December 30, 2013

දෙයියන්ගේ ලෙඩ (සත් වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ සවැනි (දිග හැරුම) කියවන්න ‍ඕනේ අය මේ අතුරු මංපෙත් දිගේ ගිහින් කියවලා එන්න . . .


ඒ පිළිතුර බලාපොරොත්තුවෙන් හිටපු නිසා අනුරාධගේ පිළිතුර මාලින්ගේ හිතේ පුදුමයක් ඇති කළේ නැහැ. ඔහුගේ සිතේ ඇති වුණේ දෙගෙඩියාවක්. මේ මොහොතේ ගලක් සේ නොසැලෙන අනුරාධගේ හදවත වෙඬරු පිඩක් සේ උණු කරන්න නයෝමිට හැකි බව ඔහු දැනගෙන හිටියා. නමුත් 'සියල්ල සිදු වන්නේ යහපතට' යැයි කියා සිත සනසා ගන්නවා හැරෙන්නට‍ වෙනත් විකල්පයක් ඔහු සතු වුණේ නැහැ.

කිසි‍වක් නොකියා පිට ව යන මාලින් දිහා අනුරාධ බලාගෙන හිටියේ මද සිනාවක් සමග. 'අද උඹ හිතන දේ වැරදි යි, මාලින්. මම කවදාවත් ඉමාලිට වැරැද්දක් කරන්නේ නැහැ' ඔහු සිතුවේ දැඩි අධිෂ්ඨානයක් හිතේ රඳවාගෙන. ඉන් මිනිත්තු කිහිපයකට පසු වරුවක නිවාඩුවක් අනුමත කර ගත් අනුරාධ දහවල් දොළහ යි කාල වන විට සිටියේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට!

නයෝමි නතර වෙලා හිටපු වාට්ටුව හොයා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ. ළා කහ පැහැ සැහැල්ලු ගවොමකින් සැරසිලා අමන්දා එක්ක කතා කරමින් උන් නයෝමි ව දැක්ක ම අනුරාධගේ හිතේ කෝපයක් මතු වුණේ නිරායාසයෙන්. කොරිඩෝව දිගේ ඉක්මන් ගමන් ඇවිද එන ඔහු ව දුටු නයෝමිගේ වත සොඳුරු මදහසකින් ඔපවත් වුණා. ඇගෙන් දිස් වුණේ වෙනදාටත් වඩා නීරෝගී, රූමත් පෙනුමක්.

"ඉඳගන්න, අනුරාධ!"

"ඕනේ නෑ. මම ඉක්මනට යනවා," අමන්දාගේ ආරාධනය ඉවත දැමූ අනුරාධ මොහොතක් නයෝමි දිහා ඍජු බැල්මෙන් බලාගෙන හිටියා. "මට නයෝමිට ටිකක් කතා කරන්න ඕනේ. අමන්දා මෙතන නොඉන්නවා නං තමයි හොඳ!"

"ආ! හරි." ඇගේ කටහ‍ඬේ ගැබ් වෙලා තිබුණේ විශ්මයක්. "මම එළියෙන් ඉන්නං, නයෝමි."

අමන්දා පිටවෙලා යන දිහා මද වෙලාවක් බලාගෙන උන් අනුරාධ තමන්ගේ සිතුවිලි එක්තැන් කර ගත්තේ දිගු කතාවකට සූදානම් වෙමින්.

"ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා, අනුරාධ." නයෝමිගේ සන්සුන් ස්වරයේ සතුටක සේයාවක් රැඳිලා තිබුණා.

"මම ආවේ මාලින් මට කියපු දේවල් නිසා!"

"මාලින් මොනව ද කිව්වේ?" නයෝමි ඇහුවේ සිතේ ඇති වුණ පුදුමය සඟවන්න උත්සාහ කරමින්. මාලින් කියූ දේවල් දැන ගන්න ඇගේ සිත නොඉවසිල්ලෙන්.

"පැනඩෝල් කාඩ් දෙකක් බීලා මැරෙන්න හැදුව ම හැම දෙයක් ම විස‍ඳෙයි කියලා හිතුව ද?"

"මට ඕනේ වුණේ . . ."

"එහෙම මැරෙන්න තරම් තනිකමක් ඔයාට නැහැනේ, නයෝමි. ඒ නිසා බොරු වැඩ . . ."

"ආදරේ කරන අය ළඟ නැති වුණා ම මැරෙන්න නැතු ව වෙන මොනවා කරන්න ද?"

"ඔයාගේ දරුවට මොනවා වෙයි කියල ද හිතන්නෙ? අම්මා නැති අසරණයෙක් ව පිට මිනිස්සු ආදරෙන් බලා ගනීවි කියලා හිතනව ද?"

"මම ඒ ගැන ඩිසිෂන් . . ."

"මැරෙන එක හැම දේකට ම විසඳුමක් නෙමෙයි කියන එක අමතක කරන්න එපා, නයෝමි. එහෙම නං මුලින් ම මැරෙන්න ඕනේ කෙනා මම. ඒත් අමාරුවෙන් හරි ජීවත් වෙච්ච නිසා මම දැන් ඉමාලි එක්ක සතුටින් ඉන්නවා. අරෝෂ්ගෙන් දික්කසාද වුණා නං වෙන මිනිහෙක් ව කසාද බඳින්න. හැබැයි ඒ මිනිහා මම නෙමෙයි කියන එකත් හොඳට මතක තියාගෙන වැඩ කරන්න."

"ආදරේ නැති කෙනෙක් ව බැඳලා මම ඉන්නේ කොහොම ද?"

"ඔයා අරෝෂ් ව බැන්දේ ආදරේ නිසා ද?"

අනුරාධගේ උපහාසාත්මක වදන් ඉදිරියේ නයෝමි නිරුත්තර වුණා. ඇගේ දෙනෙත් බොඳ කරමින් මතු වූ කඳුළු බිඳු දෙකොපුල් දිගේ සෙමින් ගලාගෙන ගියා.

"මම වැරැද්දක් කළා, අනුරාධ. මට ඕනේ වුණේ ඒක හදා ගන්න," ඇය කිව්වේ කොට්ටය යට සඟවගෙන උන් පත්තර පිටුවක් අනුරාධට දිගු කරමින්.

ඒ සතියකට පමණ පෙර පළ කරන ලද කාන්තා පුවත්පතක පිටපතක්. එහි මුල් පිටුව හැඩ වෙලා තිබුණේ ජනප්‍රිය නිළියකගේ බඳ වටා සුරත දමාගෙන උන් අරෝෂ්ගේ ‍කඩවසම් සේයාරුවකින්. ඇතුළු පිටුවල සඳහන් වුණේ ඔවුන් දෙදෙනා ඉදිරි මාස තුන ඇතුළත යුග දිවියට පිවිසෙන පුවත!

"මට අරෝෂ් ව නැත්තට ම නැති වුණා, අනුරාධ."

"එහෙම යි කියලා මට ආයෙත් ළං වෙන්න හදන්න එපා, නයෝමි. මම බැඳපු මනුස්සයෙක්. ඒක ඔයා නොදන්න දෙයක් නෙමෙයි."

"ඔයා බැන්දේ ප්‍රපෝසල් එකකින් කියලා මම දන්නවා."

"ප්‍රපෝසල් එකකින් හරි මම බැන්දේ මට ආදරේ කරන ගෑනියෙක් ව. සල්ලි නිසා මාව දාල යන්නේ නැති ගෑනියෙක් ව. ඒ හොඳට ම ඇති මට සතුටින් ඉන්න. නොබැඳ හිටියත් ආයෙත් ඔයාට ආදරේ කරන්න මට බෑ. මම ඔයා ව අමතක කරලා දැන් හුඟක් කල්."

"මට ආදරේ කරන්න ඕනේ නෑ. යාළුවෙක් වගේ මගේ ළඟින් ඉන්න. ලෙට්ස් බී ෆ්‍රෙන්ඩ්ස්, අනූ."

"නයෝමි, මට ඔයා එකක් කිසිම සම්බන්ධයක් ඕනේ නෑ. ඒ නිසා කරුණාකරලා අපි අද මේක ඉවරයක් කරමු. තවත් ඔයා මාව හොයාගෙන එනවට, මට කතා කරනවට මම කැමති නෑ. ඒ නිසා මට මගේ පාඩුවේ ඉමාලි එක්ක ඉන්න දෙන්න. මගේ පිනකට මට ඉමාලි ව ලැබුණා. ඒක නැති කරන්න එපා. ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්න මට බෑ. මොකද මම දුක් විඳපු කාලේ ඉවර කරලා මගේ ජීවිතේට සතුටක් ගෙනාවේ එයා."

"දැට් ඩසන්ට් මැටර්. එයා හිටියා කියලා අපිට යාළුවෝ නොවී ඉන්න බැරි නැහැ."

"කවදාවත් ඔයාට එයාගේ යාළුවෙක් වෙන්න බැහැ, නයෝමි."

"ඔහොම නපුරු වෙන්න එපා, අනුරාධ."

"නපුරු? හ්ම්! ඔයා කොහොම ද නයෝමි මෙහෙම කරන්නෙ? ඇයි ආයෙමත් මගේ ජීවිතේට ඇවිත් මට මෙහෙම වද දෙන්නෙ? මට තවත් දුක් විඳින්න ඕනේ නෑ. මොකද මම ඔයා නිසා අවුරුදු හතරක් තිස්සේ ඇති තරම් දුක් වින්දා. ඒ ඇති මට හොඳට ම."

"අනුරාධ, මම . . ."

"මට තවත් ඔයා එක්ක කතාවක් නෑ. මම යනවා, නයෝමි. ඔයා කැමති විදියකට ජීවත් වෙන්න," අනුරාධ කිව්වේ ඇයට පිටුපාමින්.

"හරි, අනුරාධ. ඔයා ගිහින් ඔයාගේ ඉමාලි එක්ක හැමදාම සතුටින් ඉන්නකෝ. ඒත් ඔයා කියන තරම් එයා හොඳයි ද කියන එක ගැන මට නං සැක යි!"

"මොකද්ද කිව්වේ?" ඔහු ඇසුවේ ආපසු හැරෙමින්. නයෝමි තමන් ඉදිරියේ ඉමාලි ව විවේඡනය කිරීම ඔහු ව කෝපයෙන් දවාලුවා.

"ඉමාලි ඔයා ඔය කියන තරම් හොඳ කෙනෙක් නං ඔයා ව ප්‍රපෝස් කරනකං නොබැඳ හිටපු එක ගැන මට හරි පුදුම යි! ඒ වගේ කෙල්ලෙක් . . ."

"ඒක ඔයාට අදාළ කාරණාවක් නෙමෙයි, නයෝමි."

"මට අදාළ නැති වෙන්න පුළුවන්. මම කිව්වේ වෙන්න පුළුවන් දේ. ඒ වගේ හොඳ කෙල්ලෙක්ට කැම්පස් එකේ දී හරි සම්බන්ධයක් ඇති නොවුණොත් . . ."

"නයෝමි!"

"ඇත්ත තිත්ත යි කියන්නේ බොරුවට නෙමෙයි, අනුරාධ. කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඔයා‍ට වගේ වැළලිච්ච අතීතයක් එයාට තියෙන්න බැරි ද? ඒ අතීතේ ගොඩ ගන්න හදන වර්තමානයක් තියෙන්න බැරි ද? ලෝකෙට පෙන්න අහිංසක වුණාට . . ."

"කට වහපන්," අනුරාධ කෝපයෙන් ගිගුරුවා. හිතේ තිබුණ කෝපය පළ කරන්න වගේ ඔහුගේ දෙතොල සහ ඇහි බැම සරල රේඛාවක් බවට පත් වෙලා තිබුණේ. "මගේ ගෑනිගේ වැරදි කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද?"

෴  මතු සම්බන්ධ යි ෴

December 19, 2013

දෙයියන්ගේ ලෙඩ (සවැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ පළමුදෙවැනිතෙවැනිසිව් වැනි සහ පස් වැනි කොටස් බලන්න යන්න මග සලකුණු මෙන්න . . .

පහුගිය දවස් ටිකේ වැඩ කන්දක් ගොඩ ගැහිලා තිබුණ නිසා යාළුවන්ගේ බ්ලොග් කියවන්න සහ කමෙන්ට් කරන්න බැරි වුණා. ඒ ගැන මට සමාවෙන්න!


අමන්දාගේ වදන් හමුවේ කාර්යාල කාමරය පුරා පැතිරිලා ගියේ දැඬි නිහඬතාවයක්. අමාරුවෙන් එක්තැන් කර ගත් අනුරාධගේ සිත යළිත් වතාවක් සීසීකඩ විසුරුවමින් සුළි කුණාටුවක් හමාගෙන ගියේ ඔහු ව දෙලොවක් අතර තනි කරමින්. කළ යුත්තේ කුමක් දැයි නොදැන අතරමං වුණ ඔහුගේ හදවත හඬා වැටුණා.

"නයෝමිට මොකද වුණේ, අමන්දා?" අන්තිමේ දී ඔහු කටහඬ අවදි කළා.

"මම ඔයාට කිව්වනේ, අනුරාධ. නයෝමි මේ වෙලාවේ ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නේ. සමහර විට මේ වෙනකොටත් එයා අපි ව දාල ගිහින් ඇති. ඔයාට පුළුවන් කමක් තියෙනවා නං එක ම එක වතාවක් ඇවිල්ලා එයා ව බලලා යන්න," අමන්දා කිව්වේ පිට වී යාමට සූදානම් වෙමින්.

"මට කියන්න මොකද්ද වුණේ කියලා."

අනුරාධගේ ස්වරය ආයාචනාත්මක යි. දුක්මුසු යි. නමුත් පිට ව යන්නට සූදානම් අමන්දා ව රඳවා ගන්නට තරම් ඒ ස්වරය ප්‍රබල වුණේ නැහැ.

"වෙච්ච හැම දෙයක් ම දැන් වෙලා ඉවර යි, අනුරාධ. ඔයාට පුළුවන් නං එන්න," ඇය පැවසුවේ කාර්යාල කාමරයේ අනුරාධ ව තනි කර පිටවෙලා යන ගමන්.

ඇය පිටවෙලා ගියේ සතියක් පුරා ඔහුගේ හිතේ රැඳිලා තිබුණ සතුට හා සැනසීම අරගෙන යි. රුධිරය සමග මුසු වුණ වේදනාව සිරුර පුරා දිව ගියේ බිඳී විසුරුණු ඔහුගේ සිත තව තවත් ඔත්පල කරමින්. එහෙත් හද පෙළන වේදනාව අමතක කර කුලුඳුල් ප්‍රේමයේ මතකයන් මතින් සිතට එකඟ ව හෝ නැති ව සම්මතය හා එක් ව නිවැරදි තීරණයක් ඔහු ගත යුතු යි.

"අනුරාධ!"

මාලින්ගේ ගැඹුරු කටහඬ අන් කවරදාටත් වඩා සන්සුන්. අනුරාධ ව පියවි ලොවට කැඳවමින් මාලින් ඔහු ඉදිරියෙන් අසුන් ගත්තේ අනුකම්පාව රැඳුණු දෑසක් එක්ක.

"මම මොකද්ද මාලින් කරන්නෙ ඕනෙ? මට පිස්සු හැදෙයි," අනුරාධ පැවසුවේ බිඳුණු කටහඬින්. බර දරා ගත නොහැකි විලසින් ඔහුගේ හිස බිමට නැඹුරු වෙලා තිබුණා.

"අමන්දා අද උඹට කියපු හැම දෙයක් ම ඇත්ත නෙමෙයි, අනුරාධ. මාව විශ්වාස කරපන්," මාලින් කිව්වේ අනුරා‍ධගේ සුරත තදින් ග්‍රහණය කර ගනිමින්.

අනුරාධගේ දෑසේ රැඳුණු හිස් බැල්ම මකාගෙන මතු වුණේ මවිතයක්. හිතේ තෙරපෙන කිසිවෙක් වචනයට නගා ගත නොහැකි ව මොහොතකට ඔහු ගොළු වුණා. ඔහුගේ බැල්ම වටහා ගත් මාලින් සෙමින් හිස සළමින් දිගු කතාවකට මුල පිරුවේ අනුරාධට අමන්දාගෙන් විමසන්න බැරි වුණ ප්‍රශ්න බොහෝමයකට උත්තර බඳිමින්.

"දවස් හතරකට විතර කලින් හවස් වරුවේ නයෝමි ව හොස්පිට්ල් එකට අරගෙන ආවේ අමන්දා. නයෝමි හිටියේ සිහි නැතු ව. පැනඩෝල් කාඩ් දෙකක් බීලා මැරෙන්න හදලා. දැන් විතරක් නෙමෙයි ඇඩ්මිට් කරනකොට වුණත් මැරෙන්න තරම් ලොකු අමාරු‍වක් තිබුණේ නෑ එයාට."

"උඹ කොහොම ද . . ."

"පැය දෙක තුනකින් සිහිය ආව එයාට. හෙට ගෙදර යන්නත් පුළුවන් වෙයි. හ්ම්ම්, ඩොක්ටර් කියන විදියට ස්ට්‍රෙස් එක නිසා තමයි ඔහොම කරලා තියෙන්නේ. මම හිතන්නේ පහුගිය දවස් දෙක තුනේ ම එක දිගට නයෝමි උඹට‍ කෝල් කරන්න ඇති.  ඒත් උඹ ආන්සර් කරේ නැති නිසා තමයි අද අමන්දා උඹ ව මීට් වෙන්න ඔෆිස් එකට ම ආවේ. නයෝමිට . . ."

"මාලින්, උඹ කොහොම ද . . ."

"නයෝමිට මැරෙන්න තව කල් තියෙනවා බං. උඹ බලන්න නොගියා කියලා ඒකි මැරෙන්නේ නෑ. උඹ බලන්න ගියත් නැතත් හෙට ටිකට් කපනවා."


"උඹ මේ දේවල් දන්නේ කොහොම ද කියපන්."


"මේනකා ඉන්ට’න් කරන්නේ ජෙනරල් හොස්පිට්ල් එකේ."

මාලින්ගේ පිළිතුරෙන් සියල්ල පැහැදිලි විය. එසේ නම් නයෝමි රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ හදිසි අනතුරු ඒකකයේ මේනකා සේවය කරන්නට ඇත. නයෝමි ව හොඳින් හඳුනන ඇය ඒ පිළිබඳ සියලු තතු චරිත්ට පවසා ඇති සෙයකි. චරිත්ගේ මාර්ගයෙන් මාලින් ඒ සියලු විස්තර දැන ගත්තා විය යුතු ය.

"මේක වෙච්ච දවසේ ම චරිත් මට හැම දෙයක් ම කිව්වා. අපි උඹට කිව්වේ නැත්තේ කියලා වැඩක් නැති නිසා. දැන් ටිකකට කලින් අමන්දා උඹේ ඔෆිස් එකේ ඉඳලා යනවා දකිනකං උඹ මේ ගැන දැනගෙන හිටියේ නැති බව මම දන්නවා. මම දැන් මේක උඹට කිව්වේ උඹ මෝඩයෙක් වගේ හොස්පිට්ල් එකට දුවන එක නතර කරන්න. නයෝමිට ඕනේ උඹ ව ගෙන්නා ගන්න. කැම්පස් ගිය කාලේ වගේ උඹ එයාට ආදරේ කරනවා බලන්න. ආයෙත් උඹ ළඟට එන්න. උඹ මෝඩයෙක් වගේ හැසිරෙන්න ගියොත් ඒක කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි එයාට. අන්තිමේ දී උඹට නයෝමිත් නැති වෙයි. ඉමාලිත් නැති වෙයි."

මාලින‍්ගේ සන්සුන් ස්වරයෙන් විස්තර කෙරෙන කටුක සත්‍යයට සවන් දුන් අනුරාධගේ හිතේ ඇති වුණේ ආත්මානුකම්පාවක්. ඉමාලි නැති ජීවිතයක් මනසේ සිතුවම් වෙද්දී ඔහුගේ දෑස් එළියට පනින්න වෙර දරණ කඳුළු පටලයකින් බොඳ වෙලා ගියා. පේරාදෙණිය සරසවි බිමේ දී ඔහුට පෙම් කළ අහිංසක යුවතිය සදහට ම නයෝමි ව හැර ගොස් ඇති බව සිහිවෙන විට ඒ කඳුළු අතරින් නැගුනේ කවදාවත් ඇති වේවි යැයි ඔහු බලාපොරොත්තු නොවූ හැඟීමක්. කලකිරීම සමග මුසු වුණ පිළිකුලක්.

"උඹ දැන්වත් තේරුම් ගනිං, අනුරාධ. නයෝමි උඹ ව දාල ගියේ මීට අවුරුදු හතරකට කලින්. සල්ලි නිසා ඒකි වෙනස් වුණා. අදටත් ඒ වෙනස වලංගු යි. යන එන මං නැති වුණා ම ආයෙමත් උඹ ව මතක් වුණා. ඒත් දැන් උඹ ළඟට එන්න ඒකි පරක්ක වැඩි යි. හැබැයි උත්සාහ කරොත් ආයෙමත් උඹ ළඟට එන්න බැරි වෙන්නේ නැති බවත් නයෝමි දන්නවා. මම මේ කියන දේ පිළිගන්න උඹ කැමති නැති බව මම දන්නවා. ඒත් ඒක යි ඇත්ත. උඹ ආදරේ කරපු නයෝමි මැරිලා හුඟක් කල්."

"හ්ම්ම්ම්."

"උඹ හොඳට හිතලා බලපන් ඇත්ත මොකද්ද කියලා. නයෝමි නිසා එක පාරක් උඹ අතරමං වුණා. ඒත් ඉමාලි ඇවිත් උඹට යන්න අලුත් පාරක් පෙන්නලා දුන්නා. උඹට ඕනේ නයෝමි පස්සේ ගිහින් ආයෙමත් සැරයක් අතරමං වෙන්න ද? එහෙම වුණොත් මේ වතාවේ උඹට පාර පෙන්නන්න ඉමාලි එන්නේ නැති බව හොඳට හිතේ තියාගෙන වැඩ කරපන්."

"උඹ කියන දේ මම පිළිගන්නවා, මාලින්. ඒත් . . ."

"එහෙම නං මොළේ කල්පනා කරලා වැඩ කරපන්. ඉමාලි උඹේ අතීතේ හරා අවුස්සන්නේ නැතු ව උඹ ව කසාඳ බැන්දේ විශ්වාසේ නිසා. ඒ විශ්වාසේ කැඩුවොත් උඹට ශාප වෙයි, අනුරාධ."

"මම ඉමාලිට වැරැද්දක් කරේ නෑ, මාලින්."

"උඹ එදා නයෝමි එක්ක මැක්ඩොනල්ඩ්ස් ගිය එක වැරැද්දක් නෙමෙයි ද? ඒ වෙලාවේ මම සමාධි එක්ක උඩ තට්ටුවේ හිටියේ. මට හිතා ගන්න බැරි වුණා උඹ නයෝමි එකක් ඉන්නවා දැක්ක ම. දැන්වත් උඹ නයෝමි ගැන හිතන එක නතර කරපන්. නැත්තං උඹටත් නොදැනීම උඹේ අතින් ඉමාලිට ලොකු වැරැද්දක් වෙයි. එදාට උඹ තනි වෙලා පසු තැවෙයි. උඹ කල්පනා කරලා තීරණයක් ගනිං. මම දැන් යනවා. මම ආවේ මේක උඹට දීලා යන්න," කුඩා සංයුක්ත තැටියක් අනුරාධගේ මේසය මතින් තබමින් මාලින් කිව්වේ පිට වී යාමට සූදානමින්. "එදා උඹ ඉල්ලපු ප්ලෑන් එක ඕකේ ඇති."

"උඹ කියපු දේවල් ඔක්කොම ඇත්ත," අනුරාධ දැඬි හඬකින් කිව්වේ අත් ඔරලෝසුව පිරික්සමින්. "මට ඒ ගැන තවත් හිතන්න දෙයක් නෑ, මාලින්. ඒත් මට අන්තිම වතාවට නයෝමි ව මුණ ගැහිලා කතා කරන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ හැම දෙයක් ම ඉවර යි."

෴  මතු සම්බන්ධ යි ෴

December 12, 2013

දෙයියන්ගේ ලෙඩ (පස් වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ පළමු, දෙවැනි, තෙවැනි සහ සිව් වැනි කොටස් කියවන්න පුළුවන් මේ මංපෙත් දිගේ පිය මැන්නොත් විතර යි . . .


ඉසුරු අරගෙන ආපු ආරංචිය අනුරාධගේ හිතේ ඇති කළේ කැලඹීමක්. මින් පෙර කිසි දිනෙක ගැහැනියක් ඔහු ව හමු වෙන්න කාර්යාලයට ඇවිත් නැහැ. ඉමාලිට ඔහු ව කාර්යාලයේ දී මුණ ගැහෙන්න අවශ්‍යතාවක් නැති බව ඔහු හොඳින් දැනගෙන හිටියා. එහෙම නං කවුද?

"නමක් හරි හේතුවක් හරි කිව්වේ නැද්ද, ඉසුරු?"

"නැහැ, සර්."

"එහෙම නං කියන්න මම අද බිසී කියලා. වෙන දවසක එන්න කියන්න."

"හරි, සර්."

ඉසුරු පිටවෙලා යන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු අනුරාධ සිත එක්තැන් කර ගන්න උත්සාහ ගනිමින් ආයෙමත් වතාවක් මේසය මත දිග ඇරලා තිබිච්ච සැලසුම දෙසට අවධානය යොමු කළා. නමුත් මිනිත්තු කිහිපයකට පසු යළිත් වතාවක් සිහින් හඬක් නගමින් දොර විවර වුණේ ඔහු ව කෝපයට පත් කරමින්.

"මම කිව්වනේ ඉසුරු මම අද බිසී කියලා," සැලැස්ම දෙසට හිස නැඹුරු කරගෙන ම ඔහු කිව්වා.

"ඒ වුණාට අපි කතා කරන්න ඕනේ, අනුරාධ," ඔහුට පිළිතුරු දුන්නේ ගැහැනියක්.

ඒ හුරුපුරුදු කටහඬ ඉදිරියේ ඔහුගේ හිස එස වුණේ නිරායාසයෙන්. කළු-දුඹුරු පැහැ සාරියකින් සැරසිලා නේකවිධ ආලේපන රැසක් අතරේ මුහුණ සඟවාගෙන හිටපු ඇය ව අඳුර ගන්න ඔහුට තරමක් කල් ගත වුණා.

"අමන්දා!"

"හුඟක් කාලෙකට පස්සේ. එහෙම නේද?" ඇය මද සිනාවක් පාමින් ඇහුවේ අනාරාධිත ව ඔහුට මුහුණ ලා අසුන් ගන්න ගමන්.

"හ්ම්ම්, ඔව්. අවුරුදු හතරකින් විතර මම හිතන්නේ."

"ඔව්. අවුරුදු හතරකින් විතර!"

"ඉතින්, මොකද හදිස්සියේ ම මාව මුණ ගැහෙන්න එන්න හිතුවේ?"

"මට ඔයාට ටිකක් කතා කරන්න ඕනේ, අනුරාධ."

"මොකක් ගැන ද?"

"නයෝමි ගැන."

ඇගේ පිළිතුර ඔවුන් අතර ඇති කළේ දැඬි නිහඬතාවයක්. කියන්න ඕනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි ව අනුරාධ, අමන්දා දිහා බලාගෙන හිටියේ විස්මයෙන් විසල් කර ගත් දෑසින්.

"මම මේ ගැන කතා කරන්න ආපු එක ඔයාට පුදුමයක් කියලා මම දන්නවා. ඒ වුණත් . . ."

"මේ අහන්න, අමන්දා. මට ඇත්ත‍ට ම නයෝමි ගැන කතා කරන්න දෙයක් නෑ. එයා ගැන කතා කරලා දැන් වැඩක් නෑ. වෙන්න පුළුවන් හැම දෙයක් ම සිද්ධ වෙලා ඉවර යි දැන්. ඉතින්, අපි මොකට ද ආයෙමත් අතීතය ගොඩ ගන්නෙ? ඒකෙන් වෙන්නේ හැමෝගෙම හිත් රිදෙන එක," ඇයට බාධා කරමින් අනුරාධ දැඩි හඬකින් කිව්වා.

"මම අතීතය ‍ගොඩ ගන්නවා නෙමෙයි, අනුරාධ. මට මේවා කියන්න කවුරුත් නෑ. ඒක යි මම ඔයා ව හොයාගෙන ආවේ."

"හ්ම්ම්, අපි වෙන දවසක කතා කරමු, අමන්දා. මට අද වැඩ වැඩි."

"ප්ලීස්, අනුරාධ. මට ෆයිව් මිනිට්ස් දෙන්න."

ඒ ඉල්ලීමට අනුරාධගෙන් ප්‍රතිචාරයක් නොලැබුණ නිසා අමන්දා කතාව ඇරඹුවේ දිගු කාලයක් තිස්සේ ඔහු දැන ගන්න ආසාවෙන් හිටිය නයෝමිගේ දිවි ගමනේ මග සලකුණු එකින් එක දිග හරිමින්.

"අරෝෂ් නිසා නයෝමි හුඟක් දුක් වින්දා, අනුරාධ. බැඳලා අවුරුද්දක් යන්නත් කලින් කරපු මෝඩකම එයාට තේරුනා. ඔයා ව දාල අරෝෂ් ළඟට ගිය එක ගැන එයා හිටියේ කියන්න බැරි තරම් දුකින්."

"හ්ම්ම්," මනසේ සිතුවම් වෙන අතීත මතකයන් මග හරින්න උත්සාහ කරමින් අනුරාධ කිව්වා.

"බැන්දට පස්සේ හිටියේ නයෝමි හිතපු අරෝෂ් නෙමෙයි. බේබද්දෙක්. සල්ලාලයෙක්. නයෝමිට පුළුවන් තරම් වද දුන්නා. බීගෙන ඇවිත් අතට අහුවෙන එකෙන් දමලා ගැහුවා."

"එතකොට නයෝමිගේ අම්මා?"

"නයෝමිගේ අම්මලා මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. එයා කියන්න ගියෙත් නෑ. එයා හිතුවේ ඔයා ව දාල ආපු නිසා ඒකේ හිලව්වට මේ හැම දුකක් ම ඉවසන්න ඕනේ කියලා."

"හ්ම්ම්," අමන්දාගේ වදන් ඉදිරියේ අනුරාධගේ මුවෙන් ඔහුටත් නොදැනීම දිගු සුසුමක් පිට වුණා. නයෝමි ගැන ඔහුට දැනුණේ දුක සමග මුසු වුණ අනුකම්පාවක්. ඒත් ඇය වෙනුවෙන් යමක් කරන්න දැන් ප්‍රමාද වැඩි බව ඔහු හොඳින් දැනගෙන හිටියා.

"ඒ අතරේ නයෝමිට දරුවෙක් ලැබෙන්න හිටියා. දරුවා නිසා නයෝමි හිටියේ සතුටෙන්. ඒත් අරෝෂ් එයාට සතුටින් ඉන්න දුන්නේ නෑ. බීගෙන ඇවිල්ලා න‍යෝමි එක්ක රණ්ඩු කළා හැමදාම වගේ. දවසක් රණ්ඩුවක් දුර දිග ගිහින් නයෝමි ව පඩිපෙළින් පහළට තල්ලු කළා. එදා නයෝමිගේ අම්මාත් හිටියා. ආන්ටිට ආරංචි වෙලා තිබුණේ අරෝෂ්ගේ හැටි. ඒ නිසා තමයි එයා ඇවිත් තිබුණේ."

"හ්ම්ම්, ඉතින් . . ."

"න‍යෝමි පඩිපෙළින් පහළට වැටෙනවා දැක්ක ම ආන්ටිට සිහි නැති වුණා. ආයෙමත් කවදාවත් එයාට සිහිය ආවේ නෑ. එයාට සිහි නැති වෙලා තිබුණේ හාට් ඇටෑක් එකක් හැදිලා. අන්තිමේ දී නයෝමිට අම්මවයි, දරුවවයි දෙන්න ම නැති වුණා."

"ඉතින්, ඒ කාලෙ ම එයා ඩිවෝස් වුණේ නැත්තේ ඇයි?"

"අරෝෂ් ඩිවෝස් වෙන්න දුන්නේ නෑ. නයෝමි ඔයාට ලියපු ලියුමක් එයාට අහුවෙලා තිබුණා. ඒ නිසා එයා හැදුවේ පුළුවන් තරම් නයෝමිගෙන් පළි ගන්න. ගේ ඇතුළේ නයෝමි ව හිර කරගෙන පුළුවන් තරම් වද දුන්නා. නයෝමි හිටියේ අපායක."

"හ්ම්ම්," අනුරාධ කිව්වේ කල්පනා කරමින්. නයෝමිගේ ජීවිත කතාව දැන ගන්න තව දුරටත් ඔහුට වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට ඕනේ වුණේ අමන්දා කියපු හැම‍ දෙයක් ම අමතක කරලා ඉමාලි එක්ක එකතු වෙලා හදපු ඔවුන්ගේ සොඳුරු ලෝකයට යන්න.

"ඒ අතරේ නයෝමි දැන ගත්තා අරෝෂ් මානසික රෝගියෙක් කියලා. පොඩි කාලේ ඉඳලා තමන් ආදරේ කරන අයට වද දෙන එකෙන් අරෝෂ් සතුටු වුණා. ඒ නිසා නයෝමි තීරණේ කරා පුළුවන් තරම් ඉවසලා අරෝෂ් ව සනීප කර ගන්න. එයාට වෙන . . ."

"අමන්දා, මේ අහන්න. මට ඇත්තට ම නයෝමි ගැන දුක යි. මේ දේවල් මම දැනගෙන හිටියේ නෑ. ඒත් ඔයා මේ දේවල් මට කිව්වා කියලා මට කරන්න පුළුවන් දෙයක් නෑ. හැම දේකට ම දැන් පරක්කු වැඩි. ඔයා දන්නවා මම බැඳපු මනුස්සයෙක්. එහෙම නොවුණා නං මට න‍යෝමි ගැන බලන්න තිබුණා. ඒත් දැන් ඒක කරන්න බැහැ. මට කරන්න ඕනෙත් නැහැ. මොකද මම ආදරේ ඉමාලිට මිසක් නයෝමිට නෙමෙයි."

"ඒක මම දන්නවා, අනුරාධ. මම කියන්නේ නැහැ ඔයාට ආයෙමත් නයෝමිට ආදරේ කරන්න කියලා. මම ආවේ ඔයාට එක ම එක වතාවක් නයෝමි ව මුණ ගැහෙන්න එන්න කියන්න."

"මට ඒක කරන්න බෑ, අමන්දා. මට එහෙම කරන්න ඕනේ නෑ. මට ආයෙමත් කවදාවත් නයෝමි ව මුණ ගැහෙන්න ආසාවක් නෑ."

"ඒත් අනුරාධ ඔයාට නයෝමි ව එක ම එක පාරක් බලන්න එන්න ම වෙනවා."

"ඇයි?"

"අපි මේ කතා කරන වෙලාවේ නයෝමි ජෙනරල් හොස්පිටල් එකේ පණ අදිනවා. එයාට මැරෙන්න කලින් එක පාරක් හරි ඔයා ව බලන්න ඕනේ ලු," අමන්දා පිළිතුරු දුන්නේ අනුරාධගේ හදවත මොහොතකට නතර කරමින්.

෴  මතු සම්බන්ධ යි ෴

December 8, 2013

දෙයියන්ගේ ලෙඩ (සිව් වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ පළමු, ‍දෙවැනි සහ තෙවැනි දිග හැරුම කියවන්න බැරි වුණ අය යන්න ඕනේ මෙන්න මේ මංපෙත් දිගේ  . . .


ඉමාලිගේ ඒ වදන් පෙළ අනුරාධගේ නින්ද ආයෙමත් නොඑන්න ම ඈතට තල්ලු කරලා දැම්මා. ඔහුගේ හිතේ සැනසීම දිය පිට ඇඳි ඉරික් වගේ නැති වෙලා යන්න ගත වුණේ ක්ෂණය යි. නයෝමි හැර ගියාට පස්සේ ඔහු ඇගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු වසර ගණනාවක් පෙරුම් පිරුවා. රෑ නිදි මරාගෙන දුරකථන තිරය දිහා බලාගෙන හිටියා. දුරකථනය නාද වෙන හැම වෙලාවක ම ඒ දිහා බැලුවේ බලාපොරොත්තු පිරිච්ච හිතකින්. ඒත් කවදාවත් ඇය කතා කළේ නැහැ. අන්තිමේ දී ඔහුට අවශ්‍ය නැති වෙලාවක, ඔහුගේ හිතේ සැනසීම නැති කරමින් ඒ දුරකථන ඇමතුම ඇවිත් තිබුණා.

සිහින් හඬින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන ඉමාලි‍ගේ සිහින් ඇඟිලි තුඩු කෙස් කළඹ අතරින් දිව යන අයුරු ඔහුට දැනුණා. දිගු වේලාවකට පස්සේ ඔහු ව පොරෝනයෙන් හොඳින් ආවරණය කරලා ඔහුගේ නළලට හාදුවක් දීල මුළුතැන්ගෙය දෙසට ඇවිදගෙන යන ඇගේ පියවර හඬ, දොර ජනෙල් වහන ගමන් ඇය ගැයූ ගීයේ මියුරු හඬ, සිහින් පොද වැස්‍සක් වගේ නාන කාමරයේ වතුර වැටෙන හඬ ඔහුට ඇසුණා. ඒ හැම දෙයක් ම සිදු වුණේ හුඟක් හෙමින්. අන්තිමේ දී ඔහුගේ හදවතේ රිද්මයට සවන් දෙමින් ඇය නින්දට වැටුණා.

නමුත් නින්ද ඔහු ‍ළඟට ආවේ නැහැ. ඒ වෙනුවට එකිනෙකට වෙනස් සිතුවිලි දහසක් ඔහුගේ හිත ඇතුළේ පෙරළි කළේ පැටලුණ නූල් බෝලයක් වගේ. නයෝමිගේ දුරකථන ඇමතුමට හේතුව දැන ගන්න ඔහුගේ සිත නොඉවසිල්ලෙන්. ඒ නිසා නිරායාසයෙන් ම ඔහුගේ සුරත මේසය මත තිබුණ ජංගම දුරකථනය දෙසට ඇදුණා.

වසර ගණනක් තිස්සේ ඇය වෙනුවෙන් ඔහුගේ දුරකථන අංකය නොවෙනස් ව තිබුණත් ඇගේ දුරකථන අංකය වෙනස්. 'ඇයට දුරකථන ඇමතුමක් ගන්නවා ද?' ඔහුගේ සිත වල්මත්. නයෝමි පිළිබඳ මතකයන් යටපත් කරමින් ඔහුගේ පපුවේ උණුසුමට තුරුල් වෙලා නිදන ඉමාලිගේ රුව දෙසට ඔහුගේ දෙනෙත් යොමු වුණේ අහම්බෙන් වගේ. 'රෑ‍ නිදා ගන්නකොට ඔයාගේ හදවත ගැහෙන සද්දේ ඇහෙද්දී ම‍ට ලොකු ආරක්ෂාවක් දැනෙනවා, අනුරාධ.' ඇගේ කටහඬ ඔහුගේ දෙසවන් අසල රැව් දුන්නේ ඔහුගේ සිත තුළ නැණ පහන් දල්වමින්.

නයෝමිගේ ඇමතුමට අදාළ සියලු මතකයන් දුරකථනයෙන් මකා දමන්න අනුරාධට ගත වුණේ එක ම එක මොහොත යි. ඔහුගේ සිතට දැනුණේ සැහැල්ලුවක්. දැරිය‍ නොහැකි වේදනාවක් සිතෙන් ඉවත් ගිය පසු ඇති වන අසාමාන්‍ය සැනසිල්ලක වෙළී ඔහු නින්දට වැටුණා.


✾     ✾     ✾

රැය පුරා ඇද හැලුණ මහ වැසි අලුත් හිරු උදාවත් සමග පහ ව ගියේ අඳුරු වලා පටලය රන්වන් ළහිරු කිරණින් සිත්තම් කරමින්. විවෘත වුණ කවුළුව තුළින් හමාගෙන ආවේ සීතල සුළඟක්. ජනෙල් පඩිය මත තිබුණ උඩවැඩියා පඳුර සුදෝසුදු මලින් බර වෙලා. ඒ අසල ම ඉමාලිගේ හුරතල් ලේන් පැටියා උදේ කෑම වෙලාව එළඹෙන තුරු නිදහසේ දඟ කරමින් හිටියා. ඇ‍ඳෙන් බැහැලා නාන කාමරයට ගිය අනුරාධ මුහුණ සෝද ගත්තේ ප්‍රබෝධයෙන්.

ඒ හැම දෙයක් ම අනුරාධගේ හිතට අරගෙන ආවේ අලුත් ආරම්භයක්. හැම වේදනාවක් ම අමතක කරලා නයෝමි නැති ලෝකයක් තනන්න ඔහුට අවැසි වුණා. ඉමාලිට විතරක් ආදරේ කරන්න. හැමදාම ඇය ව සතුටින් තබන්න. ඒ වෙනුවෙන් නයෝමි ව සදහට ම ඔහුගේ ලෝකයෙන් ඈත් කළ යුතු බව ඔහු දැනගෙන හිටියා. ටිකක් කල් ගත වුණත් අන්තිමේ දී ඒ තීරණය ගැනීම ගැන ඔහු හිටියේ තෘප්තියෙන්.

"මොකද අනේ තනියම හිනා වෙන්නෙ?" ඉමාලි ඇහුවේ ඔහුගේ අතට තේ කෝප්පයක් දෙන ගමන්. ඇය හිටියේ තැඹිලි පැහැ ඔසරියකින් හැඩ වෙලා.

"ඒක රහසක්. අම්මේ, මෙයාගේ හැඩ! මොකෝ මේ උදේ පාන්දරින් ම ලෑස්ති වෙලා?"

"අද උදෙන් ම යන්න ඕනේ, අනූ. මම ඊයේ පොරොන්දු වෙලා ආවේ."

"මොනවා ද ඔච්චර වැඩ?"

"ඒක රහසක්," ඉමාලි සරදම් කළා. "කියන්නේ නෑ ඔයාට."

"අපෝ, වැඩේමයි මට ඔයාගේ රහස් දැන ගන්න. අනික මම සෑහෙන්න වැඩ තියෙන මනුස්සයෙක්. ඔයාට වගේ හෝඩියේ පන්තියේ වැඩ කරන්න වෙලා නෑ මට. තේරුනා ද මැඩම්?"

"එහෙම ද? කිව්ව එක හොඳයි මට දැන ගන්න. මම යනවා," ඉමාලි කිව්වේ බොරු අමනාපයකින්.

"මගේ කෑම එක ලෑස්ති කරලා යන තැනක ගියාට කමක් නෑ."

"ඔයා මහ නපුරෙක්."

"නපුරෙක් වුණත් ඔයාගේ මහත්තයානේ. ඒ නිසා ඔයා මම කියන විදියට වැඩ කරන්න ඕනේ," අනුරාධ කිව්වේ ඉමාලිට යන්න බැරි වෙන්න ඔසරි පොටින් අල්ලා ගන්න ගමන්.

"මට යන්න දෙන්නකෝ."

"විහිළුවක් කරේ. පරිස්සමින් ගිහින් එන්න."

"මම දන්නවා. ඔයාගේ දවල් බත් එක කෑම මේසේ උඩ ඇති. මතක් කරලා ඒක අරගෙන යන්න. උදේට කාල මිසක් ඔෆිස් යන්න බෑ ඔන්න."

"හරි," අනුරාධ කිව්වේ ඉමාලිගේ ආදරේ විඳින ගමන්. නයෝමිගේ ආදරේට වඩා හාත්පසින් ම වෙනස් සරල බවට මුවා වුණ ගැඹුරු ආදරයක්. ඔහුගේ සිත‍ වෙළා ගත් සියලු ‍දුක් දොම්නස් පලවා හරින ආද‍රයක්.

"මම යන්නං, අනුරාධ. ඔයත් පරිස්සමින් ගිහින් එන්න. මම ඔයාට හුඟක් ආදරෙයි."

"මමත් ඔයාට හුඟක් ආදරෙයි," අනුරාධගේ කිව්වේ ඉමාලි ව තදින් පපුවට තුරුල් කරගෙන ඇගේ හිස සිප ගනිමින්. "හුඟක් ආදරෙයි හැමදාම."

"මම දන්නවා. මමත් එහෙම යි."

දිගු වේලාවකට පස්සේ අනුරාධගේ ග්‍රහණයෙන් මිදිලා ඇය දොරටුව දිහාට පිය නැගුවේ හිත වසා ගත්ත සැනසිලිදායක හැඟුම් වලාවක් සමග. පෙර දා රැයේ හිතේ ඇති වුණ සැකය ගැන ඇය පසුතැවිලි වුණා.

ඉමාලි නිවසෙන් පිට වුණාට පස්සේ අනුරාධගේ හිතට දැනුණේ පාළුවක්. වසරකට ආසන්න යුග දිවියේ සොඳුරු මතකයන් ආවර්ජනය කරමින් ඔහු‍ කාර්යාලයට යන්න සූදානම් වුණත් ඒ තනිකම මැකිලා ගියේ නැහැ. ඇගේ මියුරු සිනා හඬ නෑසෙන නිවස, සොහොන් බිමක් සේ නිහඬ යි. බොහෝ වෙලාවකට පස්සේ ඒ නිහඬ බව බිඳිලා ගියේ නොනැවතීම නාද වුණ ඔහුගේ ජංගම දුරකථනයේ හඬින්.

"අනුරාධ," නයෝමිගේ හැඟුම්බර කටහඬ දුරකථනය තුළින් ගලාගෙන ආවා. "ඔයා තාමත් ඒ කාලේ යූස් කරපු නම්බර් එක නේද යූස් කරන්නෙ?"

"ඔව්. කියන්න දෙයක් තියෙනවා නං ඉක්මනට කියන්න, නයෝමි. මට ඔෆිස් යන්න පරක්කු වෙනවා."

"ඔහොම නපුරු විදියට කතා කරන්න එපා, අනූ."

"මේ නයෝමි, මට ඔයා එක්ක නිවී සැනසිල්ලේ කතා කර කර ඉන්න වෙලා නෑ. ඔයාට කියන්න දෙයක් තියෙනවා නං ඉක්මනට කියලා ඉවර කරන්න."

"ඔයාට මොකද වෙලා තියෙන්නෙ, අනූ?"

"මට මුකුත් වෙලා නැහැ, නයෝමි. මට ඇත්තට ම ඔයා එක්ක කතා කරන්න දෙයක් නැහැ. ඔයා ඒක තේරුම් ගන්න. කියන්න ඕනේ හැම දෙයක් ම මම ඊයේ ඔයාට කිව්වනේ."

"ඒත්, අනුරාධ . . ."

"නයෝමි, මේ අහන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි. හැම දෙයක් ම වෙනස් වෙලා. මම බැඳපු මිනිහෙක්. මට ම කියලා ජීවිතයක් තියෙනවා. අනික ඔයත් බැඳපු කෙනෙක්. ඒ නිසා අපිට ඉස්සර වගේ කතාබහ කරන්න බෑ. එහෙම කරන එක හොඳ මදි."

"මම ඩිවෝස් වුණා."

"ඒක හරි. ඒත් ඔයා ඩිවෝස් වෙච්ච එක මට අදාළ නැහැ. අනික මම ඩිවෝස් වෙලා නැහැනේ, නයෝමි. මම ඉමාලිත් එක්ක සතුටින් ඉන්නවා. හුඟක් සතුටින්. මම ඇත්තට ම කැමති නෑ ඔයා මට කතා කරනවට. මොකද ඔයා නිසා ඉමාලිගේ හිතට දුකක් දෙන්න මට ඕනේ නැහැ. ඒ නිසා කරුණාකරලා ආයෙත් මට කතා කරන්න එපා."

"අනුරාධ, මට කතා . . ." ඔහු ඇමතුම විසන්ධි කළා.

ඉන් පසු ව පැමිණි දින කිහිපය ඔහු කැප කළේ ඉමාලි වෙනුවෙන්. ඇගේ කටයුතුවලට සහය වෙමින්, සරසවි සිසුන් සමග එක් ව ඇයට විහිළු තහළු කරමින්, නිරන්තරයෙන් ම ඇය අසල දැවටෙමින් ඔහු ගත කළේ පුළුන් රොදක් සේ සැහැල්ලු දිවියක්.

ඔහු කාර්යාලයේ දී පවා කටයුතු කළේ දැඩි උද්‍යෝගයකින්. ගෙවී ගිය දින කිහිපය ඇතුළත ඔහුගේ සිතේ අලුත් බලාපොරොත්තු ඇති කරන්න ඉමාලිට හැකි වී තිබුණා.

"සර්," නයෝමිගේ අවසන් දුරකථන ඇමතුමෙන් සතියක් ඉක්ම ගිය දා ගොඩනැගිලි සැලැස්මක් අධ්‍යයනය කරමින් අවිවේකී ව හිටපු අනුරාධට බාධා කරමින් කාර්යාල සහයකයෙක් ඔහු ව ඇමතුවේ යටහත් පහත් විදියට.

"ඇයි, ඉසුරු?"


"සර් ව මුණ ගැහෙන්න මිස් කෙනෙක් ඇවිල්ලා," ඔහුගේ පිළිතුර අනුරාධගේ දෑසේ මතු කළේ පීඩාකාරී බැල්මක්.

෴  මතු සම්බන්ධ යි 

December 5, 2013

දෙයියන්ගේ ලෙඩ (තෙවැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ පළමු සහ දෙවැනි කොටස් කියවන්න ‍ඕනේ අය මේ අතුරු මංපෙත් දිගේ ගිහින් කියවලා එන්න . . .


දෙසවන් අදහන්න බැරි ව අනුරාධ නයෝමි දිහා බැලුවා. ඇගේ දෑසෙන් ගලාගෙන යන කඳුළු නිසා රිදුම් දෙන හදවතක් එක්ක ඔහු ආපසු ඈ දිහාට හැරුණා. 'උඹ කරන්නේ වැරැද්දක්, අනුරාධ. උඹට වචනෙකින්වත් වැරැද්දක් නොකරන ඉමාලිට ඇයි උඹ ද්‍රෝහි වෙන්නෙ?' නයෝමිගේ ඉකිබිඳුම පරයමින් ඔහුගේ හිත කෑ ගැහුවා.

"නයෝමි," ඔහුගේ ස්වරය මෘදු යි. ශාන්ත යි. "මම කවදාවත් ඔයා ව දාල ගියේ නැහැ. ඔය යි මාව තනි කරලා දාල අරෝෂ් ළඟට ගියේ. ඒක අමතක ද ඔයාට?"

ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවුණ ඔහු කඩා හැලෙන මහ වැසි නොතකා ම එළියට බැස්සා. නුගේගොඩ නගරය අඳුරු යි. නමුත් තැනින් තැන දැල්වුණ විදුලි පහන් නිසා ඒ අඳුර මැකී ගියා. නමුත් ඔහුගේ හිත වසා ගත්ත අඳුර මකන්න ඒ විදුලි පහන්වලට හැකියාවක් තිබුණේ නැහැ.

නොකඩවා ම ඇද වැටෙන වැහි බිඳු ඔහුගේ කඳුළින් වැසුණ දෙනෙත් පැහැදිලි කළා. ඒත් හදවතක නැගෙන ගින්නක් නිවන්න මහ වැස්සකට පුළුවන් ද?

වැස්සේ තෙමි තෙමී ඇවිත් අනුරාධ සරසවි පොත් මැදුර ඉදිරිපිට නතර කරලා තිබුණ වාහනයට නැග්ගා. ඔහුගේ නිල් පැහැ කමිසය ඇඟට ම ඇලිලා. කෙස් කළඹෙන් බේරුණු දිය වාහනය තුළ එක්රැස් වුණා. නමුත් ඒ කිසිවක් ගැන තැකීමක් නොකළ අනුරාධ තදින් ම රිදුම් දෙන හිස සුක්කානම මත තියා ගත්තේ සහනයක් බලාපොරොත්තුවෙන් වුණත් නයෝමි ඔහුගේ දෑස් ඉදිරියේ සිත්තම් වුණේ ඔහුගේ වේදනාව වැඩි කරමින්.    

සිව් වසරකට කලින් ඔහු ව හැර ගිය ඇය නිසා විරහවෙන් කැකෑරෙන හදවතක් එක්ක ඔහු තනි ව දුක් වින්දා. දින ගණනාවක් හඬා වැටුණා. අන්තිමේ දී හැම දෙයක් ම අමතක කරලා අලුතින් ජීවිතයක් පටන් ගත්තේ අම්මගේ, නංගිගේ සහ යහළු යෙහෙළියන්ගේ සිත්වලට සැනසීමක් ගෙන දෙමින්. නමුත් ආයෙමත් ඒ කුරිරු අතීත මතකයන් අරගෙන ඔහුගේ හදවත වේදනාවෙන් දවාලන්න නයෝමි ඇවිත් හිටියා. කළ යුතු දේ පිළිබඳ ව ඔහු තීරණයක් ගත යුතු ව තිබුණා. නිවැරදි තීරණයක්.    

යාබද අසුන මත තිබුණ බ්‍රිස්ටල් බෝඩ් රෝල දිහා බලන ගමන් ජංගම දුරකථනය සුරතට ගත්ත අනුරාධ ඉමාලිට ඇමතුමක් ගත්තා. ඔහුට ඕනේ වුණේ ඉමාලිට මේ හැම දෙයක් ම කියලා හිත නිදහස් කර ගන්න. යෝජිත විවාහයක් වුණත් දැන් ඔහුගේ බිරිඳ ඇය යි. මේ දේවල් දැන ගන්න ඇයට අයිතියක් තියෙනවා.

"අනූ, ඔයා පරිස්සමින් ගෙදර ගියා නේද? මම ඉක්මනට එන්නං." ඉමාලිගේ ආදරණීය කටහඬ ඔහුගේ හිතේ තිබුණ සැලසුමට තිතක් තිබ්බා. 'එක අතකට මේ වගේ පොඩි දෙයක් නිසා ඉමාලිගේ හිතට දුකක් දෙන්නේ ඇයි?'

"ඔයා තාම කැම්පස් එකේ ද?"

"ඔව්. තව ටිකකින් මට එන්න පුළුවන්. මම ඉක්මනට එන්නං. ඔයාට බඩගිනි ද?"

"නැහැ. ඔයා බස් එකේ එන්න එපා. දැන් රෑ වෙලානේ. මම එන්නං ඔයා ව ගන්න."

"ඔයා කොහෙද ඉන්නෙ?"

"නුගේගොඩ."

"ඔයා ගෙදර යන්න, අනූ. ආයෙමත් මෙහේ එන එක අපරාදේ. මම බස් එකේ එන්නං. ඔයා ගෙදර ගිහින් ‍මහන්සි යන්න වොෂ් එකක් දා ගන්න."

"මට බෑ තනියම ගෙදර යන්න. මම එන්නං ඔයා ව ගන්න."

"මේ මොකද මේ?" ඉමාලි ඇහුවේ සිනහව අතරින්. ඇගේ ඒ සොඳුරු සිනා හඬ ඔහුගේ හිතට සතුට සමග මුසු වෙච්ච සැනසීමක් අරගෙන ආවා.

"මම එනකං ඉන්න, ඉමාලි."

ඇයට පිළිතුරක් දෙන්න ඉඩ නොතියා ඇමතුම විසන්ධි කරපු අනුරාධ කොළඹ සරසවි බිම කරා රිය පදවා ගෙන ගියේ මනසින් ඇගේ සිනා හඬට සවන් දෙමින්.

සරසවි පිවිසුම් දොරටුව අබියස ආවරණයක් යටට වෙලා සිසු සිසුවියන් පිරිසක් එක්ක කතා කරමින් හිටපු ඉමාලි ව දැක්ක අනුරාධගේ මුහුණේ මතු වුණේ මදහසක්. 'මට සමාවෙන්න, ඉමාලි. මම කවදාවත් ඔයාට දුකක් දෙන්නේ නෑ. ඔයා නිසා යි අද මම ජීවත් වෙලා ඉන්නේ.'

අනුරාධගේ මෝටර් රථය දැක්ක ම ඇය සිසු සිසුවියන්ට සමු දීලා පොද වැස්සෙ ම දුවගෙන ඇවිත් ඉදිරිපස අසුනට ගොඩ වුණේ ඔවුන්ගේ විහිළු තහළු මැද.

"මොකද්ද අනේ ඔයාට වුණේ?" ඇඟට ඇලුණු කමිසයකුත් ඇඳගෙන සීතලේ වෙව්ලමින් හිටපු අනුරාධ දිහා බලන ගමන් ඇය පුදුමයෙන් ඇහුවා.

"පොඩි වැස්සකට අහු වුණා."

"මට ඒත් හිතුනා පොඩි වැස්සක් වෙන්න ඇති කියලා," ඉමාලි ඇනුම්පදයක් කිව්වේ ඔසරි පොටින් ඔහුගේ හිස පිහදමමින්. ඒ ආදරණීය බව ආයෙමත් ඔහුගේ හිත වරදකරුවෙක් කළා.

"මොකටද වැස්සේ තෙමෙන්න ගියේ?"

"කවුද හිතලා තෙමුණේ? මම සරසවියට ගිහින් එනකොට වැස්සක් කඩා වැටුණා."

"වැස්ස පායනකං ඉන්න තිබුණානේ. කෝ මට අරගෙන ආපු පොත?"

"ඔයා පොතක් ගේන්න කිව්වේ නැහැනේ."

"ඒ වුණාට වෙනදට . . ."

"අද හොඳ‍ පොත් තිබුණේ නැහැ, ඉමාලි."

අනුරාධගේ පිළිතුර ඔවුන් දෙදෙනා අතර ඇති කළේ දැඩි නිහඬතාවයක්. කල්පයක් වගේ දැනුණ මිනිත්තු කිහිපයකට පස්සේ ජංගම දුරකථනයේ හඬ ඒ නිහඬ බව බිඳ දැම්මේ අනුරාධගේ සිත නොසන්සුන් කරමින්. නාඳුනන දුරකථන අංකයක්. අඩවන් ව තිබුණ ඉමාලිගේ දෙනෙත් විවර වුණා.

"හෙලෝ," දුරකථනය තුළින් මාලින්ගේ කටහඬ ගලාගෙන ආවා. ඔහුගේ කටහඬ ‍රළු යි. අකාරුණික යි. ඒත් ඒ හඬ අනුරාධගේ සසල සිත නිසල කළා.

"මාලින්, උඹ මොකද මේ වෙලාවේ? කාගෙද මේ නම්බර් එක?"

"එකෙන් උඹට වැඩක් නැහැ. උඹ අද හවස මැක්ඩොනල්ඩ්ස් ආපු වෙලාවේ මට මේක කියන්න තිබුණේ. ඒත් උඹලගේ කතාවට බාධා කරන්න ඕනේ වුණේ නැහැ." මාලින්ගේ වදනින් අනුරාධගේ සිත තිගැස්සුණා. "උඹ ආයෙමත් මෝඩයෙක් වගේ හැසිරෙන්නේ උඹට ලැජ්ජා නැද්ද? එක දවසින් අවුරුදු ගාණක් තිස්සේ විඳපු දුක උඹට අමතක වුණා ද? මම දන්නේ නෑ අරකි උඹට මොනවා කිව්ව ද කියලා. හැබැයි, උඹ ඉමාලිට වැරැද්දක් කරොත් . . ." ඇමතුම විසන්ධි වුණා.

"මාලින්ට මොකක් හරි කරදරයක් ද?" ඉමාලි බියපත් ව ඇහුවේ අනුරාධගේ සුදුමැලි වෙච්ච මුහුණ දිහා බලන ගමන්.

"නැහැ."

"එහෙම නං ඇයි? ඔයාගේ මූණත් සුදුමැලි වෙලා."

"මගේ ඔළුව රිදෙනවා. වැස්සට තෙමිච්ච නිසා වෙන්න ඇති, ඉමාලි."

ආදරය අතරට එන නිහඬ බව දරුණු වේදනාවක්. කටුක යි. පෙර ඇති නොවූ වෙනසක්. ඒ නිසා ඉමාලිගේ සිත නොසන්සුන්. තැති ගත් මුවැත්තියකගේ වගේ.

ගෙදර ඇවිත් තෙත ඇඳුම් මාරු කර ගත්ත අනුරාධ ඇ‍ඳේ හාන්සි වෙලා දෙනෙත් පියා ගත්තා. සිදු වුණ දේ ඔහුට සිහිනයක්. 'මාලින් කොහොම ද මේ හැම දෙ‍යක් ම දැක්කෙ?'

මුළුතැන්ගෙට වෙලා රෑ කෑම වේල ප්‍රතික්ෂේප කරපු අනුරාධට උණුසුම් කිරි වීදුරුවක් හදන ගමන් හවස සිදු වෙච්ච දේවල් ගැන ඉමාලි කල්පනා කළා. පහුගිය දෑ අවුරුද්ද පුරා ඇය දැනගෙන නොහිටි අලුත් අනුරාධ කෙනෙක්. කවදාවත් නැතු ව අද ඔහු නිහඬ යි. ගුප්ත යි. 'මාලින් ව මුණ ගැහිලා මේ ගැන අහනවා ද?'

ඉමාලි අරගෙන ආපු කීරි වීදුරුවත් එක්ක පැන්ඩෝල් දෙකක් බීපු අනුරාධ පොරෝනය ඇතුළේ ගුලි වුණේ හිස පුපුරා යන තරමේ වේදනාවක් සමග. ඉමාලිගේ ඇඟිලි තුඩු කෙස් කළඹ අතරින් දිව යනකොට ඔහුට දැනුණේ කියාගන්න බැරි තරම් සුවයක්.

එකවර ම ඉමාලි නිදන කාමරයෙන් පිටතට දුවගෙන ගියේ සැනසිලිදායක හැඟීම් සමුදායක් එක්ක ඔහු අඩ නින්දේ පසු වෙද්දී. මද වෙලාවකින් ඇය ආපසු ඇවිත් ඔහුගේ පසෙකින් අසුන් ගත්තේ ඇඳ ළඟ තිබුණ පුංචි මේසේ මත ඔහුගේ ජංගම දුරකථනය තබන ගමන්.

"මාව දාල කොහෙද ගියේ?" අනුරාධගේ කටහඬ නිදිබර යි.

"ඔයාගේ ෆෝන් එක රින්ග් වුණා. ඒක සාලේ මේසේ උඩ දාල ඇවිත් ඔයා."

"වෙන්න ඇති. මට ඇහුණේ නෑ රින්ග් වෙනවා."

"ඔයාගේ යාළුවෙක් කතා කරේ. මම කිව්වා ඔයාට ඔළුවේ කැක්කුමක් හැදිලා නිදි කියලා. හෙට උදේට කතා කරන්නං කිව්වා."

"මාලින් ද?"

"නැහැ. මම හිතන්නේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ. නම කිව්වේ නයෝමි කියලා," ඉමාලි කිව්වේ සැහැල්ලුවෙන්.

෴  මතු සම්බන්ධ යි 

December 1, 2013

දෙයියන්ගේ ලෙඩ (දෙවැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ (පළමු දිග හැරුම) බලන්න යන්න මග සලකුණු මෙන්න . . .


විසල් කර ගත් දෙනෙතින් මිනිත්තු කිහිපයක් ඔහු දෙස බලාගෙන හිටිය ඇය අන්තිමේ දී කතා කළේ නෑසෙන තරම් පහත් හඬින්. "මට සමාවෙන්න, අනුරාධ."

ඒ කටහඬ ඔහුගේ සිතුවිලි අතරමං කළා. සිව් වසරකට පෙර ඔහු ව හැර ගිය දවසේ ඇගේ දෙතොල් අතරින් නැගී ආ ස්වරය කොතරම් රළු ද? 

"අරෝෂ් මට ආදරෙයි. මම එයා ළඟට යනවා."

"එතකොට මම ඔයාට ආදරේ නැද්ද, නයෝමි?"

"ආදරේ විතරක් තිබිලා මදි ජීවත් වෙන්න. ඔයා නංගිගේ යුතුකම් ඉෂ්ට කරනකං මට ගෙදරට නාකි වෙන්න ද කියන්නෙ?"

"නංගි ගැන බැලුවා කියලා මම කවදාවත් ඔයාට අඩුවක් කරේ නැහැ. ඒක හිතේ තියාගෙන කතා කරන්න, නයෝමි." අනුරාධගේ කටහඬට කෝපය මුසු වුණා.

"ඒ කොහොම වුණත් ඔයාගේ අම්මා මට කැමති වෙන්නේ නැහැ. අනික ආගම්වලින් වුණත් අපි ගැළපෙන්නේ නැහැනේ. ඒ නිසා මට යන්න දෙන්න."

"කවදාවත් නැතු ව ඔයාට අද ඒකත් ප්‍රශ්නයක් වුණා ද?"

"ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මට බැහැ. අපේ අම්ම යි තාත්ත යි වුණත් අරෝෂ්ට කැමති යි ඔයාට වඩා. අපි හොඳින් වෙන්වෙමු. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ."

"නයෝමි, මගේ යකා අවුස්සන්න එපා."

"මම දන්නවා මට ඔයාගෙන් සමාව ඉල්ලන්න අයිතියක් නැති බව," නයෝමි සුසුමක් හෙළමින් කිව්වේ ඔහු ව පියවි ලොවට කැඳවමින්. "ඒත් ඔයා මට සමාව දෙනවා නං ඒක මගේ හිතට සැනසීමක්."

"මෙතන මේ දේවල් කතා කරන්න බැහැනේ, නයෝමි. අපි කොහෙට හරි ගිහින් නිදහසේ මේ ගැන කතා කරමු," අනුරාධ කිව්වා. තමන්ගෙන් වෙන් වෙලා ගිය නයෝමිගේ ජීවිතය ගත වුණ හැටි දැන ගන්න ඔහුගේ හිතේ කාලයක් තිස්සේ දැඩි ආසාවක් තිබුණා.

ඉමාලි වෙනුවෙන් මිලට ගත්ත බ්‍රිස්ටල් බෝඩ් රෝල වාහනේ ඉදිරිපස අසුනේ තැන්පත් කරපු අනුරාධ, නයෝමි එක්ක මැක්ඩොනල්ඩ්ස් අවන්හල වෙත ඇවිදගෙන ගියේ නිහඬ ව.

නයෝමිගෙන් අහන්න දහසක් ප්‍රශ්න ඔහුගේ හිතේ උපන්නත්  මුලින් ම අහන්න ඕනේ මොකද්ද කියන එක ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ. වරින් වර ඔහුගේ දෑස් නයෝමි වෙත යොමු වුණේ ඔහුටත් නොදැනී ම. ඇගේ රූමත් මුහුණේ කිසිදු හැඟීමක් මතු නොවුණත් අඩ අඳුරේ ඇගේ දෑස් දිලිසුණේ කඳුළු නිසා ද?

"මොනව ද බොන්නෙ?" අනුරාධ ඇහුවේ අතීතය අමතක කරපු විලසින්.

"මට අයිස් කොෆී එකක් හොඳයි." වදන් ගැළපිල්ල එදාට වඩා තරමක් වෙනස් වුණත් ඇගෙන් ලැබුණේ සුපුරුදු උත්තරය ම යි.

කෝපි කෝප්ප දෙකක් අරගෙන ආපු අනුරාධ ඉන් එකක් නයෝමි දෙසට තල්ලු කළේ ඇයට මුහුණලා අසුන් ගන්න ගමන්. ඇගේ ළමැදේ උණුසුමට තුරුලු වුණ කිරිකැටියා සුව නින්දක.

"පුතාට දැන් වයස කීය ද?"

"තාම මාස අට යි."

දරුවා ගැන කතා කරද්දී නයෝමිගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් මතු වුණේ ඇගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙන එක ම සතුට ඔහු බව කියන්න වගේ.

ආයෙමත් වතාවක් අනුරාධගේ හිත නොසන්සුන් කරවන දිගු නිහැඬියාවක්.

"ඔයා කොහෙද වැඩ කරන්නෙ?"

"මම ජොබ් එකක් කරන්නේ නෑ, අනුරාධ. මට ඩිග්‍රි එක ක’ම්ප්ලීට් කරන්න බැරි වුණා. සෙකන්ඩ් ඉයර් එකේ දී කැම්පස් නතර කරලා අරෝෂ් ව මැරි කරානේ.”

නයෝමිගේ පිළිතුරෙන් අනුරාධගේ මුහුණේ මතු වුණේ පුදුමයක්. 'මොන ප්‍රශ්න තිබුණත් මම කවද හරි ජ'නලිස්ට් කෙනෙක් වෙනවා' කියපු කෙල්ලට මෙහෙම වුණේ ඇයි?

"අපි හිතන විදියට හැම දෙයක් ම වෙන්නේ නැහැනේ," අනුරාධගේ හිත කියෙව්වා වගේ නයෝමි කිව්වා. "අරෝෂ් කැමති වුණේ නෑ මම ජොබ් එකක් කරනවට."

"හ්ම්ම්ම්. "

"ඔයා ෆයිනල් ඉයර් එකේ දී බැච් ටොප් වුණා කියලා ආරංචි යි."

"කවුද කිව්වේ?"

"අමන්දා!"

නයෝමි ව සහ අනුරාධ ව ආදරයෙන් එක් කරපු ඒ වගේ ම අරෝෂ්ගේ සල්ලි නිසා නයෝමි ව ඔහුගෙන් ඈත් කරපු ඇගේ හොඳම යෙහෙළිය, අමන්දා.

"අමන්දා දැන් මොකද කරන්නෙ?"

"එයා වත්තල ස්කූල් එකක ටීච් කරනවා."

"ආ! හරි."

අනුරාධගෙන් ලැබුණ නොසැලකිලිමත් ප්‍රතිචාර නිසා අධෛර්යයට පත් වුණ නයෝමි කතාව නතර කළා. ඔහුට කතා කරන්න අවැසි දේ ගැන ඇය දැනගෙන හිටියා. ඒ වගේ ම වෙච්ච හැම දෙයක් ම ඔහුට කියලා හිත නිදහස් කර ගන්න ඇය හිටියේ ආසාවෙන්. 'ඒත් අවුරුදු ගණනාවක අතීතයක් පැය කිහිපයකින් කියලා ඉවර කරන්නේ කොහොම ද?'

"දවසක් මට බෑන්ක් එකේ දී මාලින් ව මීට් වුණා. ඔයා මැරි කරා කියලා මට කිව්වේ එයා," අනුරාධගේ වෙදැඟිල්ලේ රැඳුණු හදවතක හැඩැති රතු කැටයක් ඔබ්බවපු මගුල් මුදුව දිහාට නෙත් යොමු කරමින් නයෝමි කිව්වා.

"ඔව්. දැන් අවුරුද්දකට ළඟ යි," අනුරාධ පිළිතුරු දුන්නේ හිතට වද දෙන වරදකාරී හැඟීමකුත් එක්ක.

"ලව් මැරේජ් එකක් ද? නැත්තං ප්‍රපෝසල් ද?"

හැඩරුවින් හුඟක් වෙනස් වෙලා හිටියත් ඉස්සර හිටපු දඟකාර නයෝමිගේ නිමක් නැති කුතුහලය නැති වෙලා ගිහින් නැති බව සිහි වෙනකොට ඔහුගේ මුහුණට නැගුණේ සිනාවක්.

ඒ අතරේ රන්වන් මල් මෝස්තරයක් ගෙත්තම් වූ කොළ පැහැ ඔසරියකින් සැරසිලා අනුරාධගේ අතට බුලත් හෙප්පුවක් දෙන ගමන් ඉමාලි ලැජ්ජාවෙන් ඔහුත් එක්ක හිනා වෙලා බිම බලා ගත්තා.

"ලව් මැරේජ් එකක්."

ඒ උත්තරේ නිසා නයෝමිගේ මුහුණ අඳුරු වෙනවා දැක්ක ම අනුරාධගේ හිතට සතුටක් දැනුණා.

"ඔයා දිගට ම කොළඹ ඉන්නව ද?"

"නැහැ. ටික කාලයක් මෙහේ ඉඳලා නුවර යනවා. ඉමාලි කැමති නෑ කොළඹ ඉන්න. එයා පේරාදෙණියට මාරුවක් හදා ගත්ත ම අපි යන්න කියලා හිතාගෙන ඉන්නේ."

"ආ! ඒක හොඳයි. අම්මලත් ඉන්නවනේ."

"ඔව්. ඉමාලිගේ අම්මලත් නුවර ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අනික අපේ අම්මා කැමති යි ඉමාලි ගෙදර එනවට. නංගිත් බැඳලා ගිය නිසා පාළුවටවත් ගෙදර කවුරුත් නැහැනේ."

අනුරාධගේ මුවින් ඉමාලිගේ නම කියවෙන හැම වාරයක ම නයෝමිගේ හිතට දැනුණේ ඊර්ෂ්‍යාව සමග මුසු වුණ පසුතැවීමක්. තමන්ට අහිමි වුණ ආදරය ගැන දැඩි ලෝබකමක්. ඒත් ගෙවිලා ගිය අතීතය වෙනස් කරන්න දැන් පරක්කු වැඩි යි.

ඉමාලි ගැන කියලා නයෝමි ව රිදවන කොට අනුරාධට දැනුණේ අමුතු සැනසීමක්. ඇගේ වේදනාවෙන් වසර ගණනක් ඔහුගේ හදවතේ නැගුණ ගින්න ටිකෙන් ටික නිවිලා ගියා.

"මම ඔයාට කරපු දේ නිසා මම අද හුඟක් විඳවනවා, අනුරාධ. ඒත් මම නිසා ඔයාගේ ජීවිතේ විනාස වුණේ නැති එක ගැන මට සතුටු යි." නයෝමිගේ කටහඬ බර වෙලා තිබුණේ අඬන්න ළං වෙලා වගේ.

මොහොතකින් ඒ මනරම් දෑසින් නිදහස් වුණ කඳුළු බිඳු දෙකක් ඇගේ කොපුල් දිගේ ගලාගෙන ගිහින් මේසෙට වැටුණා.

ඒ කඳුළු බිඳු ආයෙමත් වතාවක් ඔහුගේ හද තුළ ගිනි ඇවිලුවත් පුටුවෙන් නැගිටින ගමන් ඔහු කතා කළේ දැඩි හඬකින්. "මම දැන් යන්න ඕනේ. ඉමාලි  මග බලාගෙන ඇති මම එනකං."

'මට සමාවෙන්න, නයෝමි. අපේ හැම හීනයක් ම අමතක කරලා අරෝෂ් ළඟට ගිය ඔයා වෙනුවෙන් දැන් මට කරන්න පුළුවන් දෙයක් නෑ. මම බැඳපු මනුස්සයෙක්.' හිතට ආපු හැඟීම ඔහු වචනෙට නැගුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇය දෙස නොබලා ම පිටවීමේ දොරටුව දෙසට පිය නැගුවා.

"අනුරාධ," ඇයට පිටුපාලා යන්න තැත් කළ ඔහු ඒ බිඳුණු කටහඬ ඉදිරියේ නිරායාසයෙන් ම නතර වුණා. "මාව දාල යන්න එපා, අනුරාධ."

෴  මතු සම්බන්ධ යි 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...