දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම) මග අැරුණු අය යන්න ඕනේ අතුරු මංපෙත මෙන්න මේක යි . . .
ඒ රුව කෙමෙන් ළං වන විට ඉමාලිගේ සොඳුරු මුහුණ වියැකිලා ගිහින් ඒ වෙනුවට වෙනත් මුහුණක් මතු වුණේ අනුරාධගේ සිත මොහොතකට සිහිල් සුළං රැල්ලකින් පුරවමින්. නමුත් නයෝමි වැපිරූ සැකයේ මූල ධාතු තම සිත තුළ දළුලමින් තිබෙන බව ඔහු දැනගෙන උන්නා. ඒ හැඟීමෙන් මිදෙන්නේ කොහොම ද කියලා මග පෙන්වන පහන් සිළුවක් ඔහුගේ සිත් කොනක දැල්වෙමින් තිබුණා.
"කියපන්, අනුරාධ . . ." ඔහුගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් මාලින්ගේ හඬ නිසල යි.
"අපි ටිකක් කතා කරමු ද?"
මොනවා ගැන ද කියලා මාලින් ඇහුවේ නැහැ.
"උඹ කොහෙද ඉන්නෙ?"
"ගෝල්ෆේස් එකේ."
"හරි. මම පැය භාගයක් යන්න කලින් එන්නං."
ඇමතුම විසන්ධි කළාට පස්සේ අනුරාධගේ හිතට දැනුණේ සැනසීමක්. සිව් වසරක් පුරා ඔහුගේ ආදරයේ උරුමක්කාරිය වූ නයෝමි සහ සදාකාලික ව ඔහුගේ ජීවිතයේ හිමිකාරිය වූ ඉමාලි අතර ඔහුගේ සිත දෝලනය වුණා. දෙයාකාර වූ ඒ ආදර තුලාවේ වැඩි බරක් හිමි වුණේ ඉමාලිට. නමුත් ආදරය උතුරා ගලන තනි හදක් වෙනුවට එතැන තුලාවක් තිබුණේ හදවත දෙකට බෙදිලා තිබුණ නිසා!
අඩ හෝරවක් ගත වෙන්න කලින් මාලින් ගාලු මුවදොර පිටියට ආවේ චරිත් එක්ක. චරිත්ගේ මුහුණේ නිරතුරු ව ම රැඳි කෙළිබර සිනාව වියැකිලා බැරෑරුම් පෙනුමක් මතු වෙලා තිබුණා. ඔවුන් නිහඬ ව අනුරාධ ව මැදි කරගෙන අසුන් ගත්තා.
"කතා කරන්න කලින් කාල ඉඳපන්," නොයෙක් වර්ගයේ කෙටි කෑම පිරුණු කඩදාසි කවරයක් අනුරාධ දෙසට දිගු කරන ගමන් මාලින් නිහඬතාවය බින්දා.
"මට කන්න බැහැ, මාලින්."
"එහෙම නං කියපන් නයෝමි ව බලන්න ගියාට පස්සේ මොකද වුණේ?"
ඒ පැනයට පිළිතුරු බඳින්න අනුරාධට ඉඩක් නොලැබුණේ ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආ බව හඟවමින් ඉන් නිකුත් වූ සිහින් ශබ්දය නිසා. නයෝමිගේ දුරකථන අංකය ඔහුගේ මතකයේ රුඳී තිබුණේ නැතත් ඒ නාඳුනන අංකය නයෝමිගේ බව ඔහු දැනගෙන හිටියා.
"His name is Buddhika." තනි වාක්‍යකින් සැඳි කෙටි පණිවිඩය කිව්වා.
"එයා ඉමාලි ගැන මං නොදන්න හුඟක් දේවල් දන්නවා වගේ," ජංගම දුරකථනය මාලින්ගේ අතට පත් කරමින් අනුරාධ පැවසුවේ දුක්බර ව!
"හ්ම්ම්, ඉමාලිගේ කලින් සම්බන්ධයක් ගැන?" දුරකථන තිරයට බැල්මක් හෙළමින් චරිත් ඇහුවේ නළල රැලි කර ගන්න ගමන්.
"ඔව්!"
"උඹ දැනගෙන හිටියේ නැද්ද?"
"මම කවදාවත් ඇහුවේ නැහැ, චරිත්. මට ඕනේ වුණේ හැම දෙයක් ම අමතක කරන්න."
"ඒ වුණාට . . ."
"මම දන්නවා උඹ කියන්න යන දේ. ඒත් පහුගිය දේවල් ගැන අපි කතා කරේ නැහැ. ඉමාලිට මුලින් ඒ ගැන කතා කරන්න ඕනේ වුණා. ඒත් මට එයා එක්ක නයෝමි ගැන කතා කරන්න හිතක් තිබුණේ නැහැ. මම කිව්වා පරණ දේවල් කතා කරන්න ඕනේ නැහැ කියලා."
"හ්ම්ම් . . ."
"අපි සතුටින් හිටියා, චරිත්."
"අපි දන්නවා බං. ඉමාලි හොඳ කෙල්ලෙක්."
"මම දන්නේ නෑ මට මොනවා වෙලා ද කියලා. මම ඉමාලිට ආදරෙයි. හුඟක් ආදරෙයි. ඒත් දැන් මගේ හිතේ එයා ගැන සැකයක් තියෙනවා," අනුරාධ කිව්වේ ඔහුගේ දෑස් කඳුළින් බොඳ වෙද්දී.
"උඹේ හිතේ නයෝමි ගැනත් ආදරයක් තියෙනවා?"
"ඔව්. ඒත් ඉමාලිට වගේ නෙමෙයි. අනුකම්පාවක්. මොනවා වුණත් ඒ මම අවුරුදු හතරක් තිස්සේ මැරි මැරී ආදරේ කරපු ගෑනි කියලා මට අමතක කරන්න බැහැ, මාලින්."
"ඒ ගෑනි උඹ ව දාල ගියා, අනුරාධ."
"මම දන්නවා. ඒත් අද දරුවෙක් එක්ක අසරණ වෙලා. මම ඉමාලි ව බැන්දේ එයා ව දැක්ක දවසේ එයා ගැන ඇත්තට ම ආදරයක් හිතේ ඇති වුණ නිසා. ඉමාලි මාව සතුටෙන් තිබ්බා. ඒත් නයෝමි ගැන තියෙන ආදරේ, මතකයන් සැරෙන් සැරේ මතු වෙනවා."
"ඒ උඹ තාමත් එයා ඉස්සර හිටපු කෙනා කියලා හිතන නිසා."
"මම දන්නවා, චරිත්. ඒ හැඟීමෙන් මිදෙන්න තාමත් මට බැරි වුණා."
"හ්ම්ම් . . ."
"නයෝමි ව දැක්ක ම මට අපේ හීන මතක් වෙනවා, මාලින්. එදා සරසවියේ දී නයෝමි ව දැක්ක ම මට හිතුන දේවල්. කවදා හරි මං වගේ පුතෙක් මට දෙනවා කියපු කෙල්ල වෙන මිනිහෙක්ගේ දරුවෙක් වඩාගෙන ඉන්නකොට මට මොනව ද හිතෙන්නෙ? නයෝමි නිසා මට ඉමාලි එක්ක හීන මවන්න බැරි වුණා. හැම හීනෙක ම නයෝමි ඉන්නවා."
"මේ ගැන ඉමාලි එක්ක කතා කරපන්."
"මට බැහැ, චරිත්. මට ඉමාලි දුකෙන් ඉන්නවා බලන්න බැහැ. මට ඕනේ නයෝමි ව හිතෙන් ඈත් කරන්න. එයා මාව පිළිකුල් කරනවා බලන්න. මම මුල් කාලෙ දී එයාගෙන් අයින් වුණේ එහෙම යි. ඒත් දැන් එයා මට ළං වෙන්න හදනකොට එයාගේ ඈත් වෙනවා වෙනුවට මමත් එයාට ළං වෙනවා. මම දන්නවා මම කරන දේ වැරදි කියලා. ඒත් . . ."
"උඹ ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, අනුරාධ. මෙතන වැරදිකාරයා නයෝමි මිසක් උඹ නෙමෙයි. ඒකි දැන ගන්න ඕනේ උඹ බැඳපු මිනිහෙක් කියලා."
"හ්ම්ම් . . ."
"මේකට විසඳුමක් තියෙනවා, අනුරාධ. ඒත් නොහිතන දෙයක් වෙන්න පුළුවන් නිසා ඒ විසඳුමට යන්න මම කැමති නැහැ."
"මොකද්ද?" චරිත් සහ අනුරාධ ඇහුවේ එකවිට.
මාලින්ගේ සැලසුම සදහට ම වැළලිලා ගියේ ඉමාලිගේ දුරකථන ඇමතුමෙන්. ගැඹුරු හුස්මක් ගත් අනුරාධ එයට පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙන්.
"කියන්න, ඉමාලි."
"අනුරාධ," ඉමාලි වෙවුලන හඬින් කතා කරේ දෑස්වලින් කඳුළු බිඳු කඩා හැලෙද්දී.
"ඉමාලි, ඇයි මැණික ඔයා අඬන්නෙ? මොකද්ද වුණේ?"
"අනුරාධ," ඇය ආයෙමත් කිව්වා.
"අඬන්නේ නැතු ව මට කියන්න මොකද්ද වුණේ කියලා!"
"අම්මා කතා කරා. අප්පච්චිට හාට් ඇටෑක් එක්ක හැදිලා ඉස්පිරිතාලේ අරගෙන ගිහින්."
"මම එන්නං කැම්පස් එක ළඟට. අපි නුවර යමු. මම එනකං කොහෙවත් යන්න එපා. කලබල නැතු ව ඉන්න. මම ඉක්මනට එන්නං. බුදු සරණයි, ඉමාලි."
"මොකද්ද වෙලා තියෙන්නෙ?" දුරකථන ඇමතුම අවසන් වෙනවත් එක්ක ම චරිත් ඇහුවා.
"ඉමාලිගේ අප්පච්චිට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඉමාලි හොඳට ම අඬනවා. මම එයා එක්ක නුවර යනවා," අනුරාධ කිව්වේ මෝටර් රථය දෙසට දිව යන ගමන්.
"අනුරාධ ඉමාලිට ආදරෙයි," චරිත් කිව්වේ සුසුමක් හෙළමින්.
"අනුරාධ ආදරේ ඉමාලිට විතර යි, චරිත්. ඌ හිතාගෙන ඉන්නේ ඌ නයෝමිටත් ආදරෙයි කියලා," මාලින් කිව්වේ මදහසක් පාමින්. "උඹට මතක ද නිලූ ඇක්සිඩන්ට් වුණ දවසේ නයෝමි අඬ අඬා ඉන්නකොට ඌ බැන්නා 'ලෙඩා මැරෙන්න කලින් අඬන ගෑනු මට පේන්න බැහැ' කියලා?"
"හ්ම්ම්, හැම දෙයක් ම විසඳෙන්න පුළුවන් හොඳ ම විදියට විසඳෙයි."
෴ මතු සම්බන්ධ යි ෴