිසය පෙඟුණත් ඒ ගැන තැකීමක් නොකර කොන්ක්‍රීට් බැම්මක් මත වාඩි වුණ ඔහු කල්පනා කළේ නයෝමි පැවසූ දේවල් ගැන!

විවාහයට පෙර ඉමාලිට ප්‍රේම සම්බන්ධයක් තිබුණ බව අනුරාධ දැනගෙන හිටියේ ඔහු ඇය ව බලන්න ගිය පළමු දවසේ ම ඇය ඒ ගැන පැවසූ නිසා යි. නයෝමි සමග පැවතුන ප්‍රේම සම්බන්ධය බිඳී යාම නිසා හිත් තැවුලෙන් උන් අනුරාධ, ඉමාලි ව බලන්න ගියේ අම්මගේ බල කිරීමට. තවත් බැඳීමකට යටත් වී දුක් විඳින්න ඔහු අකැමැති වූ නිසා ඊට පෙර කිහිප වතාවක් ම ගෙන ආ යෝජනා කිසිම හේතුවක් ඉදිරිපත් නොකර ම ඔහු ප්‍රතික්ෂේප කළා.

නමුත් ඉමාලි වෙනස්. බොහොම හෙමින් ලෑස්ති වෙලා පණ අදින මිනිහෙක් වගේ අමාරුවෙන් මුලින් ම ඇගේ ගෙදරට ගිය දවස සිහිවෙලා අනුරාධගේ මුවට නැගුනේ මද සිනාවක්. මනා ව නඩත්තු කළ ගෙවත්තක් මැද පිහිටි එය සිංහල උළු සෙවිලි කළ පැරණි තාලයේ විශාල ගෙයක්.

මංගල නඩය සාදරයෙන් පිළි ගත්තේ විදුහල්පතිවරයෙක් වෙච්ච ඉමාලිගේ අප්පච්චි! ආගිය තොරතුරු කතාබහ කරාට පස්සේ අම්මාගේ ඇරයුමින් බුලත් හෙප්පුවකුත් අරගෙන අනුරාධ ව මුණ ගැහෙන්න ඉමාලි ආවේ රන්වන් මල් මෝස්තරයක් ගෙත්තම් වූ කොළ පැහැ ඔසරියකින් සැරසිලා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා තිබුණේ ලැජ්ජාවෙන් වගේ.

සෙමින් පිය නගමින් අනුරාධ ළඟට ආ ඇය බුලත් හෙප්පුව ‍ඔහු දෙසට දිගු කළේ ඔහුගේ දෙනෙතට එබෙමින්. ඇගේ දිදුලන දෑසේ රැඳිලා තිබිච්ච බැල්ම එක මොහොතකට ඔහු ව සලිත කළා. ඒ බැල්ම අවංක යි. සෘජු යි. අනුරාධ බුලත් හෙප්පුව තමන්ගේ අතට ගත්තා ම ඉමාලිගේ දෙතොල් මත සිත්තම් වුණේ සොඳුරු මදහසක්.

නයෝමි තරමට ම නොවුණත් ඇය රූමත්. ඉඟටිය දක්වා කඩා හැලුණු තද කළු පැහැ කෙස් කළඹ, මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්ත වුණ ඇගේ සිහින් සිරුර මෙන් ම සමෙ හි වූ ඇත් දළ පැහැයත් මනා ව ඉස්මතු කළා. 

තේ පැන් සංග්‍රහයෙන් අනතුරු ව ගෙමිදුලේ පුරා කහ පැහැ මල් පෙති විසිර වූ ඇසළ ගහ යට තිබිච්ච ලී බංකුවේ වාඩි වෙලා ඉමාලි එක්ක කතාබහ කරද්දී අනුරාධගේ හිතට දැනුණේ සතුටක්. ඇය සැහැල්ලුවෙන් සිනාසෙමින් කතාබහට එක් වුණේ ඔහුගේ ඇසුර ප්‍රිය කරමින්.

"මම කැමති යි ඔයා ව බඳින්න," අනුරාධ කිව්වේ සැහැල්ලුවෙන්.

තමන් කියන දේ ගැන ඔහුගේ හිතේ තිබුණේ දැඩි විශ්වාසයක්. මේ මොහොතේ දී ගත යුතු නිවැරදි ව තීරණය එය බව කියමින් අනුරාධගේ හිත කෑ ගැහුවා.

ඔහුට පිළිතුරක් දෙනවා වෙනුවට ඇය විසල් කර ගත් දෙනෙතින් මොහොතක් ඔහු දෙස බලාගෙන සිටියා. ක්‍රමයෙන් ඇගේ මුහුණේ දඟකාර සිනාවක් මතු වුණා.

"මම කැමති වුණේ නැත්තං?"

"එතකොට නං ඉතින් කරන්න දෙයක් නෑ. ඒ වුණාට අකැමැති වෙන එක්ක නෑ කියලා මට හිතෙනවා."

"එහෙම කියන්නේ කොහොම ද?"

"කොහොම හරි. ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ."

"ඔයාගේ තීරණේ හරි කියලා ස්ථිර කර ගන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා," ඉමාලි කිව්වේ තීරණාත්මක කටහඬකින්. 

"මට කලින් සම්බන්ධයක් තිබුණා. සෑහෙන්න කාලයක් තිස්සේ. හ්ම්ම්, අවුරුදු පහක් විතර! මම හිතුවේවත් නැති විදියට . . ."

"ඉමාලි," අනුරාධ කිව්වේ ඇයට බාධා කරමින්. "මට ඔයා කියන දේ තේරෙනවා. මටත් කලින් සම්බන්ධයක් තිබුණා. ඒ ගෑනු ළමයා මාව දාල ගියා. හිත හදා ගත්තේ හුඟක් උත්සාහ කරලා. ඒ අතරේ අම්මලා යෝජනා ගෙනවා. මට ‍ඔයා ව තේරුම් ගන්න පුළුවන්. අපි දෙන්නා කවදා හරි කසාඳ බඳිනවා නං අතීතේ වෙච්ච ‍ඒ දේවල් අමතක කරලා අපි අලුතෙන් පටන් ගමු. මට දැන් ඕනේ ඒ දේ. තවත් දුක් විඳින්න ඕනේ නැහැ."

"හොඳයි! ඒත් මට දැන් ම . . ."

"ඔයා දැන් ම උත්තරයක් දෙන්න ඕනේ නෑ. හොඳට කල්පනා කරලා බලලා කියන්න."

සති කිහිපයකට පස්සේ දුන්න ඉමාලිගේ පිළිතුරෙන් පස්සේ ඔවුන් පෙම්වතුන් වුණේ දෙපාර්ශවයේ ම මව්-පිය ආශිර්වාදය මැද! ඉමාලි ඔහුගේ ජීවිතය වෙනස් කළේ අලුත් බලාපොරොත්තු ඇති කරමින්. ඇගේ උපාධි ප්‍රදානෝත්සවයෙන් මාස කිහිපයකට පසු ව ඔවුන් විවාහ වුණා. වසරකට ආසන්න ඔවුන්ගේ යුග දිවිය ගෙවී ගියේ සතුටින්. ඒ වගේ ම සැහැල්ලුවෙන්.

නමුත් දැන් ඔහු හිතේ නිදහසක් නොමැති ව යළිත් වරක් දුක් විඳිනවා. නයෝමිගේ අවසන් වදන් පෙළ ඔහුට වද දුන්නා. ඉමාලිට කලින් ප්‍රේම සම්බන්ධතාවක් තිබුණ බව ඇය අනුමාන කළා පමණ ද? නැත්තං ඉන් එහාට ගිය යමක් ඇය දන්නවා ද?

ඉමාලිගේ පැරණි පෙම්වතා ගැන කිසිදු තොරතුරක් අනුරාධ දැනගෙන හිටියේ නැහැ. කවදාවත් ඔහු ඇගෙන් ඒ පිළිබඳ විමසුවේ නැත්තේ නයෝමි ගැන මතකයන් හරා අවුස්සන එක කොතරම් ද වේදනාකාරී අත්දැකීමක් ද කියලා ඔහු දැනගෙන උන් නිසා යි. ඒ ගැන අද ඔහු‍ට දැනුණේ කනගාටුවක්.

අනෙක් අතට ඒ කිසිවක් දැන් වැදගත් නැති බව ඔහු‍ට හැඟුණා. යළිත් කිසිදු දිනෙක නයෝමි ව හමු නොවීමට ඔහු තීරණය කළ අවසන්. ඉමාලිගේ ප්‍රේම සම්බන්ධතා ගැන ඇය විමසන තුරු ම අනුරාධ එය ප්‍රශ්නයක් ව තිබුණේ නැහැ. ඉතින්, ඉදිරියට එය ප්‍රශ්නයක් කර ගන්නේ කුමකට ද?

යළිත් වරක් කාර්යාලයට යන්න හිතාගෙන අනුරාධ කොන්ක්‍රීට් බැම්ම මතින් නැගී සිටියා. ඔහුගේ සිත සැහැල්ලු යි. නමුත් ඈතින් ඇවිදගෙන එන පෙම්වතුන් යුවළක් දකින විට සිතේ රැඳිච්ච ඒ සැහැල්ලුව ක්ෂණයෙන් නැති වෙලා ගියා. අඳුරු රතු පැහැ ඔසරියකින් සැරසුණු යුවතියක්. ඒ ඇගේ උපන් දිනයට ඔහු රැගෙන දුන් සාරිය!

ඉමාලි! අනුරාධගේ සිත යළිත් වරක් කෝපයේ ගිනි දැල්ලට මැදි වුණා.

෴  මතු සම්බන්ධ යි ෴

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...