සඳ කිඳුරන් විලස පෙර අප සිටි | අයුරු |
ඔබ හා තුටින් ගත කළ මා දිවි | මියුරු |
අමතක කරනු කෙලෙස ද ඒ කල | සොඳුරු |
විය අප අතර බැම්මක් සමුදුර | ගැඹුරු |
සැක නම් සැඩ හී පහර අප අතරට | පැමිණ |
හද තුළ ඇවිලුවා නොවැළකි දුක් | ගින්න |
රෑ නිදි නැතු ව සොයනෙමි දිය සිත | නිවන |
කෙලෙස ද මා සිටිනු මේ නිරයේ | දැවෙන |
කිම මේ සිදු වුණේ අදහනු බැරි මෙ | මට |
නැති විය සැනසීම හද තුළ රැඳි | දිගට |
දවසින් දවස බිඳිලා විසිරෙන | පෙමට |
කුමක් කරම් දෝ හිමි සඳ කියනු | මට |
පෙර කල සිටි ලෙසට ආලෙන් බැඳී | සොඳ |
වෙසෙන්නට පිනක් අහිමි ද අපට | අද |
කළ අකුසලෙක් මේ ලෙස මට පළ දේ | ද |
සක් දෙවිඳුනේ ඔහු මා හට හිමි | නැති ද |
ආලය කරමි තවමත් පෙර දා | විලසේ |
පෙර ඔබෙ වරද සිහි නොකරමි මතු | දවසේ |
පති දම් රකිමි ඔබ වෙනුවෙන් දිවි | ගමනේ |
ඔබ හැර යන්නෙ කෙලෙස ද මා හිමි | සඳිනේ |
යසෝදරාවන් සේ ළඟ | හිඳින්නට |
පතිනිය වෙන්න සංසාරය | පුරාවට |
ඔබ බුදු වන දිනක අමයුරු | ලබන්නට |
දෙවියන් යදිමි මා දිවි ඇති | තුරාවට |
April 22, 2013
හිමි අහිමි
අතුරු මංපෙත :
කවි සිතුවිලි,
නුඹේ නමින්,
විරහව
April 10, 2013
සුදු මල් වැල
හැමදාම උදේ
පාන්දරින් ම මම නැගිටින කොට සුදු මල් වැල බාගෙට පිපුණ මල් සිය ගණනකින් වැහිලා තියෙන්නේ.
ඒක බලන්න ආස හිතෙන දෙයක්. මම පාඩම් කරන එක පැත්තකින් තියලා ටික වෙලාවක් ඒ දිහා
බලාගෙන ඉන්නවා. ඒක ඒ තරම් ම ලස්සණ යි. හිත ඇදිලා යන ගතියක් තියෙනවා. හරියට ම
පිපිලා නැති වුණත් ඒ බාගෙට පිපුණ මල් දිහා බලාගෙන ඉන්න එක හිතට සතුටක්. කොහොම
වුණත් දවස තිස්සේ මල් දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? හරියට පාඩම් නොකළොත් විභාගෙට
ලියන්න වෙන්නේ මල් ගැන තමයි. එක අතකට හරි පුදුම යි කොන්ක්රීට් වනාන්තරයක් මැද්දේ
මෙච්චර ලස්සණ මල් පිපෙන එක! ඒ වුණත් කොන්ක්රීට් වනාන්තරවල ඉන්න මිනිස්සුත් එක්ක ඉර තරහින් ද කොහෙද ඉන්නේ . .
. නැත්තං මේ තරම් රස්නයක් මොකද කියලා මට හිතා ගන්න බැහැ. එක අතකට මිනිස්සුන්ගේ
වැරදි ම තමයි මේවා. තියෙන තරමක් රූස්ස ගස් කපා දාලා කාන්තාර මැද්දේ අහස සූරන
ගොඩනැගිලි හදනවා. ඊට පස්සේ කොහෙන් හරි පඳුරු දෙක තුනක් ගෙනල්ලා ලෝකෙට පේන්න
හිටවනවා. ඒ පඳුරුවල මොන ලස්සණක් ද?
අපේ පොඩිත්තං
මිදුල මැද්දේ තියෙන කොහොඹ ගහේ එතිලා උස් මහත් වෙච්ච මේ සුදු මල් වැලේ නම නං මම ඇත්තට
ම දන්නේ නැහැ. කොච්චර හොයලා බැලුවත් තාමත් දැන ගන්න බැරි වුණා. හැමදාමත් සුදෝ සුදු
මල් පිරිච්ච ඒ මල් වැලට මම හුඟක් ආස යි. උදේ පාන්දරින් නැගිටලා බලද්දි කලින් දවසේ
පිපුණ මල් පරවෙලා බිම විසිරිලා තියෙනවා දකින්න පුළුවන්. ඒ වෙනුවට අලුතෙන් මල්
පිපිලා. චූටි බට්ටිච්චන්ගේ කචකචේ ඒ මල් පොකුරු අතරින් ඇහෙනවා. උන්ටත් කතාබහ කරන්න
කොච්චර දේවල් ඇත් ද? ඉර පායගෙන එනකොට තමයි ලේන්නු නැගිටින්නේ. පොල් අතු අස්සේ
හැංගිලා තියෙන තම තමන්ගේ හනසු හෙවිල්ලපු ගෙවල්වලින් එළියට ඇවිල්ලා කොහොඹ අත්ත
දිගේ දුවගෙන ඇවිත් අඹ ගහේ ගැට ගහලා තියෙන කෑම වට්ටියෙන් උදේ කෑම කාල ම තමයි උන් වැඩ පටන්
ගන්නේ. ඒ වෙනකොට බාගෙට පිපිච්ච සුදු මල් පොහොට්ටු හොඳට ම පිපිලා මුදුන් වෙන ඉර
දිහා බලාගෙන ඉන්නවා. සියුමැලි මලක් කොහොම මේ තරම් රස්නයක් දරන්න ද? ඒ නිසා අම්මා
හැමදාම හෝස් එකෙන් මල් වගාවට වතුර දානවා. ඊට පස්සේ බලන්න ඕනේ මල්වල ලස්සණ! අව්වට
දිලිසෙන පිනි බිඳුවලින් හැඩ වෙලා සමනලුන්ට මුකුළු කරනවා.
මම පාඩම් කරලා
ඉවර වෙලා හවස බුදු පහන තියන්න යනකොට උදේ පිපුණ මල් බලාගෙන ඉන්නේ අද බුදු
හාමුදුරුවන්ගේ සිරිපතුල ළඟ නතර වෙන වාසනාවන්තයා කවුද කියලා! බුදු පහන තියන කොට තනි
සුදු මල් වට්ටය දිහා බුදු හාමුදුරුවෝ ශාන්ත විදියට බලාගෙන ඉන්නවා. හුළඟට හෙලවෙන
පහන් දැල්ල මල් පෙති උඩට වැටිලා රටා මවද්දි බලන්න ලස්සණ යි. හෙමින් හෙමින්
දවස ගතවෙලා හඳ පායන කොට තමයි සුදු මල් වැල නිදා ගන්න ලෑස්ති වෙන්නේ. තව අලුත් දවසක්
වෙනුවෙන් පුංචි මල් පොහොට්ටු කොහොඹ කොළ අතරේ හැංගිලා තියෙද්දි පර වෙච්ච මල් හුළඟට බිමට
වැටෙනවා. අපේ ජීවිතත් ඒ වගේ සරල ව විඳිනවා නං . . . මේ ලෝකේ මීට වඩා මොන තරම්
ලස්සණ වෙයි ද?
අතුරු මංපෙත :
මගේ කතා,
මට හිතෙන හැටි,
සංකලන
April 6, 2013
ගැහැනිය
ලෝකය දැන් ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව කියතත් ඒ බව පිළි ගන්නේ කෙසේ ද?
උගත්-නූගත් භේදයකින් තොර ව පිරිමි තවමත් බොහෝ විට කතා කරන්නට රුචි කරන්නේ ස්ත්රීන්ගේ දෙතන හා දෙකලවා ගැන ය. කතා කරමින් ඔවුහු ඒ පිළිබඳ ව සිනාසෙති.
නිරුවත් වූ ස්ත්රියක විසින් අපමණ වේදනා විඳ තමන් මෙලොවට බිහි කළ බව ඔවුනට අමතක ය.
තමන් බිහි කිරීම පිණිස ස්ත්රියකගේ දෙකලවා උණුසුම් රුධිරයෙන් තෙමුණ බව ද තමන් ජීවත් කරවීම සඳහා ඇගේ දෙතනට කිරි එරුණ බව ද සිහිපත් කරන දිනයක ලෝකය දියුණු යැයි පවසන්න.
- කලාකරු ආර්. එම්. සමන් -
(උපුටා ගැනීමකි)
April 4, 2013
ආදරණීය ඔබ වෙනුවෙන්
ආදරණීය ඔබ මට . . .
සෙවණ ගෙනෙන විසල් රුකකි . . .
ගිමන් නිවන මද සුළඟකි . . .
සුවඳ හමන සොඳුරු සියපතකි . . .
ගත සනහන වස්සානයකි . . .
අඳුර මකන පහන් සිළුවකි . . .
ලොවක් තනන උදා ඉරකි . . .
සතුට ගෙනෙන සිතුවිල්ලකි . . .
හද විලේ රැඳි අසම රුවකි . . .
මේ පද වැල් මගේ සිත සොරා ගත් ඔබ
වෙනුවෙන් . . .
ඔබට ස්තූතියි, මගේ ඉයුජීන් <3
අතුරු මංපෙත :
ආදර කුසුම්,
කවි සිතුවිලි,
නුඹේ නමින්,
සතුට පිරිලා
Subscribe to:
Posts (Atom)