August 29, 2013

වැස්ස දවසක!


හිරු වසාගෙන ඝන වලාකුළු මතු වෙලා නුබ ගැබපුරාවට
නැවුම් බව රැඳි සිසිල් සුළඟක් හමා‍‍‍‍ගෙන යයි සිව්දිසාවට
සුළඟ ගෙන ආ ගීයෙ තාලෙට සෙමෙන් සැලෙනා පුංචිමලකට
උඩින් පියඹා ගිය කිරිල්ලිය අකැමති ද මන්දාතෙමෙන්නට
  
සිහින් පොද වැසි ඇද හැලෙයි සීතලෙන් මාගේ ගතවෙලාගෙන
සිටිය නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වීගෙන
නියම පදමට කහට එක් කළ තේ එකක් උණුවේබෙදාගෙන
බොන්න තිබුණා කවුළුවට එපිටින් වැටෙන වැහි දෙසබලාගෙන
  
මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙකවද ද
හොඳට තෙමිලා එක ම කම්බිලියක් ඇතුළෙ ගුලි වෙන්නආස ද
පාට කඩදාසියක් අරගෙන පුංචි ඔරුවක් හදනු බොළඳ ද
දුරින් ඉන්නට බෑ තවත් මට මා ව අරගෙන යන්නෙකවද ද
  

August 24, 2013

ඇයට හිමි මගේ නුඹ


දස වසරකට පෙර අප වෙල් ඉපනැල්ලේ
කෙළි සෙල්ලම් කළා පොල් තුරුසෙවණැල්ලේ
වෙහෙස නිවා ගන්නට ගං දියඇල්ලේ
දියබුං ගැසූ හැටි සිහි වෙයි සිහිලැල්ලේ
  
කාලය ගත වුණා අපටත් නොදැනීම
ආලය කළා නුඹ හට රහසින් බෝම
හැකි හැම විට ම නුඹ ඇසුරේදැවටීම
කුල්මත් කළා මගෙ ළය මතක යිතාම
  
නුඹේ සුරත ගෙන බැද්දේ ඇවිදින්න
ඔරුවක නැගී ගං දිය රැළිනංවන්න
දවසක නුඹෙ සොඳුරු මනමාලියවෙන්න
මම ආස යි මට හිමි නුඹ ළඟඉන්න
  
අද නුඹ ගිහින් සරසවියට බොහොමදුර යි
දෙවැට අයිනේ ඉන්නේ ලිපි ලැබෙනතුරු යි
එනමුදු නුඹට කල් වේලා නොමැති හැඩ යි
නුඹ හිමි මට වුණත් නුඹෙ හද ඇගේ ළඟ යි
  

August 21, 2013

මල් කුමාරයා (තෙවැනි දිග හැරුම)

මල් කුමාරයා (පළමු දිග හැරුම) සහ මල් කුමාරයා (දෙවැනි දිග හැරුම) කියවන්න බැරි වුණ අයට මේක තේරෙන්නේ නැති වුණාට මට කරන්න දෙයක් නෑ ඔන්න . . .


විවෘත වුණ ඉදිරිපස සාලේ දොරෙන් කුඩා කණ්ඩායමක් ඇතුළට ආවා. මුලින් ම ආවේ ග්‍රාන්ට් මෙනවිය, ඇගේ සුදු පැහැ අලංකාර මංගල ඇඳුමෙන් සැරසිලා. ඇයට පිටුපසින් හොඳම ඇඳුමෙන් සැරසුණ විලියම්ගේ අම්මා සහ ඉන් පස්සේ වෙහෙසට පත් වුණ බැල්මක් මුහුණේ රඳවා ගත්ත විලියම්ගේ තාත්තා කාමරයට ඇතුළු වුණා.

මෙන්න එනවා කරදරකාරයෝ ටික, ඩොරිටා මිමිනුවා.

විලියම්! ඩොරිටා! මයිකල්! ඔවුන් කතා කළා.

ළමයින් තුන්දෙනා හෙමින් හෙමින් ඒ දිහාට ගියා.

බටර්, ලොම් කැබලි සහ දොඩම් යුෂවලින් අපිරිසිදු වෙලා හිටිය මයිකල් දැක්ක ම ගමන් ග්‍රාන්ට් මෙනවිය පුදුමයෙන් බෙරිහන් දුන්නා.

මයිකල්! ඔයා නං හරිම නරක ළමයෙක්!

ඇය දොර දිහාට බර වුණේ සිහි නැති වෙන්න වගේ. ඒ අතරේ මයිකල් අඬන්න පටන් ගත්තා.

පව්! මිකී, ඔහු කිව්වේ කඳුළු අතරින්. එයා ලෙඩ වෙලා!

ඔවුන් ඉක්මනින් මයිකල් ව එතනින් ඉවතට අරගෙන ගියා.

දුක් වෙන්න එපා, වස්තුවේ, බ්‍රවුන් මහත්මිය කාරුණික ව කිව්වා. අනිත් දෙන්නා ලස්සණට ඉන්නවනේ.

ඒ වෙලාවේ බ්‍රවුන් මහත්මයා කාමරේ වටේ ඇවිදිමින් හිටියේ. ඔහු පුදුමයෙන් මහත් කර ගත්ත දෑස්වලින් යුතු ව විලියම් සහ ‍ඩොරිටා‍ගේ පසු පසින් හිට ගත්තා.

කොහොම ද මෙහෙම වුණේ? ඔහු කඩා පැන්නා.

විලියම් සහ ඩොරිටා ඉබේ ම ඔහු දිහාට හැරුනේ බ්‍රවුන් මහත්මියට සහ මනාලියට පිටුපස හරවමින්.

මනාලිය කලින් වතාවටත් වඩා කර්කශ විදියට බෙරිහන් දුන්නා.

දෙවියනේ, ඔයාලා මොනව ද මේ කරගෙන තියෙන්නෙ? ඔයාලා නං හරිම නපුරු ළමයි! මට සන්සුන් ව ඉන්න ඕනේ වුණ දවසෙ ම . . . මට ඕනේ වුණ දවසෙ ම . . .

අපි කාමරේ ඇතුළේ ඇවිද ඇවිද හිටියේ. ඊට පස්සේ අපි සෝපාවේ වාඩි වුණා. සෝපාවේ දොඩම් යුෂ තිබිලා ඒවා අපේ ඇඳුම්වල ගෑවිලා, විලියම් එක හුස්මට පැහැදිලි කළා.

ඇයි ඔයාලා ඉඳ ගත්තෙ? ඔහුගේ අම්මා ඇහුවා.

අපි කාමරේ එහෙට මෙහෙට ඇවිදිමින් හිටිය නිසා මහන්සියක් දැනුනා. ඒ නිසා යි අපි සෝපාවෙන් වාඩි වුණේ. ඒකෙ දොඩම් යුෂ තිබිලා. ඒ නිසා අපේ ඇඳුම් . . .

ඇති! ඔයාලා දැක්කේ නැද්ද සෝපාවේ දොඩම් යුෂ තියෙනවා කියලා?

විලියම් ආයෙමත් කතාව පටන් ගත්තා. හ්ම්ම්, අපි නිකමට වගේ කාමරේ ඇවිද ඇවිද හිටියා. ඉතින් අපිට මහන්සි දැනුන නිසා අපි ඉඳ ගන්න . . .

එක ම දේ කියන එක නතර කරන්න, විලියම්.

අපිට ලෝගුවක් හදා ගන්න බැරි වෙයි ද? මනමාලි දුක්බර කටහඬකින් ඇහුවා. උරහිසේ ඉඳලා එල්ලා වැටෙන්න තිබුණොත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ. ඒකට හුඟක් වෙලා යන එකක් නැහැනේ.

බ්‍රවුන් මහත්මයා ඔරලෝසුව දිහා බැලුවා.

අශ්ව කරත්තේ ඇවිල්ලා දැන් පැය කාලක් වෙනවා, ඔහු ස්ථිර හඬකින් කිව්වා. අපිට නාස්ති කරන්න වෙලාවක් නැහැ. මෙහේ එන්න, ළමයෝ. අපි පූජාවෙන් පස්සේ මේ ගැන හොයලා බලමුකෝ. හ්ම්ම්, ඔයාලට එන්න බැහැ අපි එක්ක. ඒ නිසා ගෙදරට වෙලා ඉන්න, ඔහු‍ කතාව ඉවර කරේ විලියම් දිහාට දැඩි බැල්මක් යොමු කරමින්. ඔහුගේ කටහ‍ඬේ ළාවට වගේ ඉරිසියාකර ස්වරයකුත් තිබුණා.

අනේ, මට මල් කුමාරයෙක් ඕනෙ ම වෙලා හිටියේ, ග්‍රාන්ට් මෙනවිය ආපසු හැරෙන ගමන් දුක්මුසු කටහඬකින් කිව්වා.

නැති වෙලා තිබුණ සතුට සහ බලාපොරොත්තුව ආයෙත් විලියම් ළඟට ආවා. අශ්ව කරත්තයේ නොපෙනී යනකං ම ඔහු තණ පිට්ටනිය දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ තමයි නොසැලකිලිමත් විදියට අත් ඇරලා දාපු කඳු නගින උපකරණ කට්ටලයේ ආයෙත් වතාවක් ඔහු දැක්කේ.

මෙහෙ එන්න, ඔහු සතුටින් කෑ ගැහුවා. මම ඔයාට මම ම හදපු සෙල්ලමක් කියලා දෙන්නං. ඒකට කියන්නෙ කඳු නැගීම කියලා.

ඔහු තාප්පෙට ලෑල්ලක් හේත්තු කරන දිහා ඇය බලාගෙන හිටියා.

ඔයා කිසිම කමකට නෑ, ඇයි කිව්වේ ඇගේ පැහැදිලි කටහඬින්. මම ඔයාගේ පරණ සෙල්ලමට වඩා දහ ගුණයක් හොඳ කඳු නැගී‍ම කියලා සෙල්ලමක් දන්නවා.

ඊට පස්සේ මල් කුමාරි හරිම ආඩම්බරෙන් තමන් දන්න සෙල්ලම ගැන දැනමුතුකම් දෙන්න පටන් ගත්තා. විලියම් කීකරු ශිෂ්‍යයෙක් වගේ ඇයට ඇහුම්කන් දුන්නා.

මේ වෙලාවේ බ්‍රවුන් නිවසේ සේවක සේවිකාවේ හැමෝම ගෙවත්තේ තිබුණ ලොකු මඩුවේ කෑම බීම සූදානම් කරමින් හිටියේ. ඒ නිසා නිවසේ ඇතුළ සම්පූර්ණයෙන් ම වගේ පාළුවට ගිහින්.

පැය කාලකට පස්සේ අලුත් කඳු නැගීමේ සෙල්ලමට හැම දෙයක් ම සූදානම් වෙමින් තිබුණේ. උඩු මහළට යන පඩි පෙළ පාමුල විලියම්ගේ අම්මා‍ගේ සහ තාත්තගේ නිදන කාම‍රයෙන් ගෙනාපු ලොකු මෙට්ටයක් අතුරලා තිබුණා. ඊට උඩින් ග්‍රාන්ට් මෙනවි‍යගේ මෙට්ටයත්, ඊටත් උඩින් විලියම්ගේ මෙට්ටයත්, අවසානයට පඩි පෙළ උඩින් ම ඩොරිටාගේ කාමරයෙන් රැගෙන ආපු මෙට්ටයකුත් අතුරලා තිබුණා. හැම නිදන කාමරයක ම බිම ඇඳ රෙදි වැටිලා අවුල් වෙලා!

මෙට්ට ටික ඇණ කිහිපයකින් පඩි පෙළට සවි කරාට පස්සේ ඔවුන්ගේ කන්ද තවත් ස්ථාවර විදියට නැගී හිටියා. ඔවුන් මගුල් ගෙදර යන්න ඇඳපු සැටින් ඇඳුම් ඇඳගෙන මේස දාගෙන ම කන්ද නගින්න පටන් ගත්තා. පය පැටලිලා කන්දෙන් පහළ තිබුණ පිහාටු කොට්ට ගොඩට (මේවා කිසිම වග විභාගයක් නැතු ව නිදන කාමරවලින් අරගෙන ඇවිත් තිබුණේ) ඇද වැටෙන හැම වෙලාවෙ ම ආයෙත් මුල ඉඳලා ම කන්ද නගින්න සිදු වෙනවා. ඒක තමයි නීතිය!

ඔවුන්ගේ සෙල්ලම ඉතාමත් ඝෝෂාකාරී ඒ වගේ ම විනෝදකාමී එකක්. කන්ද නගින්න ඔවුන් මාරුවෙන් මාරුවට විලියම්ගේ කඳු නැගීමේ උපකරණ කට්ටලය භාවිතා කළා. ඒක ඇත්තට ම ලොකු උදව්වක් වුණා කන්ද හොඳින් ග්‍රහණය කර ගන්න. අන්තිමේ දී විලියම් දාඩියෙන් තෙත් වෙලා කන්ද උඩට ම නැගලා විජයග්‍රාහී විදියට හිනා වුණේ එක අතකින් තමන්ගේ උපකරණ කට්ටලෙත් අරගෙන.

ඔහු හොඳින් ම දැනගෙන හිටියා මංගල උත්සවේ පැවැත් වුණේ ළඟින් ම තිබුණ දේවස්ථානේ බවත්, තව මිනිත්තු කිහිපයකින් මනාල ජෝඩුව රැගත් අශ්ව කරත්තය නිවසට ළඟ වෙන බවත්.  ඒ වගේ ඇඳුම්වල දොඩම් යුෂ තැවරුණ විදිය ගැන තමන්ට පැහැදිලි කරන්න වෙන බවත් ‍ඔහු ‍දැනගෙන හිටියා. ඒ වගේ නිවසේ මෙට්ට මේ වගේ සෙල්ලමකට පාවිච්චි කරන්න බැරි බවත් හොඳින් ම දැනගෙන හිටියත් ඒ ගැන ඔහු ගැන කිසිම තැකීමක් කළේ නැහැ. එයා සතුටින් කල්පනා කරමින් හිටියේ මනමාලි එක්ක අශ්ව කරත්තෙන් එන විලියම් ව බලන්න දේවස්ථානේ ළඟ රැස් වෙලා ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ගැන!ඒ ගැන කල්පනා කරනකොට ඔහු‍ෙග් දෙතොල්වල ජයග්‍රාහී සිනාවක් ඇඳුනා.

ආ! කවදාවත් එන්නේ නැති කෙනෙක් වෙනුවෙන් කවුද පල්ලිය ළඟ බලාගෙන හිටියෙ?

මම හිතන්නේ බදාදා උදේ පාන්දර පින්නේ තෙමීගෙන මං එනකං පල්ලිය ළඟ බලාගෙන ඉඳලා ඔයාට දරුණු හෙම්බිරිස්සාවක් හැදෙන්න නැතු ව ඇති නේද?

සමහරුන් ව මෝඩයා කරන්න හරිම ලේසි යි! මම හිතන්නේ ඔයාලා හැමෝම මම බදාදා එයි කියලා විශ්වාස කරන්න ඇති.

මේ වගේ සමච්චල් සහගත වදන් දිගට ම විලියම්ගේ හිතට ගලාගෙන ආවා.

මං කියන්නේ, දැන් ‍ඕක පාවිච්චි කරන්න මගේ වාරේ.

විලියම් කිසිම කතාවක් නැතු ව කඳු නැගීමේ උපකරණ ටික ඇයට දුන්නා.

ඒක නෙමෙයි, ඇය ආයෙත් කතා කළා. කසාද බඳින එක ගැන ඔයා මොකද හිතන්නෙ?

දන්නේ නෑ, විලියම් කෙටියෙන් කිව්වා.

මට කවදා හරි කසාද බඳින්න වුණොත්, මල් කුමරිය දිගට ම කතා කරගෙන ගියා. මම කවදා හරි බඳින්නේ ඔයා වගේ කෙනෙක්.

මම නං ඒ ගැන එච්චර හිතන්නේ නෑ, මල් කුමාරයා කිව්වේ හරිම නිර්භීත විදියට. ඒත් මම බඳින්නේ සාමාන්‍ය ඇඳුම් ඇඳලා.

අපොයි! ඔව්, ඇය එහෙම කියද්දී පය පැටලිලා කන්ද පහළ තියෙන කොට්ට ගොඩ උඩට ඇදගෙන වැටුනා. එතන වැතිරිලා ඉන්න ගමන් ඇහිරුණු ඒත් වෙනදා වගේ ම පැහැදිලි කටහඬකින් ඩොරිටා මෙහෙම කිව්වා, ඇත්තට ම! හරිම සාමාන්‍ය ඇඳුම්වලින්!

෴  නිමි

August 17, 2013

මල් කුමාරයා (දෙවැනි දිග හැරුම)

මල් කුමාරයා (පළමු දිග හැරුම) කියවන්න බැරි වුණ අය මේ පාර දිගේ ගිහිල්ලා ඉක්මනට ඒක කියවලා මේ දිහා‍ට එන්න . . .

ඊළඟ සතියේ ‍ඩොරිටා, ඇගේ වයස අවුරුදු තුනක් වුණ කුඩා සහෝදරයා, මයිකල් එක්ක විලියම්ගේ ගෙදර ආවා. ඇය ඕවලාකාර මුහුණක් සහ තද පැහැ කෙහෙරැල් ඇති කෙට්ටු එහෙත් සුන්දර දැරියක්.


ග්‍රාන්ට් මෙනවිය ‍නිවසට ඇතුළු වෙන දොර ළඟ දී ඇය ව පිළි ගත්තේ හරිම සතුටින්.

ඉතින්, කොහොම ද මගේ මල් කුමාරිට? ඇය ඇහුවේ හරිම ආදරණීය විදියට. ආදරයෙන් පිළි ගන්නවා ඔයා ව! අපි හොඳ යාළුවෝ වෙන්න යි යන්නේ. ඔය යි, මම යි, විලියමු යි. ඒ කියන්නේ මනමාලි යි (මෙහෙම කියනකොට ග්‍රාන්ට් මෙනවියගේ කම්මුල් ලැජ්ජාවෙන් රෝස පාට ‍වුණා), මල් කුමාරය යි, මල් කුමාරි යි! විලියම් කොල්ලෙක් නිසා මේක ගැන එයාට ලොකු හැඟීමක් නැහැනේ. ඒත් මට විශ්වාස යි ඔයා නං මේ ගැන හුඟක් ආසාවෙන් ඉන්නවා කියලා. මට ඒක පේනවා ඔයාගේ මූණෙන් ම! අපි හොඳට යාළු වෙලා ඉන්න ඕනේ. ඒ අතරේ මයිකල් දිහාට යොමු වුණ ඇගේ දෑස් එකවර ම පටු වුණා. මයිකල් හරිම හුරුබුහුටි යි! එයාටත් සුදු පාට සැටින් ඇඳුමක් ගැළපෙයි නේද? ඇය ඇහුවේ බ්‍රවුන් මහත්මිය දිහා බලන ගමන්. මයිකල්ට පුළුවන්නෙ මේ දෙන්නා අතරින් ඇවිදගෙන එන්න. මම හිතන්නේ අපි තව සැටින් රෙදි ටිකක් අරගන්න ඕනේ . . .

ඉතින්, ඔවුන් ගියාට පස්සේ මල් කුමාරි, දිගු ඇසිපිය අතරට මැදි වුණ ඇගේ ලැජ්ජාශීලී, තද පාට ඇස් දෙක විලියම් දිහාට යොමු කළා.

පිස්සු විකාරේ, දොරකඩ අතරින් නොපෙනී යන ග්‍රාන්ට් මෙනවියගේ ඡායාව දිහා බලාගෙන ඇය කිව්වේ පැහැදිලි කටහඬකින්. ඇගේ කතා විලාසයට එකවර ම විලියම්ගේ හිත් ගත්තා.

ඔයා මේ පිස්සු ම‍ගුල් ගෙදර ගැන උනන්දු ද? ඇය දිගට ම කතා කරගෙන ගියේ හරිම නොසැලකිලිමත් විදියට. මම නං පොඩ්ඩක්වත් උනන්දු නැහැ.

තමන් විදියට ම හිතන කෙනෙක් මුණ ගැහුණ එක ගැන විලියම් හිටියේ හරිම සතුටින්. ඔහු දිගට ම ඇය එක්ක කතා කරමින් ඉස්තාලේ දිහාට ඇවිදගෙන ගියේ ටික දිනකට කලින් අල්ලගෙන, කාඩ්බෝඩ් පෙට්ටියක හිර කරලා තියාගෙන ඉන්න මී පැටිය ව ඇයට පෙන්නන්න.

මම ඌට නටන්න උගන්නනවා, ඔහු  කිව්වේ විශ්වාසයෙන්. ඌට හොඳට නටන්න පුළුවන් වුණා ම මට සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන් වෙයි. ඔයා දන්නවනේ, උන් ව සංදර්ශනවල පෙන්නන්න පුළුවන්. එහෙම කළා ම මට රන් පවුම් කන්දක් හොයන්න පුළුවන්. මම ඌට විස්කෝතුවක් ඔළුව උඩ තියාගෙන නටන හැටි උගන්නන්න යන්නෙ. මේ බලන්නකෝ, ඌ ඊයේ දෙපාරක් ම මගේ ඇඟිල්ල හැපුවා. විලියම් ආඩම්බරයෙන් ඔහුගේ තුවාල වුණ ඇඟිල්ල පෙන්නුවා. මම ඊයේ තමයි ඌව අල්ල ගත්තෙ. ඌ ඉක්මනින් ඉගෙන ගන්නවා, ඔහු තව දුරටත් කිව්වේ හුඟක් බලාපොරොත්තු සහගත ව!

ඒත් ඉස්තාලෙන් ඔවුන්‍ට හොයා ගන්න පුළුවන් වුණේ එක කොනක ලොකු හිලක් ඉතුරු වුණ කාඩ්බෝඩ් පෙට්ටියක් විතර යි! මී පැටියා පැනලා ගිය එක ගැන ඩොරිටා දුක් වුණ විදිය දැක්ක ම විලියම්ගේ හිත තව තවත් ඈ දිහාට ඇදිලා ගියා.

දැන් ඔහුට හෙන්රි, ඩග්ලස් සහ ජින්ජර් ව අමතක වෙලා. ඒත් ඔවුන් දිවුරා කියලා තියෙන්නේ සුදු පාට සැටින් ඇඳුමෙන් සැරසිලා, අශ්ව කරත්තෙකින් දේවස්ථානයට එන විලියම් ව බලන්න එනවා කියලා. ඒ නිසා යාළුවෝ එක්ක විලියම් හිටියේ ටිකක් හිත් අමනාපෙන්.

ඔහු දවසක් ඩොරිටා එක්ක ගෙවත්තේ තාප්පේ උඩ සුව පහසු විදියට වාඩි වෙලා ඔවුන්ගේ ඥාති සහෝදරී, සිබිල්ගේ මගුල් ගෙදර ගැන කතා කරමින් හිටියා. ඇය කතා කරන විදියට විලියම් වශී වෙලා හිටියේ.

එයා නං හරිම පිස්සු විකාරයක් තමයි, ඇය කිව්වේ හරිම හුරතල් විදියට කෙහෙරැලි සොලවමින්. මං නං හිතන්නේ මේ ලෝකෙ ඉන්න පිස්සු ම කෙනා තමා එයා! වෙලාවකට එයා කරන්නෙත් හරිම මෝඩ වැඩ. එයා නං ඇත්තට ම පිස්සු හටනක් තමයි!

මංග‍ල උත්සවේ තියෙන දවස ටිකෙන් ටික ළං වෙන කොට විලියම්ගේ හිතේ තියෙන ඒ ගැන තියෙන උනන්දුව දවසින් දවස අඩු වෙලා ගියා. මල් කුමාරයෙක් විදියට අඳින්න වෙන නිසා තමන්ගේ වැඩිහිටි පෙනුම සහ ප්‍රතිරූපය නැති වෙලා යනවා කියලා ඔහුට නිතර ම හිතුනා. ඔහුට මුහුණ දෙන්න වෙන අපකීර්තිය! ඔහුගේ ගෞරවය සහ ප්‍රසිද්ධිය සදහට ම නැති වෙලා යාවි. ඔහු තව දුරටත් සැබෑ විලියම් වෙන එකක් නැහැ. ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානුවා! නිර්භීත මුහුදු කොල්ලකාරයා! ඔහු සුදු සැටින් ඇඳුමකින් සැරසිලා මගුල් ගෙදර ගිය නිකං ම නිකං කොල්ලෙක් වෙයි. මගුල් දවසේ සුදෝ සුදු ඇඳුමෙන් සැරසිලා දේවස්ථානයට එන විලියම් ව බලන්න දැනට ම කොලු රංචුවක් සූදානම් වෙලා ඉන්නේ. එක ම එක සැරයක් හරි විලියම් ව දැකලා තියෙන කොල්ලෝ කුරුට්ටෝ වුණත් දැනටමත් තීරණය කරලා ඉවර යි එදාට දේවස්ථානෙට එන්න.

විලියම්, ඩොරිටා සහ මයිකල් දේවස්ථානයට පැමිණෙන්න නියමිත වෙලා තිබුණේ මනාලිය එන අශ්ව කරත්තයෙන්. දෑස් ඉදිරියේ මැවිලා පේන සුදු රිබන්වලින් සැරසූ අශ්ව කරත්තයේ රෝද හඬ තමන්ට සමච්චල් කරනවා කියලා විලියම්ට හිතුනා. කෝපය නිසා ඔහුගේ කම්මුල් දෙක රතු පැහැයට හැරුනා.

දවසින් දවස ගෙවිලා ගිහින් මංගල උත්සහය තියෙන දවස උදා වුණා. එදා සීතල සුළං හමාගෙන ගිය දීප්තිමත් දවසක්. විලියම්ගේ ගෙදර අය ඔහු කෝපයෙන් සිදු කළ කෑ ගැසීම් සහ විවිධ අසනීප ගැන කියපු දුක් ගැනවිලි නොසලකා හැරියේ ඔහු ගැන හොඳින් දන්න නිසා!

මුලින් ම සුදු පාට සැටින් ඇඳුමකින් සරසවපු මයිකල් ව ඉදිරිපස සාලයට පිටත් කරලා යැව්වේ නිහඬ ව ම සෙල්ලම් කරන්න යි. ඉන් පසු මල් කුමාරයාගේ ඇඳුමෙන් සැරසෙන්න කිසිම කැමැත්තක් නැතු ව හිටිය විලියම් ව කාමරයට අරගෙන ගියේ මස් කඩයට අරගෙන යන විදියට.

‍මෙහෙම ගියොත් මම ඉක්මනට ම මැරෙයි, විලියම් හරිම සානුකම්පිත විදියට කිව්වා. එහෙම වුණොත් සමහර විට ඔයාලට මං ගැන හුඟක් දුක හිතෙයි.

අනිත් හැම පුංචි ළමයෙක් වගේ ම හැම වෙලාවෙ ම කෑමවලට ආසාවෙන් හිටිය මයිකල් උදේ පාන්දරින් ම කෑම ටිකක් හොයා ගෙන කුස්සියට ගියත් කුස්සියේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙනුවෙට මේසේ උඩ දැවැන්ත බටර් කුට්ටියක් සහ දොඩම් පුරවපු මල්ලක් තිබුණා. මයිකල් ඉතාමත් සතුටින් තමන් තනියම හොයා ගත්ත කෑම අරගෙන ඉදිරිපස සාලයේ තිබුණේ මේස යටින් වාඩි වුණත් ඔහු ව ඇඳුම් අන්දවන්න උඩු මහළට අරගෙන ගියා නිසා ඒ කෑම කන්න ලැබුණේ නැහැ. ඉතින්, සුදෝ සුදු ඇඳුමෙන් ජේත්තුවට සැරසිලා ආයෙත්  ඉදිරිපස සාලයට ආපු මයිකල්ට තමන් හංගලා ගිය වටිනා වස්තුව දැක්ක ම ඇති වුණේ පුදුම සතුටක්.

මුලින් ම දැවැන්ත බටර් කුට්ටියෙන් වැඩ පටන් ගන්න තීරණය කරපු ඔහුගේ මුහුණ සහ කෙස් කළඹ පුරා ම බටර් තැවරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ ගැන වරදකාරී හැඟීමක් දැනුන නිසා ඔහු කළේ පුළුවන් තරම් ඉක්මනින් ලොම්වලින් ගොතපු අත් පිස්නාවකින් මුහුණ පිහදා ගන්න එක! ඉන් පස්සේ ඔහු දිග සෝපාවේ වාඩි වෙලා දොඩම් කන්න පටන් ගත්තා. ඒ හැම එකක් ම පමණට වඩා ඉදුණ, යුෂ පිරිච්ච, කහ පාට දොඩම්! ඔහු හරිම සතුටෙන් කෑදර විදියට අත් දෙකෙන් දොඩම් පිපිරෙව්වේ සෝපාව දොඩම් යුෂ සාගරයකට මැදි කරමින්. ඔහුගේ සුදු පැහැ ලේස් කරපටිය සම්පූර්ණයෙන් ම කහ පැහැයට හැරිලා!

ඒ අතරේ සුදෝ සුදු සැටින් ඇඳුම්වලින් සැරසිලා, හරිම දුක්බර විදියට අත් අල්ලගෙන පහත මාලයට ආපු විලියම් සහ ඩොරිටා තමයි ඔහුට මුලින් ම බාධා කළේ. ඔවුන් දෙන්නවත් ඉදිරිපස සාලයට එවලා තිබුණේ ආයෙත් අඬ ගහන තුරු නිශ්ශබ්ද ව සෙල්ලම් කරන්න යි.

සෙල්ලම් කරන්න? විලියම් සම්ච්චලේට ඇහුවා. මට නං සෙල්ලම් කරන්න කොහෙත් ම ආසාවක් නැහැ මේ වෙලාවේ.

ඔවුන් පුදුමයෙන් ඇස් මහත් කරගෙන බටර් සහ ලොම්වලින් වැසුණ මයිකල් දිහා බලාගෙන හිටියේ කිසිවක් කියා ගන්න බැරු ව! ඔහුගේ ලස්සණ ඇඳුම දැන් සම්පූර්ණයෙන් ම කහ පැහැයට හැරිලා. ඒත් මයිකල් හිටියේ තෘප්තිමත් විදියට හිනාවෙමින්.

විනාස යි! අන්තිමේ දී විලියම් කිව්වා.

ඔයා හොඳට ම බැනුම් අහයි, ඔහුගේ සොයුරිය කිව්වා.

මිකීට . . . බදගිනී, තමන් කරපු වැරදි වැඩේ ගැන බය වෙලා මේසේ යටට පසු බහින ගමන් මයිකල් කිව්වේ ගොත ගහන ගමන්.

විලියම් සහ ඩොරිටා ටික වෙලාවක් දොඩම් කැබලි සහ කහ පාට යුෂවලින් වැහිල තිබිච්ච සෝපාව දිහා බලාගෙන හිටියා. ඉන් පස්සේ ඔවුන් එකිනෙකා දිහා බැලුවා.

එයාට යන්න වෙන එකක් නෑ, ඩොරිටා සිහින් හඬින් කිව්වා.

ඔවුන් ආයෙමත් වතාවත් දොඩම් යුෂවලින් වැසුණ සෝපාව දිහාත්, ඔවුනොවුන් දිහා බැලුවා.

දොඩම් හලී . . . සසයි, මයිකල් ආයෙමත් වතාවක් කිව්වා.

ඒ වෙලාවේ තමන්ගේ හිතට නැගුන අපූරු අදහස නිසා උද්දාමයට පත් වුණ මල් කුමරිය, විලියම්ගේ අතකින් අල්ලා ගත්තා.

ඉඳගන්න . . . ඉක්මනට, ඇය රහසින් කෙඳිරුවා.

කිසිම කතාවක් නැතු ව ඔවුන් සෝපාවේ වාඩි වුණා. දොඩම් යුෂවල සීතල බව සමට දැනෙන තුරු ඔවුන් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ විලියම් ගැඹුරු සුසුමක් හෙලුවා.

දැන් අපිටත් යන්න බැහැනේ, ඔහු කිව්වා.

෴  මතු සම්බන්ධ යි

August 13, 2013

මල් කුමාරයා (පළමු දිග හැරුම)

මේ අලුත් වැඩේ ගැන දන්නේ නැති උදවිය මේ පාර දිගේ ගිහින් හැඳින්වීම බලලා ආවොත් හොඳයි! නැත්තං එහෙම තේරුනේ නෑ කියලා පස්සේ කියන්න බැහැ ඔන්න . . .


මම ඇත්තට ම කැමති යි මල් කුමාරයෙක් ඉන්නවා නං, ග්‍රාන්ට් මෙනවිය මිමිනුවේ කල්පනාවෙන් බර වුණ කටහඬකින්. මල් කුමාරයෙක් නැති මගුල් ගෙදරක කිසිම ලස්සණක් නැහැ.

ඇගේ නැන්දා ඒ කියන්නේ බ්‍රවුන් මහත්මිය, තේ මේසේ සිදු වෙන කතා බහ ගැන කිසිම උනන්දුවක් නැතු ව කෑදර විදියට ලොකු ම ලොකු අයිසින් කේක් කැබැල්ලක් කමින් හිටිය ඇගේ පුතා දිහා බැලුවා.

මේ ඉන්නේ විලියම්, ඇය කිව්වේ කල්පනාවෙන්. විලියම්, මම හිතන්නෙ ඔයා දැන් කේක් කෑවා හොඳට ම ඇති.

ග්‍රාන්ට් මෙනවිය, හරිම අහිංසක බැල්මකින් හැඩ වෙලා තිබුණ විලියම්ගේ මුහුණ දිහා ටික වෙලාවක් විමසිල්ලෙන් වගේ බලාගෙන හිටියා.

ඇති? විලියම් ඇහුවේ පුදුමයෙන් වගේ. මම තාම එකක්වත් හරියට කෑවේ නැහැනේ. ඔයා මගේ දිහා බලනකොට මම කන්න පටන් ගත්තා විතර යි! මේක මේ බටර් කේක් කෑල්ලක්නේ. ඒවා කෑවට මුකුත් වෙන්නේ නැහැ. මොනවා හරි වෙනවා නං මම කන්නේ නෑ . . . ඇත්තම යි. සීනි කන එක හොඳයි. සත්තුත් ලෙඩක් නැතු ව ඉන්න සීනි කනවනේ. දැන් බලන්නකෝ අශ්වයෝ. ඇයි තව ගිරවු? කොච්චර නං සීනි කනව ද? ඒත් ඒ කිසිම සතෙක්ට මුකුත් ම ලෙඩක් . . .

විලියම්, තර්ක කරන්න එපා, විලියම්ගේ කටකාරකම ගැන හොඳින් ම දැනගෙන හිටිය අම්මා කිව්වේ වෙහෙසට පත් වුණ කටහඬකින්.

මෙතෙක් වෙලා විලියම්ගේ මුහුණ දිහා විමසිලිමත් ව බලාගෙන හිටිය ග්‍රාන්ට් මෙනවිය කතා කළා. විලියම්ට තියෙන්නේ හරිම ලස්සණ මූණක්නෙ, ඇය කිව්වා. මගුල් ගෙදරක මල් කුමාරයෙකුට ගැළපෙන ආදරබර ගතියකුත් තියෙනවා.

ඒත් බ්‍රවුන් මහත්මිය නං ඒ ගැන කතා කළේ දුක්බර කටහඬකින්, ඔය කියන තරම් අපූරු පෙනුමක් විලියම්ට නැහැ කියල යි මම නං හිතන්නෙ.

හොඳයි, ග්‍රාන්ට් මෙනවිය කතා කරනකොට ඇගේ බුද්ධිමත් පෙනුමැති මුහුණ දීප්තියෙන් බැබළුනා. එයාගේ ඥාති සහෝදරිය, ඩොරිටා ගැන මොකද කියන්නෙ? ඒ දෙන්න ම එක ම වයසේ. එහෙම නේද? දෙන්නට ම එකොළහ යි! හ්ම්ම්, දෙන්න ම සුදු සැටින් ඇඳුම් ඇඳලා හෝලි පොකුරු අරගෙන ඉන්නකොට . . . ඔයා මොකද හිතන්නෙ එයා ව උත්සවේට ගෙන්න ගන්න එක ගැන? (ග්‍රාන්ට් මෙනවිය හැම වෙලාවෙ ම තමන්ගේ විවාහ මංගල්‍යය ගැන සඳහන් කළේ උත්ස‍වය කියලා) විලියම්ගේ කොණ්ඩේ පොඩ්ඩක් කැපුවොත් කොහොම ද? එයාගේ පෙනුම තවත් අපූරු වේවි!

මේ අතරේ විලියම් තමන්ගේ හොඳම යාළුවෝ තුන් දෙනා වුණ ජින්ජර්, හෙන්රි සහ ඩග්ලස් එක්ක ගෙවත්තට ගියේ ඔවු‍න් අලුතෙන් ම හොයා ගත්ත කඳු නැගීම කියන සෙල්ලම කරන්න. ලණුවක එල්ලිලා, තොප්පිවල කුරුලු පිහාටු කිහිපයක් සවි කරගෙන තාප්පෙට හේත්තු කරලා තියෙන ලෑල්ලක් දිගේ බඩ ගාගෙන ඉහළට නගින එක තමයි ඔවුන් කළේ . . . විලියම්, තමන් කතා පොත්වල ඉන්න වීරයෙක් වගේ පෙනෙයි කියලා හිතලා අම්මගේ පරණ ගොල්ෆ් තොප්පියක් ඔළුවේ දාගෙන යි හිටියේ. ඔවුන් නිතර ම තාප්පේ උඩට ම නගින්න කලින් බිමට ඇදගෙන වැටිලා හොඳට ම තුවාල වුණත් සෙල්ලම ගැන ඔවුන්ගේ හිතේ තිබුණ උද්‍යෝගය නං පොඩ්ඩක්වත් නැති වෙලා ගියේ නම් නැහැ. මොකද මේ වගේ අවදානම් සහිත සෙල්ලම් කරන එක විලියම්ගේ හිතට ලොකු සතුටක්.

මේ අපූරු කඳු නැගීමේ සෙල්ලම ගැන මුලින් ම විලියම්ට අදහසක් ඇති වුණේ බ්‍රවුන් මහත්මයාගේ මිතුරෙක් නොසැලකිලිමත් විදියට විලියම්ට තෑගි කරපු කඳු නැගීම සඳහා යොදා ගන්න උපකරණ කට්ටලයක් නිසා! මේ අපූරු තෑග්ග ගැන පවුලේ අය දැන ගන්නකොට ගෙදර බිත්ති සහ පඩිපෙළ සම්පූර්ණයෙන් ම වගේ විනාශ වෙලා ඉවර යි. ඉතින්, සතියක් තිස්සේ තාත්තගේ අත් අඩංගුවේ තිබුණ මේ අපූරු උපකරණ කට්ටලය ආයෙත් විලියම් අතට ලැබුණේ ගෙදර ඇතුළේ පාවිච්චි කරන්නේ නැහැ කියන ‍දැඩි කොන්දේසිය මත. ඔන්න ඔය විදියට යි කඳු නැගීම කියන සෙල්ලම නිර්මාණය වුණේ. හැම කෙනෙක්ට ම මේ උපකරණ පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුණා වගේ ම එකේ අයිතිකාරයා වුණ විලියම්ට අනිත් අයට වඩා වැඩිපුර වාරයකුත් හිමි වුණා.

මල් කුමාරයා විදියට ඉන්න එක ගැන කතා කරන්න හිතාගෙන බ්‍රවුන් මහත්මිය හවස් වරුවේ විලියම් ව හොයා ගෙන ආවේ හිතේ සැකයකුත් හංගගෙන.

ඔයා කැමති ද ඔයාගේ ඥාති සහෝදරිය, සිබිල්ගේ මගුල් ගෙදර යන්න? ඇය ඇහුවා.

අපොයි! නැහැ, විලියම් කිව්වේ කිසිම පැකිලීමක් නැති ව.

ඔයා කැමති නැද්ද හොඳට ඇඳලා මගුල් ගෙදර යන්න? ඇය ඇහුවා.

රතු ඉන්දියානුවෙක් වගේ ද? විලියම් ඇහුවේ බලාපොරොත්තු සහගත කටහඬකින්.

හ්ම්ම් . . . එහෙම නෙමෙයි.

මුහුදු කොල්ලකාරයෙක් වගේ ද?

අපොයි! නැහැ.

මම යනවා නං යන්නේ රතු ඉන්දියානුවෙක් විදියට හරි, මුහුදු කොල්ලකාරයෙක් විදියට හරි විතර යි, ඔහු ස්ථිර විදියට කිව්වා. එහෙම නැත්තං මම වෙන කිසිම ඇඳුමක් අඳින්නේ නැහැ.

මල් කුමාරයෙක් කියන්නේ . . . එතනට ආපු ග්‍රාන්ට් මෙනවිය කිව්වේ පැහැදිලි කටහඬකින්. හරිම ආදරණීය චරිතයක්නේ, විලියම්. ඔයාගේ වයසේ ළමයෙකුට මේ වගේ වාසනාවක් ලැබෙන එක හරිම අපූරු දෙයක්.

විලියම්, ඇය දිහා බැලුවේ කෝපය පිරුණු මුහුණකින්. ඒ නිසා බ්‍රවුන් මහත්මියට සිදු වුණා ‍නිවාඩු පාඩුවේ විලියම් එක්ක ආයෙමත් මේ ගැන කතා කරන්න.

මම ඔයාට ලස්සණ, සුදු සේද මේස් ජෝඩුවක් ගෙනාවා, ඔහුගේ අම්මා කිව්වා. ඒ වගේ ම එතල්ට තියෙනවා සැටින් යට ගවුමක්. ඒක දැන් එයාට මදි. ඒ නිසා අපිට පුළුවන් ඒකෙන් ඔයාට හොඳ ඇඳුමක් හදා ගන්න. එහෙම නේද? අපිට තව සුදු සැටින් රෙදි ටිකක් අරගෙන මොකක් හරි මෝස්තරයක් දාන්නත් පුළුවන්.

එපා! මම කීය‍ටවත් එතල්ගේ පරණ ඇඳුම් අඳින්නේ නැහැ, විලියම් කේන්තියෙන් කිව්වා. ඔයාලට ඕනේ මම විකටයෙක් වගේ ඉන්නවා බලන්න ද? එතල්ගේ පරණ ඇඳුම් ඇඳගෙන ගියොත් මගේ යාළුවෝ ඉතුරු ජීවිත කාලෙ ම මා ව විහිළුවකට ගනී. මම නං පරණ කිසිම දෙයක් අඳින්නේ නැහැ මගුල් ගෙදරට. එතල්ගේ පරණ ඇඳුම් අඳින්න වුණොත් මම සිබිල්ගේ මගුල් ගෙදර පස් පාගන්න නැහැ . . . හොඳ ද?

කවුරු මොනවා කිව්වත්, තර්ජනේ කරත්, රවට්ටන්න හැදුවත් විලියම් තමන්ගේ අදහස වෙනස් කරේ නැහැ. මේ කලබල නිසා විලියම් හිටියේ හරිම කලකිරීමෙන්. වෙන එකක් තියා කඳු නැගීම ගැනවත් ඔහුගේ උනන්දුවක් තිබුණේ නැහැ. ඒකට යොදා ගත්ත උපකරණ කට්ටලය තාප්පෙට හේත්තු කරලා තිබුණා කාලෙකින් අතවත් තියන්නේ නැතු ව! ඒ වගේ ම මේ ආරංචිය දැන ගත්ත යාළුවන්ගේ විහිළු තහළුවලින් බේරිලා ඉන්නත් විලියම්ට ලොකු උත්සාහයක් දරන්න සිදු වුණා.

ආ! මල් කුමාරයා! කවුද මල් කුමාරයෙක් වෙන්න යන්නෙ? අපොයි! දෙවියනේ, තනිකර සුදු පාට ඇඳුම් ඇඳපු මල් කුමාරයෙක්. පව්! අහිංසක, විලී! ල . . . ස් . . . ස . . . ණට ඉඳීවි නේද?

විලියම්ගේ ජීවිතේ කටුක වුණා දවසින් දවස ම. යාළුවන්ගේ විහිළු මැද්දේ දවස් ගෙවිලා ගියේ හරිම හෙමින්. මගුල් ගෙදර යන්න තියෙන අවස්ථාව මග අරින්න විලියම් හුඟක් උපක්‍රම යෙදුවා. ඒත් අන්තිමට සිදු වුණේ දරුණු වේදනාවක් එක්ක නළල ‍පොඩ්ඩක් ඉදිමුණ එක විතර යි!

෴  මතු සම්බන්ධ යි

August 11, 2013

කාලෙකට පස්සේ . . .


කාලෙකට පස්සේ අද තමයි ආයෙමත් වතාවක් බ්ලොග් එකට ගොඩ වෙන්න ඉඩක් ලැබුණේ. පහු ගිය දවස් ටිකේ ම විභාග, පාඩම් වැඩ තිබුණ නිසා හැම දෙයක් ම අත් හිටුවන්න වුණානේ. දැන් නං ඉතින් ඒවා හුඟක් දුර‍ට ඉවර යි (ඔක්කොම නෙමෙයි බරපතල දේවල් ටික). හිතුවටත් වඩා හොඳින් ඒ වැඩ කර ගන්න ලැබුණා. ඒ නිසා දැන් ආයෙමත් නිදහසේ බ්ලොග් එක ලියන්න පුළුවන්.

ලියන්න නං හුඟක් දේවල් තියෙනවා. ඒත් ඉතින් ඒවා එකලස් කර ගන්න ටිකක් කල් යනවනේ. ඒ නිසා අලුත් වැඩකට අත ගැහුවා. කාලෙකට කලින් මම කියවපු ඉංග්‍රීසි පොතක් විවේක තිබුණ වෙලාවට සිංහලට නැගුවා. කොච්චර දුරට සාර්ථක ද කියලා දැන ගන්න වෙන්නේ ඔයාලගේ අදහස් අනුව තමයි. අද ඉඳලා ඒක බ්ලොග් එකේ පළ කරන්න යි මගේ අදහස!

මේක රිච්මල් ක්‍රොම්ප්ටන් ලැම්බර්න් කියන ඉංග්‍රීසි ජාතික ලේඛිකාවගේ විලියම් පොත් මාලාවේ සිංහල පරිවර්තනයක්. විලියම් බ්‍රවුන් කියන දඟකාර කොල්ලෙක් ගැන ලියපු කෙටි කතා රැසක එකතුවක්. එක දිගට ඔක්කොම කතා පළ කරන්න නං මගේ අදහසක් නැහැ. කඩින් කඩි සිංහලට නගන පිළිවෙළට කතා ටික දාන්න යි දැනට හිතාගෙන ඉන්නේ.

මේ විලියම් කතා මාලාව ගැන කියනවා නං මේක ප්‍රධාන චරිතය අවුරුදු එකොළහක් වයසැති විලියම් බ්‍රවුන්. එයාගේ දඟකාරකම් ගැන ලියවුණ මේ පොත් මාලාවේ පොත් හතළිහක් පමණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැනට ඉංග්‍රීසි සාහිත්‍යයේ පිරිමි ළමයෙක් ගැන ලියපු දිගට ම කතා මාලාව විදියට සැලකෙන්නෙත් මේ පොත් පෙළ තමයි! තෝමස් හෙන්රිගේ සිතුවම්වලින් හැඩ වුණ මේ කතා මාලාවේ මුල් ම පොත, Just William ප්‍රකාශයට පත් කළේ 1922 අවුරුද්දේ. ඊට අවුරුදු හතළිස් දෙකකට පස්සේ 1970 අවුරුද්දේ මේ කතා මාලාවේ අවසන් පොත, William the Lawless නමින් ප්‍රකාශයට පත් කළේ ලේඛිකාවගේ මරණයෙන් වසරක් ඉක්ම ගියාටත් පසු ව!

මේ කතා මාලාවේ ලේඛිකාව, ඉංග්‍රීසි ජාතික රිච්මල් ක්‍රොම්ප්ටන් ලැම්බර්න් 1890 නොවැම්බර් 15 වැනි දා උපන්නේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ බරී කියන නගරයේ. ශාන්ත එල්ෆින්ස් නේවාසික පාසලෙන් අධ්‍යාපනය ලැබුව ඇය උපාධිය සම්පූර්ණ කළේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්. ඉන් පස්සේ ටික කාලයක් ඇය ගුරුවරියක් විදියට සේවය කළා. නමුත් 1923 දී පෝලියෝ රෝගයට ගොදුරු වීම නිසා එක තැන් වුණ ඇය ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා 1969 ජනවාරි 11 වැනි දා මිය යන තුරු ම පූර්ණ කාලීන ව ලේඛිකාවක් විදියට කටයුතු කළා.

මගේ සිත් ගත් පොතකුත් එක්ක ආයෙමත් බ්ලොග් ලියන්න පුළුවන් වුණ එක ගැන සතුටු යි! එහෙම නං ඉක්මනින් ම විලියම් කතා මාලාවත් එක්ක ආයෙත් හමුවෙමු. මේ කතා මාලාව ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අය ඉන්නවා නං මේ පාර දිගේ යන්න . . .

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...