ඉන් පසු ව එළැඹි අඩ හෝරාවක පමණ කාලය අනුරාධ ගත කළේ ඉහළ ම තට්ටුවේ තිබුණ පොත්පත් පෙරළා බලමින්. එයින් බොහෝමයක් බුද්ධික විසින් ඉමාලිට තිළිණ කරන ලද ඒවා යි. ඒ හැම එකක ම වගේ ඉමාලිගේ සිතුවම් සහ කවි පද දක්නට ලැබුණා.
නමුත් බුද්ධිකගේ සිතුවමක් තිබුණේ ජයසේන ජයකොඩි ශූරීන්ගේ ‘අමා වැස්ස’ පොතේ අවසාන පිටුවේ පමණ යි. ඔහුගේ මුහුණ දිගැටි යි. අකීකරු කෙස් රොදක් නළලට වැටී තිබුණා. සිහින් දෙතොල් මත ඇඳුණු මදහස දුක්බර වුවත් දීප්තියෙන් දැල්වුණු දෑස්වල රැඳුණේ ඉතාමත් නිශ්චල බැල්මක්. ඒ බැල්ම අනුරාධගේ සිතේ තිබුණ තරහව සහ ඊර්ශ්‍යාව ඔහුටත් හොරෙන් දිය කරලා දැම්මා.
නික්ම ගියත් අද
බලා ඉන්නෙමි මම
මතු දිනෙක නුඹ
මා වෙතට පැමිණෙන තුරු
එක් ව යන්නට මේ සසර ගමන
සිදුහත් හා යසෝදරා විලස ...
- බුද්ධික -
පොත් සියල්ල ම නැවතත් පෙර පරිදි ම රාක්කයෙන් තැන්පත් කරපු අනුරාධ ඇඳේ වැතිරුණේ කුතුහලය සහ සන්තාපය මුසු වූ හැඟුම් සමුදායක් හිතේ දරාගෙන. පොත්වල ඔහු දුටු කවි පද, සිතුවම් සහ සටහන් හැම එකක් ම පෙන්නුම් කළේ බුද්ධිකගේ සහ ඉමාලිගේ ආදර කතාව, ඔහුගේ සහ නයෝමිගේ කතාවට වඩා හාත්පසින් ම වෙනස්, ගැඹුරු අවබෝධයක් මත ශක්තිමත් ව ගොඩ නැගුණු ඉතාමත් සතුටින් ගෙවී ගිය එකක් බව යි. එය එසේ තිබිය දී එකවර ම ඔවුන්ගේ විවාහයට තෙවසරකට පෙර බුද්ධික, ඉමාලි ව හැර යාමට හේතුව ඔහුට තේරුම් ගැනීමට හැකි වුණේ නැහැ.
මුළු රැය ම කල්පනා ලොව සහ අඩ නින්ද අතර දෝලනය වෙමින් ගත කළ අනුරාධ, පසු දා පාන්දරින් ම නැවතත් කොළඹ බලා පැමිණියේ හැකි අයුරින් බුද්ධික ගැන තොරතුරු සොයා බැලීමේ අරමුණ පෙරදැරි කරගෙන. ඉමාලිගෙන් ඒ පිළිබඳ ව විමසන්න ඔහුට සිතුනත් පසු ව එම අදහස ඔහු අත් හැර දැම්මා.
කාර්යාලට පැමිණි වහා ම ඔහු නයෝමිට දුරකථන ඇමතුමක් ලබා දුන්නත් ඇගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කිහිප වතාවක් ම උත්සාහ කිරීමෙන් පසු ඇය ව සම්බන්ධ කර ගන්න ඔහුට හැකි වුණා.
“කියන්න, අනුරාධ.”
“මට ඔයා ව මුණ ගැහෙන්න ඕනේ.”
“ඇයි හදිස්සියේ ම?”
“මට කතා කරන්න දෙයක් තියෙනවා.”
“බුද්ධික ගැන ද?”
“හ්ම්ම්ම්.”
“මම ගාල්ලෙ ඉන්නේ. තව දවස් දෙකකින් කොළඹ එන්නේ. එතකොට අපි මුණ ගැහිලා කතා කරමු.”
“ඔයා බුද්ධික ව දන්නේ කොහොම ද?”
“එයා අපේ ෆැකල්ටි එකේ හිටියේ.”
“පේරා?”
“ඔව්. ඔයා දන්නේ නැති වුණාට ආර්ට්ස් එකේ ප්‍රසිද්ධ චරිතයක්.”
“හ්ම්ම්ම්.”
“ඔයා කොහොම ද ඔච්චර විශ්වාසෙට කියන්නේ එයාට ඉමාලි එක්ක සම්බන්ධයක් තිබුණා කියලා?”
“එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒත් කවදාවත් ඉමාලිගේ ඇරෙන්න වෙන ගෑනු කෙනෙක්ගේ රූපයක් ඇන්දේ ම නැහැ. ඉතින්, ඔයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ තියෙන ඉමාලිගේ රූප දැක්ක ම මට එයා ව අඳුර ගන්න එක එච්චර ම අමාරු වුණේ නැහැ.”
“එයා ඉමාලිගෙන් අයින් වුණේ ඇයි?”
“මම කොළඹ ඇවිල්ලා ඔයාට කතා කරන්නං, අනුරාධ.”
අනුරාධට උත්තරයක් දෙන්න ඉඩ නොතබා ම නයෝමි දුරකථනය විසන්ධි කළේ ඔහුගේ සිත බර කරමින්. කාර්යාලයේ වැඩකටයුතු අතරේ අන්තර්ජාලය පුරා සැරිසරමින් බුද්ධික ගැන තොරතුරු සොයන්න අනුරාධ උත්සාහ කළත් කිසිවක් සොයා ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ.
✾ ✾ ✾
බුද්ධික ගැන තොරතුරක් හෝ නයෝමිගෙන් දුරකථන ඇමතුමක් නොමැති ව ගත වී ගිය දෙදිනක කාලය ඉතාමත් දිගු බව යි අනුරාධට දැනුණේ. නයෝමි ඔහුගේ දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම නතර කර තිබුණා. ඒ ඇයි දැයි තේරුම් ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ.
කල්පයක් සේ දැනුණු කාලයකට පසු ව නයෝමිගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේ ගිනි බෝලයක් සේ හිරු දැවෙමින් පැවති දහවලක යි. දුරකථන තිරය මත සටහන් ව තිබුණු අංකය දුටු විට අනුරාධගේ හිතට සැනසීමක් දැනුණා. නයෝමිගේ දුරකථන ඇමතුම, අනුරාධගේ සිතේ පැවති දාහය නිවලන්නට හමාගෙන ආ මද පවනක් වගේ.
“අනුරාධ.”
නයෝමිගේ කටහඬේ තිබුණේ ජයග්‍රාහී ස්වරයක්.
“මං එදා කතා කරේ බුද්ධික ගැන දැන ගන්න ඕනෙ නිසා.”
“බුද්ධික ගැන කියන්න කලින් මං ගාල්ලෙ ගියේ ඇයි කියලා අහන්නෙ නැද්ද?”
නයෝමි යළිත් වරක් අනුරාධගේ අවුල් වූ මනස සමග සෙල්ලම් කරමින් සිටියා.
“ඒ ගැන ...”
“ඔයා වෙනස් වෙලා දැන්.”
“ඔයාගේ පෞද්ගලික දේවල් මට වැඩක් නැහැ නේහ්, නයෝමි.”
“හ්ම්ම්ම්.”
“ඉතින් ...” අනුරාධ අයෙමත් බුද්ධික ගැන කතාවට මුල පිරුවා.
“බුද්ධික ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා. මෙහෙම කියන්න බැහැ. ඔයාට පුළුවන් ද හෙට මාව මුණ ගැහෙන්න එන්න?”
“මට හෙට ...”
“හවසට 4 ට වගේ. මං තැන කියලා මැසේජ් එකක් දාන්නං.”
නයෝමිගේ අංකය දුරකථන තිරය මත දුටු විට අනුරාධට දැනුණු සැනසීම ඇමතුම විසන්ධි වීම සමග ම නැති වී ගියා. ඔහුට දැනුණේ හිස පුපුරන්නට තරම් වේදනා දෙන බවක්. ජංගම දුරකථනය මේසය මතින් තැබූ ඔහු නිදන කාමරයට පියමන් කළේ ඉමාලිගේ සුවඳ රැඳුණු යහනේ වැතිරීමේ අරමුණෙන්.
“අනුරාධ, ඇයි මේ?”
ඉමාලිගේ සීතල සුරතේ මුදු පහස ඔහුගේ බාහුවට දැනුණා. ඇගේ කටහඬ සෞම්‍ය යි. කාරුණික යි. අනුකම්පා සහගත යි.
“ඔළුව රිදෙනවා හොඳට ම,” ඉමාලිගේ මුහුණ දෙස බලමින් අනුරාධ පිළිතුරු දුන්නේ ඔහු කොපමණ වේලාවක් නිදා සිටියා දැයි මතක් කර ගැනීමට උත්සාහ කරමින්.
ඉමාලිගේ මුහුණේ විඩාබර මදහසක් මතු වුණා.
“ඔළුව රිදෙනවා නෙමෙයි. හොඳට ම උණ ඔයාට.”
෴ මතු සම්බන්ධ යි ෴
No comments:
Post a Comment