October 15, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (දෙවැනි දිග හැරුම)

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (පළමු දිග හැරුම) කියවන්න බැරි වුණ අය මේ අතුරු මංපෙත දිගේ ගිහින් එන්න . . .


බ්‍රවුන් මහත්මියගේ විසිත්ත කාමරයට ඇතුළු වෙනකොට ඇය දැක්කේ හරිම පිරිසිදු ඇඳුම් කට්ටලයක් ඇඳලා හොඳට කොණ්ඩේ පීරලා හිටිය පොඩි කොල්ලෙක් සැප පහසු විදියට පුටුවක වාඩි වෙලා පොතක් කියවන හැටි!

"හරිම අපූරු කොලු පැංචෙක්," බ්‍රවුන් මහත්මියට අතට අත දීලා ආචාර කරන ගමන් ඇය මිමිනුවා.

විලියම්ගේ මුහුණ එකවර ම අඳුරු වුණා.

දි වේරා කාටර් මහත්මිය ඔහු දිහාට හැරුනා.

"ඉතින්, පොඩ්ඩෝ, ඔයාට කොහොම ද?"

නමුත් ඇගේ පොඩ්ඩා ඇයට උත්තරයක් දුන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ දි වේරා කාටර් මහත්මිය ඔහුගේ බෙල්ල වටේ අතක් දා ගෙන තද විලවුන් සුවඳක් හමාගෙන ආපු ඇගේ පපුවට ඔහු ව තුරුල් කර ගත්තා. ඒ මොහොතේ ඇගේ බොත්තම් කාසේ රඳවලා තිබුණ රෝස මලේ නටුව විලියම්ගේ නහය ඇතුළට නොගියේ අනූ නවයෙන්.

"මම හරිම ආදරෙයි පුංචි ළමයින්ට!" ඇය හරිම ආදරණිය කටහඬකින් බ්‍රවුන් මහත්මියට කිව්වා.

ඒ වෙලාවේ විලියම් බොහොම අමාරුවෙන් ඇගේ පපුවට තද වෙලා තිබුණ ඔහුගේ මුහුණ නිදහස් කර ගත්තා. එතකොට තමයි විලියම්ගේ අතේ රැඳිලා තිබුණ පොත ඇය දැක්කේ.

"ස්කොට්!" ඇය කිව්වේ පුදුමයට පත් වෙලා. "කොච්චර හොඳ දරුවෙක් ද!"  

විලියම්ගේ මුහුණේ මතු වුණ බැල්ම දැකපු ඔහුගේ අම්මා ඉක්මනින් ම කතාව වෙනස් කළා.

"ඇවිත් මෙතනින් වාඩි වෙන්නකෝ," ඇය කිව්වේ කලබලයෙන් වගේ. "බලන්නකෝ, අද කාලගුණය කොච්චර හොඳ ද කියලා!"

ඒ වෙලාවේ විලියම් හෙමින් සැරේ විසිත්ත කාමරෙන් එළියට පැන්නා.

"ඔයා දන්නවනේ, මම හුඟක් උනන්දු යි සමාජ සේවා වැඩ ගැන," ගෙදරට ආපු අමුත්තිය එක දිගට කියාගෙන ගියා. "විශේෂයන් ම ළමයි වෙනුවෙන් කරන වැඩ සටහන් ගැන! මම හරිම ආදරෙයි ළමයින්ට. ඔයාගේ පුතා හරිම අපූරු දරුවෙක්. ඒ වගේ ම මම ළමයි එක්ක වැඩ කරන්න දක්ෂ යි. ඇත්තට ම මට හරිම ඉක්මනින් මිනිස්සුන්ගේ හිත් ඇද ගන්න පුළුවන්. ඔයා දන්නවනේ, හුඟක් අය කියනවා ඒ මගේ  පෞරුෂය නිසා කියලා. අනික ඔයා අහලා ඇති මම අලුතෙන් පිහිටවපු අපේක්ෂාවේ සංගමය ගැන. ඒක දැනට ම හුඟක් සාර්ථක යි! ඉතින්, මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. ඔයා මට උදව් කරනවා නේද? මම කැමති යි ඔයා මේකට සම්බන්ධ වෙනවා නම්. ඒ වගේ ම ඔයාගේ පුතාවත් එකට සම්බන්ධ කරනවා නම්. එතකොට එයාටත් ගමේ අනිත් ළමයි එක්ක හුඟක් විනෝද වෙන්න පුළුවන් වේවි!"

රැන්ඩල් පවුලේ කෙනෙක්ගෙන් මේ වගේ ආරාධනාවක් ලැබුණ එක ගැන බ්‍රවුන් මහත්මියට දැනුනේ ලොකු සතුටක්.

"උදාහරණයක් විදියට," ඇය දිගට ම කියාගෙන ගියා. "මම මෙහේ ආපු වෙලාවේ ඔයාගේ හුරුබුහුටි කොලු පැංචා සන්සුන් විදියට වාඩි වෙලා පොතක් කියවන හැටි දැක්ක ම මට හරිම සතුටක් දැනුනා," ඇය කිව්වේ විලියම් වාඩි වෙලා හිටිය පුටුව දිහාට අත දිගු කරන ගමන්. "මම මට ම කියා ගත්තා, 'අනේ, කොච්චර හොඳ ළමයෙක් ද! මෙයා අපේ සංගමේ අනිත් ළමයින්ටත් හොඳ ආදර්ශයක් වේවි!' කියලා. ඔයා එහෙම නම් එයා ව එවනවා නේද? අපි සතියට සැරයක් රැස්වීමක් තියනවා. බදාදා හවස් වරුවේ. එයා එයි නේද? මම එයා ව හොඳින් බලා ගන්නම්."

ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බ්‍රවූන් මහත්මිය ටිකක් පසුබට වුණා.

"හ්ම්ම්, හොඳයි," ඇය කිව්වේ සැකයෙන් වගේ. "ඒත් මම හිතන්නේ නැහැ ඔය වගේ දේකට විලියම් ගැළපෙනවා කියලා. කොහොම වුණත් . . ."

"අනේ, මට බැහැ කියන්න එපා," දි වේරා කාටර් මහත්මිය ආයාචනා කළේ දැවැන්ත මුදුවලින් සරසපු ඇගේ අතින් බ්‍රවුන් මහත්මියගේ අත අල්ලා ගන්න ගමන්. "මම දැනටමත් එයා ව දන්නවනේ. මට විශ්වාස යි එයා හොඳ ළමයෙක් කියලා. මට දැක්ක ගමන් ළමයින් ව අඳුර ගන්න පුළුවන්. මම ළමයි එක්කනේ නිතරම ඉන්නේ."   

කතාබහ ඉවර වෙලා දි වේරා කාටර් මහත්මිය, බ්‍රවුන් මහත්මිය එක්ක විසිත්ත කාමරයෙන් එළියට එනකොට විලියම් හිටියේ කොරිඩෝව දිගේ ඇවිදගෙන යමින්.

"ආ! මේ ඉන්නේ ඔයා!" ඇය කිව්වා. "මම හිතුවා මට ගුඩ්-බායි කියන්න ඔයා බලාගෙන ඇති කියලා. "

ඇය විලියම් ව වැළඳ ගන්න ඉදිරියට ආවත් ඔහු ඉක්මනින් ම අඩි කිහිපයක් පිටි පස්සට ගියේ කෝපයෙන් ඇය දිහා රවා බලමින්.

"ඔ_යා අ_ද ආපු එක ගැන මට හුඟක් සතුටු යි. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ," බ්‍රවුන් මහත්මිය කිව්වේ පුංචි ගොතයක් එක්ක. ඇය ඉක්මනින් ම විලියම් ව ආවරණය වෙන විදියට ඔහු ඉදිරියෙන් හිට ගත්තා. නමුත් විලියම්ගේ මුහුණේ තිබුණ නපුරු බැල්ම ගැන කිසිම හැඟීමක් නොතිබුණ දි වේරා කාටර් මහත්මිය ආයෙමත් විලියම් දිහාට ළං වුණා.

"ගුඩ්-බායි, විලී. මට හාදුවක් නොදී ඉන්න තරම් ඔයා වයසට ගිහින් නැ නේද?"

බ්‍රවුන් මහත්මිය තිගැස්සුනා.

ටික වෙලාවක් කෝපයෙන් රතු වුණ මුහුණෙන් දි වේරා කාටර් මහත්මිය දිහා බලාගෙන හිටිය විලියම් වචනයක්වත් කියන්නේ නැතු ව යන්න ගියේ බ්‍රවුන් මහත්මියගේ හිතට සහනයක් ලබා දෙමින්.

"අනේ, අනේ, පොඩි එකාට ලැජ්ජා හිතිලා!" ඇය කිව්වේ ආදරබර ස්වරයකින්. "මම ආදරෙයි මේ වගේ ලැජ්ජකාර පොඩ්ඩන්ට!"

දි වේරා කාටර් මහත්මිය ගියාට පස්සේ බ්‍රවුන් මහත්මිය මේ ගැන බ්‍රවුන් මහත්මයාට කිව්වා.

"හොඳයි," ඔහු හෙමින් කිව්වා. "මට හිතා ගන්න බැහැ විලියම් ඔය වගේ තැනකට ගිහින් කොහොම ඉඳීවි ද කියලා. හ්ම්ම්, එයා යනවට ඔයා කැමති නම් ඉතින් එයා ව යවන්න."

"ඔයාට තේරෙනවනේ," බ්‍රවුන් මහත්මිය කිව්වේ දුක්බර බැල්මක් මුහුණේ රඳවාගෙන. "එයා බල කරලා ම කිව්වා විලියම් ව එවන්න කියලා. අනික මම කොහොම ද එයාට බැහැ කියන්නේ. මම හිතනවා විලියම්ට බලපෑමක් කරන්න එයාට පුළුවන් වෙයි කියලා. රැන්ඩල් කෙනෙක් ව නොසලකා ඉන්න බැහැනේ."

"විලියම් එයාට කැමති ද?"

"අනේ මන්දා! හැබැයි, එයා නම් විලියම්ට හුඟක් කැමති යි!" ඇය කිව්වා. "ඔයා දන්නවනේ විලී කියලා කතා කරා ම විලියම්ට කොච්චර කේන්ති යනවා ද කියලා. මම දන්නේ නෑ ඇයි කියලා. හැබැයි, අද නම් එයා වෙනදා වගේ ලොකු කලබලයක් කරේ නැහැ."

෴ මතු සම්බන්ධ යි 

October 9, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (පළමු දිග හැරුම)


"විලියම්, ඔයා ආයෙමත් අර භයානක සෙල්ලම පටන් ගත්ත ද?" බ්‍රවුන් මහත්මිය ඇහුවේ බලාපොරොත්තු සුන් වුණ කටහඬකින්.

විලියම්, ඇය දිහා බැලුවේ අහිංසක බැල්මකින් මුහුණ හැඩ කරගෙන. ඔහුගේ මුහුණ සහ ඇඳුම් කට්ටලය පුරා ම කුණු තැවරිලා. ටයි පටිය බෙල්ල වටේ එතිලා. තුවාල වුණ දණිහිසෙන් ලේ ගලනවා.

"නෑ, අම්මේ. ඔයා එපා කියපු කිසිම දෙයක් මම නං කරේ නෑ. ඔයා මට කරන්න එපා කිව්වේ 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලමනේ. ඉතින්, ඔයා එපා කියපු වෙලාවේ ඉඳලා මම  'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම කරේ නෑ. කවුරු ඒක කරන්න කිව්වත් ඔයා එපා කිව්වොත් නං මම කරන්නේ නෑ. මම . . ."

බ්‍රවුන් මහත්මිය ඔහුට බාධා කළා.

"හොඳයි, එහෙම නං ඔයා කරපු සෙල්ලම මොකද්ද?" වෙහෙසට පත් වුණ හඬකින් ඇය ඇහුවා.

"මම කරේ 'කොටි සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම," විලියම් කිව්වා. "ඒක වෙනස් සෙල්ලමක්. 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී කට්ටියක් සිංහයෝ. ඉතුරු කට්ටිය හීලෑ කරන්නෝ. හීලෑ කරන්නෝ සිංහයන් ව හීලෑ කර ගන්න යි හදන්නේ. සිංහයෝ හදන්නේ හීලෑ වෙන්නේ නැතු ව ඉන්න. ඒක තමයි 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ'. ඒක මේ පොඩි සෙල්ලමක්නේ, අම්මේ."

"එතකොට 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී මොකද කරන්නෙ?" බ්‍රවුන් මහත්මිය ඇහුවේ කුතුහලයෙන්.

"මෙහෙම යි . . ." විලියම් කල්පනා කරන ගමන් කිව්වා.

"මෙහෙම යි," විලියම් ආයෙමත් කිව්වේ අහිංසක විදියට. "මේ 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලමේ දී කට්ටියක් කොටි. අනිත් කට්ටිය ඉතින් මේ . . ."

"ඒ දෙක ම එක වගේනේ, විලියම්," බ්‍රවුන් මහත්මිය අලුත් උනන්දුවකින් කිව්වා.

"මට නං තේරෙන්නේ නෑ ඒ දෙක එක වගේ වෙන්නේ කොහොම ද කියලා," විලියම් කිව්වේ උත්සාහය අත් හරින්නේ නැති ස්වරයකින්. "ඔයාට සිංහයෙක්ට කොටියෙක් කියලා කියන්න බැහැනේ, පුළුවන් ද? උන් දෙන්නා එක් කෙනෙක් නෙමෙයිනේ, අම්මා. සත්තු වත්තේ වුණත් කූඩු දෙකකනේ ඉන්නේ. ඒ නිසා 'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලම 'සිංහයෝ සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලමට වඩා හුඟක් වෙනස්."

"හොඳයි, එහෙම නං," බ්‍රවුන් මහත්මිය දැඩි කටහඬකින් කිව්වා. "ඔයා  'කොටි සහ හීලෑ කරන්නෝ' සෙල්ලම කරන්නත් එපා. දැන් ගිහිල්ලා මූණ සෝද ගන්න." 

විලියම්ගේ මුහුණේ තිබුණ අහිංසක බැල්ම තවත් වැඩි වුණා.

"මගේ මූණ?" විලියම් ඇහුවේ පුදුමයට පත් වුණ හඬකින්. "මම අද දෙපාරක් ම මූණ හේදුවනේ. ඔයා කිව්වා වගේ ම උදේ නැගිට්ට ගමන් මම මූණ හේදුවා. ඒ වගේ ම දවල් කෑමට කලිනුත් හේදුවා."

"හ්ම්ම්, එහෙම නං කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නකෝ."

විලියම් හෙමින් කණ්ණාඩිය ළඟට ඇවිද ගෙන ගිහින් ඒ තුළින් පෙනෙන තමන්ගේ ඡායාව දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ සැහැල්ලුවෙන් වගේ අව පැහැ වෙච්ච මුහුණ අත් දෙකෙන් අතුල්ලන ගමන් ටයි පටිය කෙලින් කර ගත්තා.  කොණ්ඩෙත් අතින් හදා ගත්තට පස්සේ තමයි ඔහු බලාපොරොත්තු සහගත බැල්මක් අම්මා දිහාට යොමු කළේ.

"ඕක හරියන වැඩක් නෙමෙයි," ඇය කිව්වා. "ඔයා ගිහිල්ලා මූණ හොඳට හෝදලා කොණ්ඩේ හරියට පීරගෙන එන්න. ආ! ඒ වගේ ම අලුත් ඇඳුමක් ඇඳ ගත්තොත් හොඳයි. ඒ වගේ ම මේස් දෙකත් මාරු කරන්න ඕනේ. බලන්න, ඒවා දුවිලිවලින් වැහිලා!"


"මට හිතා ගන්න බෑ," විලියම් කිව්වේ මුහුණ ඇඹුල් කර ගන්න ගමන්. "මට හිතා ගන්න බෑ අනිත් ගෙවල්වල ඉන්න මිනිස්සුත් මේ වගේ දවස තිස්සේ මූණ හෝදන එක යි, කොණ්ඩේ පීරන එක යි කරනවා ද කියලා. එයාලට මෙහෙම කරදරයක් නැති එක ගැන මට සතුටු යි."

මිනිත්තු දහයකට පස්සේ බ්‍රවුන් මහත්මියට ඇහුනා විලියම් පහළට එන සද්දේ.

"විලියම්!" ඇය කතා කළා.

ඔහු කාමරේට ඇතුළු වුණේ සම්පුර්ණයෙන් ම වෙනස් කෙනෙක් විදියට. ඔහුගේ මුහුණ වගේ ම කෙස් කළඹත් ලස්සණට දිලිසෙනවා. ඒ වගේ ම ඇඳුම් කට්ටලයත් මාරු කරලා. මේ නිසා ඔහුගේ මුහුණ හැඩ වෙලා තිබුණ අහිංසක බැල්ම තවත් වැඩි වෙලා පෙනුනා.  

“මෙහෙම හොඳයි,” ඔහුගේ අම්මා කිව්වේ ප්‍රශංසා කරන ස්වරයකින්. “දැන් . . . විලියම්, තේ වෙලාව එනකං මෙතනින් වාඩි වෙලා ඉන්න. තව විනාඩි දහයක් වගේ තියෙන්නේ. ඒ නිසා එළිය‍ට යන්න එපා. එළියට ගියොත් ඔයා ආයෙමත් ඇඳුම් අවුල් කර ගන්නවා. ඒ නිසා එක තැනකට වෙලා ඉන්න එක හොඳයි.”

විලියම් බලාපොරොත්තු කඩ වුණ බැල්මකින් විසිත්ත කාමරේ දිහා බැලුවා.

"මෙතනට වෙලා ඉන්න?"

"හ්ම්ම්, තේ වෙලාව එනකං විතර යි, විලියම්."

"මෙතනට වෙලා මොනව ද මම කරන්නෙ? නිකං බලාගෙන ඉන්න කියල ද කියන්නෙ? මට නං බැහැ මුකුත් නොකර කාලේ නාස්ති කරන්න!"

"එහෙම නං පොතක් කියවන්න. මේ බලන්න, මෙතන ඔයා කියවපු නැති පොත් කොච්චර නං තියෙනවා ද? මට විශ්වාස යි, ඔයා මේවට කැමති වෙනවා කියලා. ඇයි ඔයා ස්කොට්ගේ පොතක් කියවලා බලන්නේ නැත්තෙ?" ඇය ඇහුවේ හිතේ සැකයක් තියාගෙන.

වේදනාබර බැල්මක් මුහුණේ රඳවා ගත්ත විලියම් කාමරේ හරහා ඇවිදගෙන ගිහින් අහඹු විදියට පොතක් අරගෙන පුටුවේ වාඩි වුණා. ඔහුගේ නොසැලකිලිමත්කම කොච්චර ද කියනවා නං පොත අල්ලගෙන හිටියෙත් උඩ යට මාරු කරලා!


මේ වෙලාවේ තමයි ගෙදරට ගොඩ වුණ දි වේරා කාටර් මහත්මිය, විලියම් ව දැක්කේ.

දි වේරා කාටර් මහත්මිය අලුතෙන් විලියම්ලගේ අසල්වැසි නිවසක පදිංචි වෙන්න ආපු කෙනෙක්. විවාහ වෙන්න කලින් ඇය හාර්ට්ෆඩ්ෂයර් හි රැන්ඩල් පරපුරට තමයි අයිති වුණේ. ඒ නිසා අඩු තරමේ ඇගේ හිනාවක් හරි ලබන්න හුඟක් අය ආසාවෙන් හිටියා.  

ඇය උස, ලස්සණ, හරිම සුහදශීලි, ඉතාම විශිෂ්ට විදියට අඳින පලඳින කෙනෙක්. ඒ නිසා ඇගේ පැමිණීම ගැන විලියම් ගෙදර උදවිය හිටියේ උද්‍යෝගයෙන්. ඒ වගේ ම හැමෝම පිළි ගත්තා ඇය ‘හරිම ප්‍රියමනාප’ කෙනෙක් බව!

෴  මතු සම්බන්ධ යි 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...