March 25, 2014

දෙයියන්ගේ ලෙඩ (නම වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම) මග අැරුණු අය යන්න ඕනේ අතුරු මංපෙත මෙන්න මේක යි . . .


ඒ රුව කෙමෙන් ළං වන විට ඉමාලිගේ සොඳුරු මුහුණ වියැකිලා ගිහින් ඒ වෙනුවට වෙනත් මුහුණක් මතු වුණේ අනුරාධගේ සිත මොහොතකට සිහිල් සුළං රැල්ලකින් පුරවමින්. නමුත් න‍යෝමි වැපිරූ සැකයේ මූල ධාතු තම සිත තුළ දළුලමින් තිබෙන බව ඔහු දැනගෙන උන්නා. ඒ හැඟීමෙන් මිදෙන්නේ කොහොම ද කියලා මග පෙන්වන පහන් සිළුවක් ඔහුගේ සිත් කොනක දැල්වෙමින් තිබුණා.

"කියපන්, අනුරාධ . . ." ඔහුගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් මාලින්ගේ හඬ නිසල යි.

"අපි ටිකක් කතා කරමු ද?"

මොනවා ගැන ද කියලා මාලින් ඇහුවේ නැහැ.

"උඹ කොහෙද ඉන්නෙ?"

"ගෝල්ෆේස් එකේ."

"හරි. මම පැය භාගයක් යන්න කලින් එන්නං."

ඇමතුම විසන්ධි කළාට පස්සේ අනුරාධගේ හිතට දැනුණේ සැනසීමක්. සිව් වසරක් පුරා ඔහුගේ ආදරයේ උරුමක්කාරිය වූ නයෝමි සහ සදාකාලික ව ඔහුගේ ජීවිතයේ හිමිකාරිය වූ ඉමාලි අතර ඔහුගේ සිත දෝලනය වුණා. දෙයාකාර වූ ඒ ආදර තුලාවේ වැඩි බරක් හිමි වුණේ ඉමාලිට. නමුත් ආදරය උතුරා ගලන තනි හදක් වෙනුවට එතැන තුලාවක් තිබුණේ හදවත දෙකට බෙදිලා තිබුණ නිසා!

අඩ හෝරවක් ගත වෙන්න කලින් මාලින් ගාලු මුවදොර පිටියට ආවේ චරිත් එක්ක. චරිත්ගේ මුහුණේ නිරතුරු ව ම රැඳි කෙළිබර සිනාව වියැකිලා බැරෑරුම් පෙනුමක් මතු වෙලා තිබුණා. ඔවුන් නිහඬ ව අනුරාධ ව මැදි කරගෙන අසුන් ගත්තා.

"කතා කරන්න කලින් කාල ඉඳපන්," නොයෙක් වර්ගයේ කෙටි කෑම පිරුණු කඩදාසි කවරයක් අනුරාධ දෙසට දිගු කරන ගමන් මාලින් නිහඬතාවය බින්දා.

"මට කන්න බැහැ, මාලින්."

"එහෙම නං කියපන් නයෝමි ව බලන්න ගියාට පස්සේ මොකද වුණේ?"

ඒ පැනයට පිළිතුරු බඳින්න අනුරාධට ඉඩක් නොලැබුණේ ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආ බව හඟවමින් ඉන් නිකුත් වූ සිහින් ශබ්දය නිසා. නයෝමිගේ දුරකථන අංකය ඔහු‍ගේ මතකයේ රුඳී තිබුණේ නැතත් ඒ නාඳුනන අංකය නයෝමිගේ බව ඔහු දැනගෙන හිටියා.

"His name is Buddhika." තනි වාක්‍යකින් සැඳි කෙටි පණිවිඩය කිව්වා.

"එයා ඉමාලි ගැන මං නොදන්න හුඟක් දේවල් දන්නවා වගේ," ජංගම දුරකථනය මාලින්ගේ අතට පත් කරමින් අනුරාධ පැවසුවේ දුක්බර ව!

"හ්ම්ම්, ඉමාලිගේ කලින් සම්බන්ධයක් ගැන?" දුරකථන තිරයට බැල්මක් හෙළමින් චරිත් ඇහුවේ නළල රැලි කර ගන්න ගමන්.

"ඔව්!"

"උඹ දැනගෙන හිටියේ නැද්ද?"

"මම කවදාවත් ඇහුවේ නැහැ, චරිත්. මට ඕනේ වුණේ හැම දෙයක් ම අමතක කරන්න."

"ඒ වුණාට . . ."

"මම දන්නවා උඹ කියන්න යන දේ. ඒත් පහුගිය දේවල් ගැන අපි කතා කරේ නැහැ. ඉමාලිට මුලින් ඒ ගැන කතා කරන්න ඕනේ වුණා. ඒත් මට එයා එක්ක නයෝමි ගැන කතා කරන්න හිතක් තිබුණේ නැහැ. මම කිව්වා පරණ දේවල් කතා කරන්න ඕනේ නැහැ කියලා."

"හ්ම්ම් . . ."

"අපි සතුටින් හිටියා, චරිත්."

"අපි දන්නවා බං. ඉමාලි හොඳ කෙල්ලෙක්."

"මම දන්නේ නෑ මට මොනවා වෙලා ද කියලා. මම ඉමාලිට ආදරෙයි. හුඟක් ආදරෙයි. ඒත් දැන් මගේ හිතේ එයා ගැන සැකයක් තියෙනවා," අනුරාධ කිව්වේ ඔහුගේ දෑස් කඳුළින් බොඳ‍ වෙද්දී.

"උඹේ හිතේ නයෝමි ගැනත් ආදරයක් තියෙනවා?"

"ඔව්. ඒත් ඉමාලිට වගේ නෙමෙයි. අනුකම්පාවක්. මොනවා වුණත් ඒ මම අවුරුදු හතරක් තිස්සේ මැරි මැරී ආදරේ කරපු ගෑනි කියලා මට අමතක කරන්න බැහැ, මාලින්."

"ඒ ගෑනි උඹ ව දාල ගියා, අනුරාධ."

"මම දන්නවා. ඒත් අද දරුවෙක් එක්ක අසරණ වෙලා. මම ඉමාලි ව බැන්දේ එයා ව දැක්ක දවසේ එයා ගැන ඇත්තට ම ආදරයක් හිතේ ඇති වුණ නිසා. ඉමාලි මාව සතුටෙන් තිබ්බා. ඒත් නයෝමි ගැන තියෙන ආදරේ, මතකයන් සැරෙන් සැරේ මතු වෙනවා."

"ඒ උඹ තාමත් එයා ඉස්සර හිටපු කෙනා කියලා හිතන නිසා."

"මම දන්නවා, චරිත්. ඒ හැඟීමෙන් මිදෙන්න තාමත් මට බැරි වුණා."

"හ්ම්ම් . . ."

"නයෝමි ව දැක්ක ම මට අපේ හීන මතක් වෙනවා, මාලින්. එදා සරසවියේ දී නයෝමි ව දැක්ක ම මට හිතුන දේවල්. කවදා හරි මං වගේ පුතෙක් මට දෙනවා කියපු කෙල්ල වෙන මිනිහෙක්ගේ දරුවෙක් වඩාගෙන ඉන්නකොට මට මොනව ද හිතෙන්නෙ? නයෝමි නිසා මට ඉමාලි එක්ක හීන මවන්න බැරි වුණා. හැම හීනෙක ම නයෝමි ඉන්නවා."

"මේ ගැන ඉමාලි එක්ක කතා කරපන්."

"මට බැහැ, චරිත්. මට ඉමාලි දුකෙන් ඉන්නවා බලන්න බැහැ. මට ඕනේ නයෝමි ව හිතෙන් ඈත් කරන්න. එයා මාව පිළිකුල් කරනවා බලන්න. මම මුල් කාලෙ දී එයාගෙන් අයින් වුණේ එහෙම යි. ඒත් දැන් එයා මට ළං වෙන්න හදනකොට එයාගේ ඈත් වෙනවා වෙනුවට මමත් එයාට ළං වෙනවා. මම දන්නවා මම කරන දේ වැරදි කියලා. ඒත් . . ."

"උඹ ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, අනුරාධ. මෙතන වැරදිකාරයා නයෝමි මිසක් උඹ නෙමෙයි. ඒකි දැන ගන්න ඕනේ උඹ බැඳපු මිනිහෙක් කියලා."

"හ්ම්ම් . . ."

"මේකට විසඳුමක් තියෙනවා, අනුරාධ. ඒත් නොහිතන දෙයක් වෙන්න පුළුවන් නිසා ඒ විසඳුමට යන්න මම කැමති නැහැ."

"මොකද්ද?" චරිත් සහ අනුරාධ ඇහුවේ එකවිට.

මාලින්ගේ සැලසුම සදහට ම වැළලිලා ගියේ ඉමාලිගේ දුරකථන ඇමතුමෙන්. ගැඹුරු හුස්මක් ගත් අනුරාධ එයට පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙන්.

"කියන්න, ඉමාලි."

"අනුරාධ," ඉමාලි වෙවුලන හඬින් කතා කරේ දෑස්වලින් කඳුළු බිඳු කඩා හැලෙද්දී.

"ඉමාලි, ඇයි මැණික ඔයා අඬන්නෙ? මොකද්ද වුණේ?"

"අනුරාධ," ඇය ආයෙමත් කිව්වා.

"අඬන්නේ නැතු ව මට කියන්න මොකද්ද වුණේ කියලා!"

"අම්මා කතා කරා. අප්පච්චිට හාට් ඇටෑක්  එක්ක හැදිලා ඉස්පිරිතාලේ අරගෙන ගිහින්."

"මම එන්නං කැම්පස් එක ළඟට. අපි නුවර යමු. මම එනකං කොහෙවත් යන්න එපා. කලබල නැතු ව ඉන්න. මම ඉක්මනට එන්නං. බුදු සරණයි, ඉමාලි."

"මොකද්ද වෙලා තියෙන්නෙ?" දුරකථන ඇමතුම අවසන් වෙනවත් එක්ක ම චරිත් ඇහුවා.

"ඉමාලිගේ අප්පච්චිට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඉමාලි හොඳට ම අඬනවා. මම එයා එක්ක නුවර යනවා," අනුරාධ කිව්වේ මෝටර් රථය දෙසට දිව යන ගමන්.

"අනුරාධ ඉමාලිට ආදරෙයි," චරිත් කිව්වේ සුසුමක් හෙළමින්.

"අනුරාධ ආදරේ ඉමාලිට විතර යි, චරිත්. ඌ හිතාගෙන ඉන්නේ ඌ නයෝමිටත් ආදරෙයි කියලා," මාලින් කිව්වේ මදහසක් පාමින්. "උඹට මතක ද නිලූ ඇක්සිඩන්ට් වුණ දවසේ නයෝමි අඬ අඬා ඉන්නකොට ඌ  බැන්නා 'ලෙඩා මැරෙන්න කලින් අඬන ගෑනු මට පේන්න බැහැ' කියලා?"

"හ්ම්ම්, හැම දෙයක් ම විස‍ඳෙන්න පුළුවන් හොඳ ම විදියට විස‍ඳෙයි."

෴  මතු සම්බන්ධ යි ෴

40 comments:

  1. ධාරා නුලෙන් බේරුන බවක් මට හැගී යනවා තව පොඩ්ඩෙන් ඉමාලි ගේ චරිතය ඝාතනය කරන්න ගොහින්..දැන් ඉතින් නුවර යමුකෝ ඉතුරු ටික බලන්න... ^_^

    ReplyDelete
    Replies
    1. ළහිරුත් මුල් ම කොමෙන්ටුව දාන්න ගිහින් මොණරිට අහු නොවී නූලෙන් බේරුණු බවක් මට පෙනී යනවා :)

      Delete
    2. මොකක් ගැනද මේ ජෝඩුව කියන්නේ ??

      Delete
    3. මේකේ නුලෙන් බේරුණු කතාව තෙරුන් නෑ.. :3 ලහිරුටත් තෙරුන් නැති බව කිව්වා..

      Delete
    4. ඔයා කලින් තේරුම් ගත්ත විදිය හරි, මොණරි. ළහිරු හැමදාම පෝස්ට් එක දාපු ගමන් දුවගෙන එන්නේ ඉක්මනට කියවලා පළවෙනි කමෙන්ටුව දාන්න. අද නූලෙන් බේරිලා. එයා කමෙන්ට් කරලා විනාඩි පහක් යන්න කලින් ඔයත් කමෙන්ට් කරලානේ. බැරි වෙලා හරි එයා විනාඩි 5 ක් පරක්කු වුණා නං පළවෙනි තැන මිස් වෙනවා!

      Delete
  2. කෝ දැන් අර ගෝල්face එකේ දැක්ක කිව්ව් ඉමාලි ගේ සීන් එක.. එය කොහේ ගිහින් ද :o

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ඉදන් ද කියෙව්වේ කතාව,දැක්කේ නැද්ද උන දේ කියවලා නැහැ මට පෙන්නේ හරියට මෙයා ??

      Delete
    2. උඩින් ම කියලා තිබු‍ණේ ඉමාලිගේ මුහුණ වියැකිලා වෙන මුහුණක් මතු වුණා කියලා :( හරියට කියවන්නේ නැද්ද උඹ?

      Delete
    3. දැනුයි දැක්කේ :3

      මේක ඉවර වෙන්නේ කවදද බන්

      Delete
    4. උඹට අද ඉවර කර ගන්න ඕනේ නං අදින් පස්සේ මේක කියවන්නේ නැතු ව වෙන්න පුළුවන් අවස්ථා හිතේ මවා ගනිං :) එතකොට කතාව ඉවර යි! හ්ම්ම්, තව කොටසක් දෙකක් තුනක් වගේ තමයි!

      Delete
  3. එකනේ මම කිවේ හොරෙන් ලව් කරන අය කවද්ද ගාලු මුවදොර ගියේ...?

    ReplyDelete
    Replies
    1. මනෝජ් අයියට ජය වේවා! ෂර්ලොක් බලලා ද මන්දා මෙච්චර දක්ෂ වෙලා තියෙන්නේ :)

      Delete
    2. ඒකනේ නගෝ ෂර්ලොක් බලලා,කියවාලාම මමත් දැන් ඒයා වගේ තමයි....:D

      Delete
    3. හොඳයි හොඳයි :) දිගට ම බලමු එහෙම නං!

      Delete
  4. යන්තම් ඉමාලි බේරුනා ..ධාරාත් ඇඟේ මාළු ගඟේ නටන වැඩ තමයි කරන්නේ .

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියත් හරි වැඩකාරයෙක් තමයි! නැත්තං කොහොම ද ඇ‍‍ඟේ මාළු ග‍ඟේ නටන්නෙ? බයත් හිතෙනවා :)

      Delete
  5. ඒක කලින් සම්බන්ධයක් නම්, ඒ ගැන විස්තර කියන්න යත්දි ඒක නැවැත්තුවෙත් අනුරාධම නම්… දැන් මොන එහෙකටද මෙච්චර නහින්නෙ.? අනේ මන්දා මේ මනුස්සයා.

    ඉමාලිගෙ චරිතය බේරා දීම වෙනුවෙන් මාගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. උපහාරය වෙනුවෙන් මගේ ප්‍රණාමය! එහෙම තමයි ප්‍රියා අයියේ මිනිස්සු. සමහර වෙලාවට අපි උනන්දු වෙන්නේ නැති දේවල් පස්සේ ඕනේ වෙනකොට හිතට කොච්චර නං දුකක් දැනෙනවා ද?

      Delete
  6. අප්පටසිරි... තාත්තට හාට් ඇටෑක් එකක් හැදිලා නේ.. මේ ලඟදි නුවර ගිහින් ආවා විතරමයි..

    ReplyDelete
    Replies
    1. ඔයැයි ඉතින් මේ දවස්වල රට පුරා සංච‍ාරය කර එකේ නුවර මග ඇරෙන්නේ කොහොම ද?

      Delete
    2. මේ ටිකේ විතරයි නඟා ඇවිදින්ඩ ලැබෙන්නේ... ඊට පස්සේ හෙල්ලෙන්ඩ වෙන් නෑ..

      Delete
    3. ඒ කියන්නේ ළඟ දී අපිට කේක් ලැබෙයි වගේ :)

      Delete
  7. //හැම දෙයක් ම විස‍ඳෙන්න පුළුවන් හොඳ ම විදියට විස‍ඳෙයි// බලමුකො එහෙනම් ඊලඟ කොටසෙදි මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. බලමුකෝ බලමුකෝ තුශානි අක්කේ මොකද වෙන්නේ කියලා!

      Delete
  8. මම හිතන්නෙ මට කොටස් කීපයක් මග ඇරුණා. නිවී හැනහිල්ලෙ ඇවිත් ඒ ටික කියවන්නම් ධාරෝ!

    ReplyDelete
    Replies
    1. දිලිනි අක්කා ව දැක්කේ කාලෙකින්. ඔයාට එක කොටසක් මග ඇරිලා තියෙන්නේ :) හෙමින් සැරේ කියලා එන්නකෝ එහෙම නං!

      Delete
  9. ධාරා කතාවේ ටෝන් එක විනාස කරගෙන නෑ කාලෙකින් ඇවිත් ලියුවත්.. ජය වේවා.. හැමදේම හොදින් විසදෙන්න ඕන කියල මාත් හිතනවා..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ දේශකයෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා! තැන්කූ වේවා ඇගයුමට.

      Delete
  10. මට වෙලාවකට මේ අනුරාධ එක්ක මාරම තරහයි. එයාම ඉමාලිගෙ අතීත කථා අහන්න ඕන නෑ කියලා දැන් ඉමාලිව සැක කරනවා :(

    ReplyDelete
    Replies
    1. එහෙම තරහා ගන්න එපා, අක්කියෝ. වයස යයි ඉක්මනට :)

      Delete
  11. හරිනේ ඉමාලි නෙවි නේ.... ඒ ඉඳලා තියෙන්නේ. ධාරා කතාව දිගට කියවගෙන යද්දී මටහිතුන දෙයක් මේ වගේ අවස්ථාවකට පත් වෙච්ච ගැහැණියක් සහ පිරිමියෙක් හැසිරෙන්නේ දෙයාකාරයකට, පිරිමියෙක් සාමාන්‍යයෙන් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නානම් ඔවැනි අවස්ථාවකට පත්වෙච්ච ගැහැණියකගේ තරම් සිත ව්‍යාකූල කරගන්නේ නෑ. කතාව කියවගෙන යද්දී අනුරාධගේ චරිතයේ හැසිරීම් අතරේ මට මැවෙන්නේ පිරිමි චරිතයකට වඩා ගැහැණු චරිතයක්. සමහර විට මේක මට විතරක් හිතුනු දෙයක් වෙන්න ඇති. බලමුකො ඊළඟ කොටස... ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉමාලි නෙමෙයි :) විචාරයට බොහෝම ස්තූතියි, ගන්දරයෝ. ඔයා තමයි මුලින් ම ඔය වැරැද්ද පෙන්නලා දුන්නේ. කතාව ලියන මම කෙල්ලෙක් නිසා කොල්ලෙක්ගේ කෝනයෙන් මේක කරන්න ටිකක් අමාරු යි. වෙලාවකට හිතිලා ති‍යෙනවා අනුරාධ ව කෙල්ලෙක් වගේ පෙනෙයි ද කියලා! ඒත් කවුරුත් කිව්වේ නැති නිසා මම හිතුවා අවුලක් නැතු ව ඇති කියලා. ඉස්සරහට මීට වඩා සාධාරණ වෙන්න උත්සාහ කරන්නං :)

      Delete
  12. අනේ ධාරෝ වදින්නම් නයෝමි ගැන අනුරාධගේ හිතේ ආයේ ආදරයක් ඇති කරන්න නම් එපා ඉදගෙන :) ඒ වගේම නුවර ගිහින් අනවශ්‍ය ප්‍රශ්න එහෙම ඇති කරන්නේ නැහැ දෙන්නා අතර :( නියමයි ,ඔයා හොදට ලියනවා

    ReplyDelete
    Replies
    1. මට වඳින්න එපෝ :) බලමුකෝ අනුරාධට මොනවා හිතෙයි ද කියලා! ඇගයුමට බොහෝම ස්තූතියි. අපූර්වී අක්කා ව කාලෙකින් දැක්කේ.

      Delete
  13. ඉක්මනටම මේ කොටස දාපු එක හොදයි..එතකොට අනිත් පෝස්ට් එක අනුරාධ නුවර යන අතරතුරේදී දාන්න ලැබේවා..ඒ කිව්වෙ කඩුගන්නාව හරිය කිට්ටු කොරල වගේ..හි හි

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට ඊළඟ කොටසත් දාන්නං, උමේෂ්. සමහර විට දළඳා මාලිගාවේ වෙන්නත් පුළුවන්.

      Delete
  14. ඉමාලි අනුරාධ දෙන්නව වෙන් කරන්න එපා.....
    ඒ වගේම කතාව දිගටම ලියන්න :)
    මම ආසාවෙන කියවනවා

    ReplyDelete
    Replies
    1. ඇගයුමට බොහෝම ස්තූතියි, නාඳුනන්නෝ :) බලමුකෝ ඉස්සරහට අනුරාධට යි ඉමාලිට යි මොකද වෙන්නේ කියලා!

      Delete
  15. ඇයි ඉලව්වේ මං මෙහෙ එන්න මෙත්තල පලක්කු වුලේ....
    සැක් පස්ටම කතාවක්නෙව...
    මුල ඉදලම කියෙව්වාය... කියන්න වදන් නැත ඒ තරමට පස්ටය....
    කියවන්නම අම්බානක් වෙලා ගිය නිසා පට්ටෙටම ලියන්න කියා අදට නික්ම යමි... ඉතුරුවා බලන්න ආයෙත් එමි....

    ආයෙ මොනාද.....??
    ??
    ??
    ??
    මුකුත් නැත......
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති, මහේෂ් :) සාදරයෙන් පිළිගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්නකෝ. මේ දවස්වල බ්ලොගර් පිස්සු නටන නිසා බ්ලොග් 300 ට වඩා ෆලෝ කරන්න අමාරු යි! ඒක හරි ගිය ගමන් ම "අවන්හල"ට ගොඩ වෙන්න එන්නංකෝ.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...