අධික උණ හේතුවෙන් පීඩා විඳි අනුරාධගේ රාත්‍රිය ගත වී ගියේ සිහිනයක් වගේ. සුවපහසු නොවන නින්දකින් පසු උදෑසන ඔහු අවදි වුණේ විඩාපත් ව යි. හිරු නැගී හෝරා කිහිපයක් ගත වී ඇති බව, බිත්ති ඔරලෝසුව පෙන්නුම් කළා. රැකියාවට පිටත් වීම සඳහා ඉතාමත් ප්‍රමාද වී ඇති බව ඔහුට නිරායාසයෙන් ම සිහියට නැගුණත්, ඒ සඳහා සූදනම් වන්න ඔහුට උනන්දුවක් හෝ ජවයක් තිබුණේ නැහැ. අමාරුවෙන් යහන මත අසුන්ගත් ඔහු වටපිට බැලුවේ ඉමාලි ව සොයමින්.
“ඊයේ රෑ පැරසිටමෝල් බිව්වට තාමත් උණ අඩු වෙලා නැහැ. හවස් වෙනකොට වෙනසක් නැත්තං බෙහෙත් ටිකක් ගන්න යමු.”
දුම් දමන ලුණු කැඳ කෝප්පයක් රැගෙන ආ ඉමාලි, එය ඇඳ ළඟ තිබුණු පුංචි මේසේ මත තැබුවා.
“ඔයා අද කැම්පස් ගියේ නැද්ද?”
“නැහැ. ඔයා ව දාල යන්න විදියක් නැහැ.”
“ඒ වුණාට ...”
“ඒ වුණාට නෙමෙයි, ඉංජිනේරු මහත්තයෝ. මං මාලින්ට යි, ඔෆිස් එකට යි කතා කරලා කිව්වා ඔයා ලෙඩ වෙලා කියලා. දැන් මේ කැඳ එක බීලා ඉන්න. සනීප වුණාට පස්සෙ ඔයාට බැරියැ ඇවිල්ලා මට මග ඇරිච්ච වැඩ ටික කරලා දෙන්න.”
ඉමාලිගේ බසට අවනත වුණත් අනුරාධට ආහාර රුචියක් තිබුණේ නැහැ. අමාරුවෙන් ලුණු කැඳ බඳුන හිස් කරලා ඇඳට වැටුණු අනුරාධගේ නළල සිප ගත්ත ඉමාලි, හිස් බඳුනත් රැගෙන මුළුතැන්ගෙය දෙසට පිය මැන්නේ ඔහුගේ කඩවසම් මුහුණේ මතු වී තිබුණු විඩාපත් පෙනුම ගැන දුක් වෙමින්.
ඉමාලිගේ ගමනට බාධා කරමින් කෑම මේසය මත වූ අනුරාධගේ ජංගම දුරකථනය සිහින් හඬින් නාද වුණේ. ලැබුණු කෙටි පණිවිඩය හේතුවෙන් ආලෝකවත් වූ දුරකථන තිරය, ලද පණිවිඩයේ කොටසක් දිස් වී තිබුණා.
“If you want to know about Buddhika, come to …”
දිගු හුස්මක් ගත් ඉමාලි, හිස් කැඳ බඳුන කෑම මේසය මත තබා අසල වූ පුටුවක අසුන් ගත්තේ සිටිගෙන සිටින්නට තරම් ශක්තියක් ඇගේ වෙව්ලන පා යුගලට නොමැති බව පසක් වීම හේතුවෙන්. දිගු කලකට පෙර දුටු සිහිනයක් සේ බුද්ධික ඇගේ මතකයට නැගුණා.
නළලට වැටුණු කෙස් රොදක් සහිත ඔහුගේ දිගැටි මුහුණ ඇගේ මනසේ ඇඳුණේ අතීත මතකයන් රැසක් වර්තමානයට කැඳවාගෙන එමින්. ඉමාලි දෙස අනුකම්පාවෙන් බලා සිටි ඔහුගේ සිහින් දෙතොල මත ඇඳුණු දඟකාර සිනහව, ඇගේ දෑසේ පිරුණු කඳුළු පටලයට මුවා වුණා.
වෙව්ලන දෑතින් අනුරාධගේ ජංගම දුරකථනයගේ අගුළු විවර කළ ඇය, නයෝමි විසින් එවන ලද කෙටි පණිවිඩය කියෙව්වා. එහි සඳහන් ව තිබුණේ බුද්ධික ගැන තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් එදින සවස 4 ට පමණ ගාලු මුවදොර පිටියට පැමිණෙන ලෙස යි.
නයෝමි ... නුපුරුදු නමක් නොවෙයි. සතියකට පමණ පෙර නයෝමිගෙන් ලද කෙටි දුරකථන ඇමතුම ඉමාලිට සිහි වුණා. ඉංග්‍රීසි උච්චාරණයක් සහිත ඇගේ අහංකාර කටහඬ. ඇය කවුද? අනුරාධගේ කාර්යාල සගයෙක් ද? ඇය බුද්ධික ගැන දන්නේ කොහොම ද? ඇයට අනුරාධ සමග ඇති සම්බන්ධය කුමක් ද?
ඉමාලිගේ හිතට දැනුණේ කනගාටුවක්. ඇගේ වේදනාත්මක අතීතය භාවිතා කරමින් කවුරුන් හෝ ඇය ව අනුරාධගෙන් වෙන් කරන්න උත්සාහ කරන බව ඇයට වැටහුණා. නමුත් ඇයි?
කළ යුතු හොඳ ම දේ කුමක් දැයි තීරණය කිරීමට ඉමාලි ගත වුණේ එක් මොහොතක් පමණ යි. මුහුණේ රැඳි කඳුළු බිඳු පිසදා ගත් ඇය, ආයාසයෙන් නගා ගත් සිනහවක් ද සමග නිදන කාමරය දෙසට පිය නැගුවා.
ඉමාලිගේ පියවර හඬ ඇසෙන විට අනුරාධ සිටියේ අඬ නින්දේ යි. සෙමින් දෑස් විවර කළ ඔහුට පෙනුණේ කඳුළු පිරුණු මුහුණක්. ඇගේ අප්පච්චිට කරදරයක් ද?
“ඉමාලි ... ඇයි අඬන්නෙ?”
කිසිවක් නොකියා යහන මත අසුන් ගත් ඇය, ඔහු ව වැළඳ ගත්තා. වේගයෙන් ගැහෙන ඇගේ හදවතේ රිද්මයට අනුරාධ සවන් දුන්නේ කැලඹීමෙන්.
“මට කියන්න මොකද වුණේ කියලා,” අපහසුවෙන් යහන මත අසුන් ගත් අනුරාධ ඉල්ලා සිටියේ ඇගේ දෑස් දෙස බලමින්.
සුසුමක් හෙළා ඔහුගේ මුහුණ දෙස බැලූ ඇයගේ දෑස් පිරුණේ පුදුමයෙන්.
“ඔයාට දෙයියන්ගේ ලෙඩ,” රතු පැහැ බිබිලි මතු වූ අනුරාධගේ මුහුණ පුරා ඇඟිලි දුවවමින් ඇය පැවසුවා.
“ඒක අඬන්න දෙයක් ද?” අනුරාධ විමසුවේ සිනාසෙමින්.
සිනාසෙන විට ඔහුට සැහැල්ලුවක් දැනුණා. ඔහු සමග සිනාසෙමින් ම ඉමාලි යහන මත එරමිණිය ගොතා ගත්තේ දිගු කතාවකට සැරසෙමින්.
“මට කතාවක් කියන්න තියෙනවා.”
“මොකද්ද?”
“ඔයා නොදන්න කෙනෙක් ගැන.”
“කවුද?” අනුරාධ විමසුවේ කුතුහලයෙන්.
“බුද්ධික.”
ඉමාලිගේ පිළිතුර අනුරාධගේ හිතේ ඇති කළේ කැලඹීමක්. ඇය හදිසියේ ම බුද්ධික ගැන කතා කරන්නේ ඇයි? ඔහුට නොදැනුවත් ව ම සුසුමක් පිට වුණා.
“දිග කතාවක් කියන්න තරම් මගේ හිත හයිය නැහැ. ඒ නිසා මං කෙටියෙන් කියන්නං,” ඉමාලි පැවසුවේ ඇගේ දෑස් යළිත් කඳුළින් පිරෙන අතුරතුර දී යි.
එයට අනුරාධ ප්‍රතිචාරයක් දැක් වූයේ නැහැ. නමුත් ඔහුගේ හදවත වේගයෙන් ස්පන්දනය වන අයුරු ඔහුට දැනුණා.
දිග හුස්මක් අරගෙන ඉමාලි පැවසූ කතාව සීමා වුණේ එක් වදන් පෙළකට පමණි.
“බුද්ධික ජීවත් වුණා නං අද මෙහෙම කතා කරන්න අපි මෙතන නැහැ.”
ඉමාලිගේ ඒ වදන් පෙළ අනුරාධට දැනුණේ ඔහුගේ හදවත විනිවිද යන අසිපත් තුඩක් වගේ. අනුරාධට තමන් ගැන ඇති වුණේ දැඩි කලකිරීමක්. නයෝමිගේ මනෝ සරදමට හසු වූ ඔහු හැසිරුණේ කොතරම් අනුවණ විදියට ද? අකාලයේ සිදු වූ බුද්ධිකගේ මරණයෙන් ඉමාලි කොතරම් පීඩා විඳින්නට ඇත් ද?
“මට සමාවෙන්න, ඉමාලි.”
ඇය නයෝමි ගැන දන්නා බව ඇගේ මුහුණේ මතු වූ මද සිනාව ඉඟි කළා. ඇගේ උකුළ මත හිස තබා ගත් අනුරාධ, ඔහුගේ අතීත කතාව ඇය ඉදිරියේ දිග හැරියේ වර්තමානය වඩාත් පැහැදිලි කිරීමේ අරමුණ ඇති ව යි. කතාව අවසානයේ දී ඔහුට දැනුණේ නිදහසක්.
“ඉතින්?” ඔහු විමසුවේ කුතුහලයෙන්.
“ඉතින් මොකද්ද?”
“ඔයා මොකද හිතන්නෙ?”
“ආහ් ... ඔයා මෝඩ යි කියලා මං දැනගෙන හුඟක් කල්.”
කඳුළු අතරින් නැගුණු ඉමාලිගේ සොඳුරු සිනා හඬ නිවස පුරා පැතිරී ගියේ අනුරාධගේ විඩපත් සිත නැවුම් හැඟීම් ගොන්නකින් පුරවමින්.
“අදට කතා කරා ඇති. දැන් නිදා ගන්න. තව සති දෙක තුනක් ම ගෙදරට කොටු වෙන එකේ කතා කරන්න දෙයක් තියෙන්නත් එපෑ.”
ඇගේ උකුළ මත වූ අනුරාධගේ කෙස් කළඹ අතරින් ඇඟිලි තුඩු යවමින් ඉමාලි කල්පනා ලෝකයකට අවතීර්ණ වුණේ නිදි දෙව්දුව පැමිණි අනුරාධ ව වැළඳ ගන්නා අතරේ දී යි.
“ඇයි පැපොලට දෙයියන්ගේ ලෙඩ කියන්නෙ?”
කලකට පෙර පැපොල සෑදීම නිසා නිවෙසට වී සිටි තමන්ගේ සැප දුක් විමසීමට බුද්ධික පැමිණි විටෙක ඔහුගෙන් විමසූ අයුරු ඇයට සිහි වුණා.
“අනේ මන්දා!”
“ඔයා හිතන විදියට ඇයි කියන්නකෝ.”
“දෙයියන්ගේ ලෙඩ හැදුණ ම සනීප වෙන්න කාලයක් යනවා. ඉතින් අන්තිමේ දී සනීප වුණා ම ඒක හරියට අලුත් ආරම්භයක් වගේ. වේදනාවක් ඉවර වුණාට පස්සෙ ජීවිතේ ගැන අලුතෙන් දකින්න පුළුවන්. සමහර විට ඒ විදියේ අලුත් ආරම්භයක් ඕනෙ කෙනෙක්ට දෙයියෝ අවස්ථාවක් දෙන්නෙ එහෙම වෙන්න ඇති.”
බුද්ධිකගේ ගැඹුරු කටහඬ ඇසී නැසී යන අතරේ ඉමාලි සුසුමක් හෙළුවේ අනුරාධ සහ ඇය අතරේ තවදුරටත් රහස් නොමැති අලුත් ආරම්භයක් ගැන බලාපොරොත්තු පොදි බැඳ ගනිමින්.
෴ නිමි ෴